2. මඤ්ඤමාන සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රයේ - “මඤ්ඤමානො” යනු තණ්හා-මාන-දෘෂ්ටි යන වැරදි සිතුවිලිවලින් යුක්ත වූයේ යනුයි.
දෙවැනි සූත්‍රයයි.
3. අභිනන්දන සූත්‍ර වර්ණනාව
තෙවන සූත්‍රයේ - “අභිනන්‍දමානො” යනු තහා-මාන-දෘෂ්ටි වශයෙන් සතුටුවනුයේ යනුයි.
තෙවන සූත්‍රයයි.
4. අනිච්ච සූත්‍ර වර්ණනාව
සිවුවන සූත්‍රයේ - “ඡන්‍දො” යනු තණ්හාව නම් වූ කැමැත්තයි.
සිවුවන සූත්‍රයයි.
5-6. දුක්ඛ ආදි සූත්‍ර වර්ණනා
පස්වන හා සයවන සූත්‍රවල ද මේ ක්‍රමය ම දතයුතුයි.
පස්වන හා සයවන සූත්‍රයන් ය.
7. අනත්තනිය සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයේ - “අනත්තනියං” යනු තමාගේ සන්තකයේ-සමීපයේ නොවූ යනුයි. තමාගේ උපකරණයන්හි අභාවයෙන් (නොපැවතීමෙන්) ශුන්‍ය වූ යන අර්ථයි.
සත්වන සූත්‍රයයි.
8. රජනීය සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයේ - “රජනීය සණ්ඨිතං” යනු ඇලී ගැලී සිටින ද්‍රව්‍යයන් ගේ ආකාරයෙන් පිහිටි යනුයි. “රාගයේ ප්‍රත්‍ය භාවයෙන් පිහිටි” යන අර්ථයි.
අටවන සූත්‍රයයි.
9-10. රාධ ආදි සූත්‍ර වර්ණනා
නවවන හා දසවන සූත්‍ර රාහුල සංයුත්තයේ කියන ලද පරිදි දතයුතුයි.
නවවන හා දසවන සුත්‍රයත්ය.
දෙවන අරහන්ත වර්ගයයි.
3. ඛජ්ජනීය වර්ගය
1-3. අස්සාද ආදි සූත්‍ර වර්ණනා
ඛජ්ජනීය වර්ගයේ මුල සිට ඇති සූත්‍ර තුනෙහි චතුරාර්ය සත්‍යයම පවසන ලදී.
පළමු, දෙවන හා තෙවන සූත්‍රයි.
4. පළමුවැනි අරහන්ත සූත්‍ර වර්ණනාව
සිවුවන සූත්‍රයේ - “යාවතා භික්ඛවෙ සත්තාවාසා” යනු මහණෙනි! යම් පමණ “සත්තාවාසයෝ” ඇද්ද යනුයි. “යාවතා භවග්ගං” යනු යම්තාක් භවග්‍රයක් නම් වේද යනුයි. “එතෙ අග්ගා එතෙ සෙට්ඨා” යනු මේවා අතර අග්‍රවූත්, ශ්‍රේෂ්ඨ වූත් යනුයි. “යදිදං අරහන්තො” යනු යම් මේ අර්හත් නම් වූ උතුමෝය. මේ සූත්‍රයේ ද පෙර කී පරිද්දෙන්ම උත්සාහවන්ත කරවීමත්, පෙළඹවීම් ඇතිකිරීම සඳහා දෙසන ලදැයි දත යුතුයි.
“අථාපරං එතදවොච” යනු එම අර්ථ දැක්වීමට ම විශේෂයෙන් පැහැදිලි කිරීමට ම “සුඛිනො වත අහන්තො” ආදී මේ ගාථා වදාළ බව දතයුතුයි. එහි “සුඛිනො” යනු ධ්‍යාන සුවයෙන් ද මාර්ග සුවයෙන් ද ඵල සුවයෙන් ද සුවපත් වූ යනුයි. “තණ්හා තෙසං නවිජ්ජතී” ඔවුන්ට අපාදුක් ඇතිකරන තණ්හාව නොපවතියි. මෙසේ ඔවුහු මේ තණ්හාව මූලික වූ සිත්වලින් දුරුවූ හෙයින් සුවපත් සිත් ඇත්තෝම වෙති. “අස්මිමානො” යනු නවවැදෑරුම් අස්මි මානය අර්හත් මාර්ගයෙන් සහමුලින් සිඳ දැමූ යනුයි. “මොහජාලං පදාලිතං” යනු ඥානයෙන් අවිද්‍යා දැල ඉරා දැමූ යනුයි.
“අනෙජං” යනු “ඒජා” නම් වූ තණ්හාව ප්‍රහාණය කිරීමෙන් ලැබුණු රහත් බවයි. “අනුපලිත්තා” යනු තණ්හා-දෘෂ්ටි ආලේපයෙන් ආලේපිත යනුයි. “බ්‍රහ්මභූතා” යනු ශ්‍රේෂ්ඨ වූ යනුයි. “පරිඤ්ඤාය” යනු ත්‍රිවිධ පරිඥාවන්ගෙන් මනාව දැනගෙන යනුයි.