6. කරොතො සූත්ර වර්ණනාව
“කරතො” යනු සියතින් කරන්නාටය. “කාරයතො” යනු අණකිරීමෙන් කරවන්නාට යනුයි. “ජින්දතො” යනු අනුන්ගේ අත් ආදිය සිඳින්නාටය. “ඡෙදාපයතො” යනු අනුන් ලවා සිඳවන්නාටය. “පචයතො” අනුන් දඬුමුගුරු ආදියෙන් පෙළන්නහුටය. “පචාපයතො” යනු අනුන් ලවා පෙළවන්නහුටය. “සොචතො සොචාපයතො” අනුන්ගේ බඩු පැහැරගැනීම් ආදියෙන් ශෝක ඇතිකිරීම තමාම කිරීම ද අනුන් ලවා කරවීමද යනුයි. “කිලමතො කිලමාපයතො” යනු ආහාර, සිඳීම්, බන්ධනාගාරගත කිරීම් ආදියෙන් අනුන් වෙහෙසන්නහුටද අනුන් ලවා එසේ අන්යයන් වෙහෙස කරවන්නහුටද වේ. “එන්දතො එන්දාපයතො” යනු අනුන් බන්ධනවලින් කම්පා කරවයි යනුයි. “පාණමතිපාතයතො” යනු ප්රාණය නසන්නාටද අනුන් ලවා නස්වන්නාටද වේ. මෙසේ මේ සෑමදෙය කරන කරවන වශයෙන් අර්ථය අවබෝධ කරගත යුතුයි.
“සන්ධිං” යනු ගෙවල් සිඳීමයි. “නිල්ලොපං” යනු කොල්ලකෑමයි. “එකාගාරිකං” යනු එකම ගෙයක් පිරිවරාගෙන කොල්ලකෑමයි. “පරිපන්ථෙ තිට්ඨතො” යනු යන එනවුන්ගේ ඇඳිවත පවා බලෙන් පැහැරගැනීමට මගරැක සිටින්නහුගේ යනුයි. “කරොතො න කරීයති පාපං” යනු යම්කිසි පවක් කරමියි යන සංඥාවෙන් යමක් කළත් එය පවක් නොවේ නම් ඔහුට පාපයක් සිදුනොවේ. සත්ත්වයෝ “පවු කරමු” යනුවෙන් මෙබඳු පිළිගැනීම් ඇතිව වෙසේ යැයි දක්වයි. “ඛුරපරියන්තෙන” යනු දැලිපිහිය මෙන් කැපෙන නිම්වළලු ඇති. දැලිපිහිය වැනි දාරයක් වටේට පිහිටි යනුයි. “එකමංසඛලං” යු එකම මස් ගොඩකි. “පුඤ්ජං” යනු ඊටම සමාන වදනකි. “තතො නිදානං” යනු එක්මස් ගොඩක් කිරීමේ හේතුවෙන් යනුයි.
“දක්ඛිණං” යනු දකුණු ගංතීරයේ මිනිස්සු කර්කශය. දරුණුය ඔවුන් සඳහා “ගනන්තො” යනාදිය කියන ලදී. “උත්තරං” උතුරුගං ඉවුරේ ශ්රද්ධාවන්ත, ප්රසන්න වූ සිතැති, බුද්ධමාමක වූ, ධර්මමාමක වූ, සංඝමාමක වූ (තෙරුවනට මමත්වය ඇති) ජනයා සඳහා “දදන්තො” යනාදිය කියන ලදී. එහි “යජන්තො” යනු මහායාගයක් කරන්නා වූ යනුයි. “දමෙන” යනු ඉන්ද්රිය දමනයෙන්. පොහොය කිරීමෙන්. “සංයමෙන” යනු සීල සංයමයෙන් - සංවරයෙන් යුතු. “සච්චවජ්ජෙන” යනු සත්ය වචනයෙන්. “ආගමො” යනු “පැමීණීම වේ. පවතියි” යන අර්ථයයි. සියලුම ආකාරයෙන් පාප හා පුණ්යක්රියා ප්රතික්ෂේප කරන ලදී.
සයවන සූත්රයයි.
7. හේතු සූත්ර වර්ණනාව
සත්වන සූත්රයේ “නත්ථිහේතු නත්ථි පච්චයා” යනු මෙහි ප්රත්යය, හේතුව යනු සමාන වදන්ය. මේ පද දෙකින්ම විද්යමාන වන්නක්ම කියැවේ. කායදුශ්චරිතාදියෙන් කිලිටි වන හේතුවත්, කාය සුචරිතාදියෙන් පිරිසිදුවන හේතුවත් ප්රතික්ෂේප කරන ලදී. “නත්ථිබලං” යනු යම්බඳු තමාගේ බලයෙහි-වීර්යයෙහි පිහිටි මේ සත්ත්වයෝ දේවත්වයට, මාරත්වයට, බ්රහ්මත්වයට, ශ්රාවක බෝධියට, පසේ බුද්ධත්වයට, සර්වඥත්වයට පැමිණෙත්ද ඒ බලය-වීර්යය ප්රතික්ෂේප කරන ලදී. “නත්ථි විරියං” ආදී පද සියල්ල අන්යොන්ය වශයෙන් සමාන වූ වචන වේ. මෙය අපගේ වීර්යයෙන්, මෙය පුරුෂ වීර්යයෙන්, මෙය පුරුෂ පරාක්රමයෙන් පැමිණි දෙයකැයි මෙසේ පවතින වචනයත්-ව්යවහාරයත් ප්රතික්ෂේප කිරීම් වශයෙන් මේ පද වෙන වෙනම යොදන ලදී.
“සබ්බෙ සත්තා” යනුවෙන් ඔටු, ගොන්, කොටළු ආදී සියලු සත්ත්වයෝ ඉතිරි නොකොට සම්පූර්ණයෙන්ම අදහස් කරයි. “සබ්බෙපාණා” යනු ඒකීන්ද්රිය ප්රාණීහු - ද්විතීන්ද්රිය ප්රාණීහු ආදී වශයෙන් පවසති. “සබ්බෙජීවා” යනු හැල්, යව, තිරිඟු ආදිය සඳහා කියන ලදී. ඒවායෙහි වර්ධනය වීම් අර්ථයෙන් “ජීවී” සංඥාව ඇති ජීවීහුය. “අවසා අබලා අවිරියා” යනු ඔවුන්ට තමාගේ වශයෙන් හෝ බලයක් හෝ වීර්යයක් හෝ නැත යනුයි. “නියති සංගති භාවපරිණතා” යන මෙහි “නියති” යනු නියත වශයෙනි. “සංගති” යනු සවැදෑරුම් නැවත ඉපදීම් ඇත්තවුන්ගේ (අභිජාතීන්ගේ) ඒ ඒ තැන යෑමයි. “භාවො” යනු ස්වභාවයමයි. මෙසේ නියත වශයෙන්ද සංක්රමණ වශයෙන්ද ස්වභාව වශයෙන්ද නන්වැදෑරුම් බවට, පරිණතියට පැමිණි. යමකින් යම්සේ විය යුතුනම් එය එසේ වෙයි. යමක් නොවිය යුතුනම් එය නොවෙයි” යනුවෙන් දක්වති. “ඡව්සෙවාභිජාතීසු” යනු සවැදෑරුම් වූම අභිජාතීන්හි සිට සැප ද දුක ද විඳිනු ලැබෙති. අනික් සුව-දුක් භූමියක් නැතැයි දක්වති.