2. බීජ සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රයේ - “බීජාජාතානි” යනු බීජයෝය. “මූලබීජං” යනු වදකහ, කහ, ඉඟුරු ආදියයි. “ඛන්‍ධබීජං” යනු ඇසතු-නුග ආදියයි. “එළුබීජං” යනු උක්, උණ, බට ආදියයි. “අග්ගබීජං” යනු කුඹුක්-මුරුවා ගස් ආදිය. “බීජ බීජං” යනු හැල්-වී ආදී පුබ්බන්න ධාන්‍ය හා මු-මෑ ආදී අපරන්න ධාන්‍ය වර්ගයන්ය. “අඛණ්ඩානි” යනු නොබිඳුණා වූ ඒවායි. බිඳුණු කාලයේ පටන් බීජයත්, බීජ සඳහා සුදුසු නොවේ. “අපූතිකානී” යනු ජලය වැටීම් ආදියෙන් නොතෙමුණු ඒවායි. කුණු වූ බීජයන්ද බීජ ලෙස යෙදීමට සුදුසු නොවේ. “අවතාතපහතානි” යනු සුළඟින් ද අව්වෙන් ද නො නැසුණු, ඕජස් නැති බවට පත් නොවූ යනුයි. ඕජස් රහිත කසට බීජයන් ද බීජ ලෙස නොයොදයි. “සාරාදානි” යනු ගන්නා ලද සාරවත් භාවය ඇති. පිහිටි සාරය ඇති යනුයි. නිසරු බීජ, බීජ සංඛ්‍යාවෙහි ලා නොසැලකේ. “සාඛසියිතානි” යනු තුන්-සතර මාසයක් කොටුවෙහි තබා ආරක්‍ෂා කිරීමෙන් සුවසේ තැබූ යනුයි. “පඨවි” යට පිහිටන බැවින් පඨවි නම් වූ, “ආපො” මතුපිට තෙත්කරන වතුර (ජලය). “චතස්සො විඤ්ඤාණට්ඨිතියො” යනු කර්ම විඥානයට ආරම්මණ වූ රූපාදී සිවු ස්කන්‍ධයෝ ය. ඒවායෙහි අරමුණු වශයෙන් පිහිට වූ පඨවි ධාතුව සමාන වූ නන්දි රාගයයි. තෙත් කිරීම්-වැගිරීම් අර්ථයෙන් ආපෝ ධාතුව හා සමාන වූ. “විඤ්ඤාණං සාහාරං” යනු ප්‍රත්‍ය සහිත වූ කර්ම විඥානයයි. එය වනාහී පොළවේ වැඩෙන බීජ මෙන් අරමුණ නැමති පොළවෙහි වැඩේ. (වර්ධනය වේ.)
දෙවන සූත්‍රයයි.
3. උදාන සූත්‍ර වර්ණනාව
තෙවන සූත්‍රයේ - “උදානං උදානෙසි” යනු බලවත් සොම්නස් බව හටගැනීමෙන් ප්‍රීතිවාක්‍යයක් පහළ කල සේක යනුයි. කුමක් නිසා මෙසේ ප්‍රීතියක් බුදුපියාණන්ට ඇති වූ සේක්ද? සසුනේ නෛර්යාණික බව නිසයි. කෙසේද? මෙසේ උන්වහන්සේට සිත්විය. මේ සසුනෙහි මූලාධාරයෝ තුනකි. දානය, සීලය, භාවනාව යන උපනිශ්‍රය සම්පත් තුනයි. ඒ තුන අතුරින් දාන උපනිශ්‍රය සම්පත්තිය දුර්වලය භාවනා උපනිශ්‍රය සම්පත්තිය ප්‍රබලය. දාන හා සීල උපනිශ්‍රය සම්පත් දෙකින් ත්‍රිවිධ මාර්ගයන්ට හා ඵලයන්ට පැමිණේ. භාවනා උපනිශ්‍රය සම්පත්තියෙන් රහත් බවට පත්වේ. මෙසේ දුර්වල උපනිශ්‍රයෙහි පිහිටි භික්‍ෂුව උත්සාහ කරනුයේ වෑයම් කරනුයේ පඤ්ච ඕරම්භාගිය බන්‍ධනයන් සිඳ තුන්මාර්ග ඵල උපදවයි. අහෝ! නෛර්යාණික සසුනේ බලමහිමය පුදුමයි.” ආවර්ජනය කරන්නාට මෙසේ සිත් පහළ වේ.
එහි දුර්වල උපනිශ්‍රයක හිඳ වෑයම් කරන්නාට ත්‍රිවිධ මාර්ග ඵලයන්ට පැමිණේ. මේ අර්ථය දැක්වීමට මිලක්ඛ තෙරුන්ගේ කථාවස්තුව දැක්විය යුතුය.
උන්වහන්සේ ගිහිකල ප්‍රාණඝාතාදී කර්මවලින් ජීවිතය ගෙනයනුයේ කැළයේ උගුල් සීයක්ද මොහොල් සීයක්ද යෙදවූහ. එක්දිනක් අඟුරුවලින් පිළිස්සු මස් කා, උගුල් ඇටවූ තැන්වල හැසිරෙනුයේ දැඩි පිපාසාවක් ඇතිවිය. එක් ආරණ්‍ය තෙර නමක් වසන විහාරයකට ගොස් තෙරුන් සක්මන් කරන තැනට නුදුරෙහි සිට පැන්කළය විවර කළේය. අත් තෙමාගැනීම් පමණවත් දිය ඇතිබවක් නොපෙනුණි. ඔහු කිපී මෙසේ කීය. “මහණ! මහණ! නුඹලා ගහපතියන් විසින් දෙන දේ කමින් නිදාගනිවු. පැන් කළයෙහි ඇඟිල්ලක් පමණවත් ජලය නොතබමු. මෙය සුදුසු නොවේ”යි බැණවැදුණි. තෙරුන් වහන්සේ “මවිසින් දැන් පැන් කළය පුරවා තැබුවෙමි. මොහු කියන්නේ මොනවාද?”යි පවසමින් ගොස් බැලූසේක් පිරුණු කළය දැක දඩයම්කරුට පැන් දෝතක් පුරවා දුන්නේය. ඔහු දෙතුන් දෝතක් පුරවා පැන්බී මෙසේ සිතීය. “මෙසේ දියපිරි කළය පවා මාගේ පාපකර්මයන් පැමිණ රත්වූ කබලක් මෙන් මට වේදනා දෙයි. අනාගතයේදී මගේ ආත්මභාවයට කුමකින් කුමක් වේද?”යි කළකිරීමට පත්ව දුන්න විසිකර “ස්වාමීනි, මා පැවිදි කරන සේක්වා!”යි ඉල්වීය. තෙරුන් වහන්සේ තච පංචක කමටහන කියවා ඔහු පැවිදි කළ සේක.
ඔහු මහණදම් පුරනවිට බොහෝ මුව ඌරෝ මැරූ තැන්වල උගුල්-මොහොල් ආදී යොදන ලද ආයුධ සිහිවේ. එය සිහිකරන උන්වහන්සේගේ සිරුරින් ඩාබිඳු වැගිරේ. කුළු ගොනෙක් මෙන් කමටහනෙහි සිත නොපිහිටයි. ඔහු “දැන් මේ මහණකමින් කුමක් කරන්නෙම්ද?”යි පැවිද්දෙහි නො ඇලුණු සිත් ඇතිව වේදනාවෙන් තෙරුන් වහන්සේ සමීපයට ගොස් වැඳ “ස්වාමීනි! මම මහණදම් කිරීමට අසමත් වෙමි”යි පැවසීය. එවිට ඔහුට “දැන් හස්ත කර්මාන්ත කරව”යි තෙරුන් වහන්සේ පැවසූහ. ඔහු “ස්වාමීනි! මැනව” යි කියා ඉඹුල් ආදී අමු ගස් සිඳ ගොඩ ගසා “දැන් කුමක් කරම්ද?”යි ඇසීය. “ඒවා දවන්න”යි තෙරහු වදාළහ. ඔහු හතරවටින්ම අමු ඉඹුල් දරගොඩ දැවීමට උත්සාහ කර අසමත් වී තෙරුන්ට ඒ බව දැන්වීය. තෙරුන් වහන්සේ එවිට “එසේනම් ඉවත්වෙන්න”යි පවසා මහපොළව දෙබෑ කර අවීචියෙන් කණාමැදිරියෙක් පමණ වූ ගිනි සිලුවක් රැගෙන ඒ ඉඹුල් දරගොඩට දැමූහ. එවිට ක්‍ෂණයකින් වියලි කොළ ගොඩක් මෙන් දරගොඩ දැවී ගියේය. තෙරුන් වහන්සේ පාපී භික්‍ෂුවට අවීචියේ බරපතලකම පෙන්වා “ඉදින් සිවුරු හැරයන්නේ නම් මෙහි පැසෙන්නේයැ”යි සංවේග ඉපිදවීය. එම පවිටු භික්‍ෂුව අවීචිය දැකීමේ පටන් කම්පාවූයේ “ස්වාමීනි! බුදුසසුන නෛර්යාණිකද?”යි විමසීය. “ඇවැත්නි, එසේය.” “ස්වාමීනි! යහපති. බුදුසසුන සසරින් නිදහස ගෙන දෙන්නක් නම් මිලක්ඛය! ආත්ම මෝක්‍ෂය කරන්නේය. සිවුරු හැරීම ගැන නොසිතව”යි එතැන් පටන් මහණදම් පුරයි. වෑයම් කරයි. වත්පිළිවෙත් කරයි. නිදිමතින් බාධා ඇතිකරන විට තෙත් වූ පිදුරු මිටියක් හිස තබාගෙන පා ගල් පොකුණක දමා හිඳියි. ඔහු එක්දිනක් පැන් පෙරා, කළය කලවයෙහි තබාගෙන, දිය දමන මහසැළියේ දිය බිඳී බිඳී යෑම බලමින් සිටියේය. එවිටම තෙරුන් වහන්සේ එම සාමණේරයාට ඇසෙන සේ මේ ගාථාව පැවසූහ.