4. අනිච්ච සූත්‍ර වර්ණනාව
සිවුවන සූත්‍රයේ - “ඡන්‍දො” යනු තණ්හාව නම් වූ කැමැත්තයි.
සිවුවන සූත්‍රයයි.
5-6. දුක්ඛ ආදි සූත්‍ර වර්ණනා
පස්වන හා සයවන සූත්‍රවල ද මේ ක්‍රමය ම දතයුතුයි.
පස්වන හා සයවන සූත්‍රයන් ය.
7. අනත්තනිය සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයේ - “අනත්තනියං” යනු තමාගේ සන්තකයේ-සමීපයේ නොවූ යනුයි. තමාගේ උපකරණයන්හි අභාවයෙන් (නොපැවතීමෙන්) ශුන්‍ය වූ යන අර්ථයි.
සත්වන සූත්‍රයයි.
8. රජනීය සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයේ - “රජනීය සණ්ඨිතං” යනු ඇලී ගැලී සිටින ද්‍රව්‍යයන් ගේ ආකාරයෙන් පිහිටි යනුයි. “රාගයේ ප්‍රත්‍ය භාවයෙන් පිහිටි” යන අර්ථයි.
අටවන සූත්‍රයයි.
9-10. රාධ ආදි සූත්‍ර වර්ණනා
නවවන හා දසවන සූත්‍ර රාහුල සංයුත්තයේ කියන ලද පරිදි දතයුතුයි.
නවවන හා දසවන සුත්‍රයත්ය.
දෙවන අරහන්ත වර්ගයයි.
3. ඛජ්ජනීය වර්ගය
1-3. අස්සාද ආදි සූත්‍ර වර්ණනා
ඛජ්ජනීය වර්ගයේ මුල සිට ඇති සූත්‍ර තුනෙහි චතුරාර්ය සත්‍යයම පවසන ලදී.
පළමු, දෙවන හා තෙවන සූත්‍රයි.
4. පළමුවැනි අරහන්ත සූත්‍ර වර්ණනාව
සිවුවන සූත්‍රයේ - “යාවතා භික්ඛවෙ සත්තාවාසා” යනු මහණෙනි! යම් පමණ “සත්තාවාසයෝ” ඇද්ද යනුයි. “යාවතා භවග්ගං” යනු යම්තාක් භවග්‍රයක් නම් වේද යනුයි. “එතෙ අග්ගා එතෙ සෙට්ඨා” යනු මේවා අතර අග්‍රවූත්, ශ්‍රේෂ්ඨ වූත් යනුයි. “යදිදං අරහන්තො” යනු යම් මේ අර්හත් නම් වූ උතුමෝය. මේ සූත්‍රයේ ද පෙර කී පරිද්දෙන්ම උත්සාහවන්ත කරවීමත්, පෙළඹවීම් ඇතිකිරීම සඳහා දෙසන ලදැයි දත යුතුයි.
“අථාපරං එතදවොච” යනු එම අර්ථ දැක්වීමට ම විශේෂයෙන් පැහැදිලි කිරීමට ම “සුඛිනො වත අහන්තො” ආදී මේ ගාථා වදාළ බව දතයුතුයි. එහි “සුඛිනො” යනු ධ්‍යාන සුවයෙන් ද මාර්ග සුවයෙන් ද ඵල සුවයෙන් ද සුවපත් වූ යනුයි. “තණ්හා තෙසං නවිජ්ජතී” ඔවුන්ට අපාදුක් ඇතිකරන තණ්හාව නොපවතියි. මෙසේ ඔවුහු මේ තණ්හාව මූලික වූ සිත්වලින් දුරුවූ හෙයින් සුවපත් සිත් ඇත්තෝම වෙති. “අස්මිමානො” යනු නවවැදෑරුම් අස්මි මානය අර්හත් මාර්ගයෙන් සහමුලින් සිඳ දැමූ යනුයි. “මොහජාලං පදාලිතං” යනු ඥානයෙන් අවිද්‍යා දැල ඉරා දැමූ යනුයි.
“අනෙජං” යනු “ඒජා” නම් වූ තණ්හාව ප්‍රහාණය කිරීමෙන් ලැබුණු රහත් බවයි. “අනුපලිත්තා” යනු තණ්හා-දෘෂ්ටි ආලේපයෙන් ආලේපිත යනුයි. “බ්‍රහ්මභූතා” යනු ශ්‍රේෂ්ඨ වූ යනුයි. “පරිඤ්ඤාය” යනු ත්‍රිවිධ පරිඥාවන්ගෙන් මනාව දැනගෙන යනුයි.
“සත්ත සද්ධම්මගොචරා” යනු ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, බහුශ්‍රැත බව, පටන්ගත් වීර්ය ඇති බව, එළඹි සිහිය, ප්‍රඥාව යන මේ සත්වැදෑරුම් ධර්මයන් අවබෝධ කරගත්තෝ “සත්ත සද්ධම්ම ගෝචරා” නම් වෙති. “සත්තරතන සම්පන්නා” යනු සත් වැදෑරුම් වූ බොජ්ඣංග රත්නයන්ගෙන් යුක්ත වූ යනුයි. “අනුවිචරන්ති” යනු ලෞකික මහජනතාව ද නිසැකව හැසිරෙත්මය යනුයි. මෙහි වනාහී රහතන් වහන්සේලාගේ සැක-බිය නොමැති හැසිරීමම අදහස් කරන ලදී. එනිසා මෙසේ වදාළහ. “පහීනභය භෙරවා” යනුවෙනි. එහි - “භයං” යනු බියවීමයි. “භේරවං” යනු ප්‍රබල ලෙස බියවීමයි. “දස භංගෙහි සම්පන්නා” යනු අසේක වූ දස අංගයන්ගෙන් යුක්ත වූ යනුයි. “මහානාගා” යනු සිවුවිධ කාරණයන්ගෙන් මහා නාගයන් වූ යනුයි. “සමාහිතා” යනු උපචාර, අර්පණා ආදියෙන් යුක්ත වූ යනුයි. “තණ්හා තෙසං තවිජජතී” යනු “මහරජ! ලෝකයා සතුටු වීමෙන් හීනය. සතුටට සෑහීමකට පත් නොවන්නෝ ය. තණ්හාවෙහි දාසයෝ යැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ බැවින්”. මෙසේ කියන ලද දාස කම්කරු ආදීන් මෙන් තණ්හාවක් ඔවුන්ට නැත. මෙසේ ක්‍ෂීණාශ්‍රව රහතුන්ගේ දාසත්‍වයෙන් මිදීම දක්වයි.
“අසෙඛඤාණං” යනු අර්හත් ඵල ඥානයයි. “අන්තිමොයං සමුස්සයො” යනු මේ ආත්මභාවය අවසාන ම එක වේ යනුයි. “යොසාරො බ්‍රහ්ම චරියස්ස” යනු සාරය නම් ඵලයයි. රහත් බවයි. “තස්මිං අපර පච්චයා” යනු ඒ ආර්ය ඵලයෙහි තවත් පැමිණිය යුතු දෙයක් නැතැයි ප්‍රත්‍යක්‍ෂයෙන්ම දැන-අවබෝධ කරගෙන සිටි. “විධාසු නවිකම්පන්ති” යනු තුනක් වූ මාන කොටස්වල නො සැලෙති. කම්පා නොවෙති යනුයි. “දන්තභූමිං” යනු රහත් බවයි. “විජිතාවිනො” යනු රාගාදිය දුරුකර සිටි යනුයි.
“උද්ධං” යනාදියේ උඩ යනු සිරුරේ මුදුනෙහිම වූ කෙස් ය. “අපාචීනං” යටම වූ පා තලයයි. “තිරියං” යනු මැද ප්‍රදේශයයි. උඩට ම නොගිය. යටම වූ පා තලයට නොපැමිණි. “උද්ධං” යනු අතීතයයි. “අපාචීතං” යනු අනාගතයයි. “තිරියං” යනු වර්තමානයයි. “උද්ධං” යනු දේව ලෝකාදියයි. “අපාචීනං” යනු අපායාදීලෝකයන්ය. “තිරියං” යනු මිනිස්ලොවයි. “නන්‍දිතෙසං න විජ්ජතී” මේ ස්ථානයන්හි සංක්‍ෂිප්ත වශයෙන් හෝ අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්න වූ ස්කන්‍ධයන්හි ඔවුන්ට (රහතුන්ට) තණ්හාවක් නැත. මෙහි සසර පැවැත්මට මූලික වූ තණ්හාවෙහි නොපැවැත්ම - අභාවය දක්වන ලදී. “බුද්ධා” යනු චතුරාර්ය සත්‍යය පිරිසිඳ අවබෝධ කරගත් බැවින් “බුද්ධ” නම් වූ යනුයි.
මෙහි වනාහී සිංහනාදයන්ගේ එක්කර දැක්වීමයි. “අප විමුත්ති සුවයෙන් සුවපත් වූවෝ ම ය. දුක් ජනනය නො කරන්නෝය. අපගේ තණ්හාව ප්‍රහීණය. පස්කඳ පිරිසිඳ දැනගත්හ. අපි දාසත්වයට පත්වන තණ්හාවෙන් මෙන්ම සසර පැවැත්මට මූලික වූ තව ද ප්‍රහීන කර උතුම් ශ්‍රේෂ්ඨයෝ වූයෙමු. අසමානයෝ වෙමු. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් බැවින් “බුද්ධ” නම් වූයෙමු” යැයි භවාග්‍රයෙහි සිට අභීත නාදය නම් වූ සිංහනාදය රහතන් වහන්සේ විසින් පවත්වනු ලැබෙත්.
සිවුවන සූත්‍රයයි.