4. දෙවැනි භික්ඛු සූත්ර වර්ණනාව
සතරවන සූත්රයේ - “තං අහුමීයති” යනු ඒ කලක් පැවති (අනුසයිත වූ) රූපාදිය නැතිවනුයේ අනුසයත් සමග ම නැසේ යනුයි. අරමුණ බිඳී යන කල්හි, ඒ අරමුණට හේතු වූ ධර්මයෝ නොපවතින්නේ ම ය. “යං අනුමීයති” යනු යම් වූ රූපයක් යම් අනුසයකින් අනුව නැසේද එයයි. “තෙන සංඛං ගච්ඡති” යනු ඒ රාගාදී ක්ලේශධර්ම අනුව ඇලුණේය. දුෂ්ට වූයේය හා මුළා වූයේය යන සංඛ්යාවට යයි යනුයි. නැතහොත් “යං” යන කරණ විභක්ති (තතියා) වචනයකි. යම් අනුසයකින් නැසේද එයින් රක්ත වූයේය. දුෂ්ට වූයේය. මුළාවූයේය යන සංඛ්යාවට යයි යන අර්ථයි.
සිවුවන සූත්රයයි.
5. පළවැනි ආනන්ද සූත්ර වර්ණනාව
පස්වන සූත්රයේ “ඨිතස්ස අඤ්ඤථත්තං” යනුවෙන් දරන්නා වූ ජීවමානව පවතින්නා වූ ‘ජරාව’ පෙන්වා දෙයි. ප්රකටව පෙනේ. ඨිති යනු ජීවිතින්ද්රිය නම් වූ චිත්ත-චෛතසික ධර්ම ආරක්ෂා කිරීමට යෙදුණු නමකි. “අඤ්ඤථං” යනු ජරාවයි. දිරායෑමයි. එනිසා පැරැන්නෝ මෙසේ කීහ.
උප්පාදො ජාති අක්ඛාතො - භංගො වුත්තො වයොතිච
අඤ්ඤථත්තං ජරා වුත්තා - ඨිතිච අනුපාලනා
අඤ්ඤථත්තං ජරා වුත්තා - ඨිතිච අනුපාලනා
“ඉපදීම ‘ජාති’ යැයි කියන ලදී. වැනසියාම, විනාශ වීම ‘භංග’ යැයි කියන ලදී. අත්බවකට පත්වීම (වෙනස්වීම) ‘ජරා’ ව යැයි ද එය ආරක්ෂා වී පැවතීම ‘ඨිති’ යැයි ද කියනු ලැබේ.”
මෙසේ එක් එක් ඉපදීම - දිරායෑම - භංගවීම නම් වූ ත්රිවිධ ලක්ෂණයෝ වෙත්ද ඒ සඳහා කියන ලදී. “මහණෙනි! මේ ත්රිවිධ ලක්ෂණයෝ හේතුප්රත්ය එකතුවීමෙන් හටගත් සංඛත වස්තූන්හි ලක්ෂණ වෙති.”
එහි “සංඛත” නම් හේතු ප්රත්යයන්ගේ සමවායෙන් පහළවන දෙයයි. යම්කිසි සංස්කාරයක, සංස්කාරය ලක්ෂණය නොවේ. ලක්ෂණය සංස්කාරය නොවේ. සංස්කාරයෙන් තොරව ලක්ෂණය පෙන්වීමට නොහැකිය. ලක්ෂණවලින් තොරව සංස්කාර නොපවතී. ලක්ෂණයන් ප්රකට වන කල්හි සංස්කාර ප්රකට වන්නේය. යම්සේ ගවදෙන ලක්ෂණය නොවේ. ලක්ෂණයම ගවදෙන නොවේ. නමුත් ගවදෙන අත්හැර ලක්ෂණ පෙන්වාදීමට නොහැක. ලක්ෂණ අත්හැර ගවදෙන පෙන්වාදීමටද නොහැක. ලක්ෂණයන්ගෙන්ම ගවදෙන ප්රකට වන්නීය. මෙසේ සියලු පද අර්ථ දතයුතුයි.
එහි සංස්කාරයන්ගේ උත්පාද ක්ෂණයෙහි සංස්කාරයන් ද උත්පාද ලක්ෂණ ද කාල සංඛ්යාත වූ ඒ ක්ෂණයෙහි ප්රකට වේ. උත්පාදය (ඉපදීම)ද පවතී යැයි කී කල්හි සංස්කාරය ද ජරා ලක්ෂණ ද කාලසංඛ්යාත වූ ඒ ක්ෂණයෙහි ප්රකට වේ. භංග ක්ෂණයෙහි සංස්කාර ද ඒ ලක්ෂණය ද කාල සංඛ්යාත වූ ඒ ක්ෂණයෙහි ප්රකට වේ. ඇතැම් සම්ප්රදායන්හි මෙසේ පැවසේ. (මහාවිහාරික නොවන) අරූප ධර්මයන්ගේ දිරායන ක්ෂණය නම් ප්රකටව දැක්වීමට නොහැක. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ද වේදනාවෙන් ඉපදීම ප්රකට වේ. විනාශවීම ප්රකට වේ. සිටියේ (පැවති අයුරින්) අන් අයුරකට පත්වීම ප්රකට වේ.” යැයි දෙසූසේක් අරූප ධර්මයන්හි ද ත්රිවිධ ලක්ෂණය පණවයි. ඒවායින් ඇති (පවතින) ක්ෂණය දැඩිව ගැනීමෙන් ලැබේ යැයි පවසා-
අත්ථිතා සබ්බ ධම්මානං ඨිතිනාම පවුච්චති
තස්සෙව භෙදො මරණං සබ්බදා සබ්බපාණනන්ති
තස්සෙව භෙදො මරණං සබ්බදා සබ්බපාණනන්ති
“සියලු ධර්මයන්ගේ පැවතීමෙන් “ඨිති” නමින් එය හැඳින්වේ. සැමදා ම සෑම ප්රාණියෙකුගේම මේ පවතින ධර්මයන්ගේ බිඳීයාම ම “මරණය’ ලෙස හැඳින්වේ.”
මේ ආචාර්යවරුන්ගේ ගාථාවෙන් එම අර්ථය සම්පූර්ණ කරයි. නැතහොත් තෘෂ්ණා වශයෙන් එතැන සිටි බව (ඨිති) දැනගත යුතුයැයි කියයි. සූත්රයෙහි මෙහි විශේෂයක් නොමැති බැවින්, ආචාර්ය මතයෙන් සූත්රය නො වළක්වා මේ සූත්රයම ප්රමාණ කළ යුතුය.