8. මහාලි සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයේ - “එකන්ත දුක්ඛං” ආදිය ධාතු සංයුත්තයේ කියූ ක්‍රමයෙන් දතයුතුයි.
අටවන සූත්‍රයයි.
9. ආදිත්ත සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයේ - “ආදිත්තං” යනු එකොළොස් ගින්නකින් දැවෙන, ඇවිලගත්. මෙසේ මේ සූත්‍ර දෙකෙහිම “දුක්ඛ” ලක්‍ෂණය ම කියන ලදී.
නවවන සූත්‍රය යි.
10. නිරුක්තිපථ සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ - නිරුත්තිය ම “නිරුත්තිපථා” නැතහොත් - නිරුත්තිය ද ඒ නිරුත්ති වශයෙන් දැන්විය යුතු අර්ථයන්ගේ මාර්ගය බැවින් “පථ” යැයි “නිරුත්තිපථා” නම් වේ. සෙසු දෙපදය ද මේ ක්‍රමයෙන් අර්ථ දතයුතුයි. මේ පද තුනම අන්‍යෝන්‍ය වශයෙන් සමාන වචනයැයි දතයුතුයි. “අසංකිණ්ණා” යනු දුරු නොකළ, මේවායේ අර්ථ කවරේද? යි කියා අත්නොහළ යනුයි. “අසංකිණ්ණපුබ්බා” යනු අතීතයෙහිත් අත්නොහල විරූය. “නසංකීයන්ති” යනු මේවායින් කවර වැඩක්ද?යි අත් නොහරිති යනුයි. “න සංකියිස්සන්ති” යනු අනාගතයේද අත් නොහරින්නේය යනුයි. “අප්පතිකුට්ඨා” යනු නො වළක්වන ලද - ප්‍රතික්‍ෂේප නොකරන ලද යනුයි. “අතීතං” යනු තමාගේ ස්වභාවය භංග වූයේ ම යැයි ඉක්මවා ගිය යනුයි. “නිරුද්ධං” යනු වෙනත් දේශයකට නොයා එතැනම නිරුද්ධ වූ - සංසිඳුණු යනුයි. “විපරිණතං” යනු පරිණාමයට, වෙනස්වීමට ගිය, විනාශ වූ යනුයි. “අජාතං” යනු නූපන්නා වූ යනුයි. “අපාතුභුතං” යනු අප්‍රකට වූ යනුයි.
“උක්කලා” යනු උක්කල ජනපදවාසීහුය. “වසභඤ්ඤා” වස්සද භඤ්ඤ ද, ඒ දෙදෙන ම මූල දෘෂ්ටිගතිකයෝය - අහේතුකවාදී ආදියයි. හේතුවක්, ප්‍රත්‍යයක් නැතැයි ගත් බැවින් “අහේතුකවාදා” නම් වේ. කිරීමෙන් ප්‍රතිඵලයක් නැත. නොකලත් ප්‍රතිඵලයක් නැතැයි පාපී අදහස් ගත් බැවින් “අකිරියවාදා” නම් වේ. “දුන් දේහි විපාක නැත. ඵලයක් නැතැ”යි ආදී වශයෙන් ගන්නා ලද්දේ “නත්‍ථිකවාදා” නම් වේ. එහි මේ පුද්ගලයෝ දෙදෙනාට දෘෂ්ටි තුනක් විය. කිම එක් අයෙකුට දෘෂ්ටි එකහමාර බැගින් වූයේද? නැත. යම්සේ එක් භික්‍ෂුවක් පිළිවෙලින් සතර ධ්‍යානයන් උපදවන්නේ ද, ඒ අයුරින්ම එක් එක් පුද්ගලයා මේ ත්‍රිවිධ දෘෂ්ටිම ඉපිදවීයැයි දතයුතුයි. “හේතුවක්-ප්‍රත්‍යයක් නැතැ”යි නැවත නැවත සිහි කරන්නාට, ගෙනෙන්නාට, සතුටු වන්නාට, ආශ්වාදනය කරන්නාට මාර්ග දර්ශනය මෙන් වැටහේ. ඔහු බොරු නියාමයන්ට බැස ගනියි. ඔහු “ඒකාන්තකාළකයෙකි”යි කියයි. යම්සේ අහේතුක දෘෂ්ටියෙන් මෙසේ කරනුයේ පවු නොකරන්නේය. දුන් දෙයෙහි විපාක නැතැයි යන මේ තැන්හි මිසදිටු පිළිගැනීම්වලට බැසගනියි.
“න ගරහිතබ්බං ත පටික්කොසිතබ්බං මඤ්ඤිසු” යනු මෙහි ඉදින් අතීතයක් නම් නැත. අතීතයක් නොවූ මොහුට අනාගතයක් හෝ වර්තමානයක් හෝ වන්නේ දැයි කියමින් ගරහයි. එහි දොස් දක්වමින් “මොහුට ගැරහීමෙන් කවර වැඩක්ද?”යි කීම නම් ප්‍රතික්‍ෂේප කිරීමකි. මේ නිරුක්ති මාර්ගයෙහි ඒ අත්‍යන්තකාළක වූ දෘෂ්ටි පිළිගත්තො නොගැරහිය යුතු ප්‍රතික්‍ෂේප නොකළ යුතුයැයි සිතූහ. අතීතය ඉක්ම ගියේමය. අනාගතය තවම නොපැමිණියේ ය. වත්මන දැන් පවතින්නේ යැයි කීහ. “නින්‍දා බ්‍යාරොස උපාරම්භභයා” යනු නැණවතුන්ගේ සමීපයේ නින්දා කිරීමේ බියෙන් ද ගැටීම් බියෙන් ද දෝෂ දැක්වීම් බියෙන් ද දෝෂාරෝපණ බියෙන් ද එම වාදයන් නොගැරහූහ යනුයි.
මෙසේ මෙම සූත්‍රයෙහි සිවු භූමික ස්කන්‍ධයන්ගේ පැනවීම කියන ලදී.
දසවන සූත්‍රයයි.
පළමු උපය වර්ගය නිමාවට පත්විය.
2. අරහන්ත වර්ගය
1. උපාදිය සූත්‍ර වර්ණනාව
අරහන්ත වර්ගයේ පළමු සූත්‍රයේ - “උපාදීයමානො” යනු තණ්හා, මාන, දෘෂ්ටි වශයෙන් ගන්නා ලද යනුයි. “බද්ධො මාරස්ස” යනු මාරයාගේ පාශයෙන් බඳිනා ලද යනුයි. “මුත්තො පාපිමතො” යනු මාරයාගේ පාපියාගේ පාශයෙන් (උගුලෙන්) මිදුණේ නම් වේ.
පළමු සූත්‍රයයි.
2. මඤ්ඤමාන සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රයේ - “මඤ්ඤමානො” යනු තණ්හා-මාන-දෘෂ්ටි යන වැරදි සිතුවිලිවලින් යුක්ත වූයේ යනුයි.