2. දෙවදහ සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රයෙහි “දෙවදහං” යන්නෙහි “දේව” යනු රජවරුයි. ඔවුන්ගේ මංගල විලයි. තමාම හටගත් - ස්වභාවිකව හටගත් බැවින් ද ඒ විලට “දේවදහ” යැයි කියයි. එම විලට නුදුරින් ඇති නියම්ගම “දේවදහං” යනුවෙන් (දේවදහ) නපුංසකලිංග වශයෙන් සළකනු ලැබේ. “පච්ඡා භුම්ම ගමිකා” යනු පච්ඡාභුම්ම නම් වූ අපරදිග පැවති ජනපදයකට යනු කැමැත්තෝය. “නිවාසං” යනු තෙමසක් වස් වසා වැඩ සිටීමයි. “අපලොකිතො” යනු විමසවු යනුයි. කුමක් නිසා තෙරුන්ගෙන් විමසනු ලැබේද? ඔවුහු සභාරයෙහි කැමැත්තෙනි. යමෙක් එකම විහාරයේ වාසය කළත් සමීපයට නොයයි. විහාරයෙන් පිටත්ව යන්නේ නොවිමසමාම යයි. මෙය “නිබ්භාර” නම් වේ. යමෙක් එක ම විහාරයේ වාසය කරනුයේ පැමිණ දැක කතාබහ කරයි. විහාරයෙන් පිටත්ව යනවිට ඒ පිළිබඳ විමසා අවසර ගෙන යයි. මෙය “සභාර” නම් වේ. මේ භික්‍ෂූහු ද මේ ආදී යහපත් ශිලාදියෙහි වැඩේවායි පතමින් භාග්‍යවතුන් වහන්සේ ඔවුහු සභාරයෙහි යෙදුනවුන් කරනු කැමැත්තෙන් “තෙරුන්ගෙන් විමසන්න” යැයි වදාළහ.
“පණ්ඩිතො” යනු චක්‍ෂුරාදී ධාතු විභාගයෙහි දක්‍ෂවීම් ආදී සතර වැදෑරුම් පාණ්ඩිත්‍යයෙන් යුක්ත වූ යනුයි. “අනුග්ගාහකො” යනු ආමිෂ අනුග්‍රහයෙන් ද ධර්මානුග්‍රහයෙන්ද යන දෙවැදෑරුම් අනුග්‍රහයන්ගෙන් අනුග්‍රාහක වූ යනුයි.
සැරියුත් තෙරුන් වහන්සේ වනාහී සෙසු භික්‍ෂුන් මෙන් උදෙන් ම පිඬු පිණිස නොගොස් සියලු භික්‍ෂූහු පිඬු පිණිස වැඩිකල්හි මුළු සංසාරය පුරාම හැසිරෙමින් නොහැමදූ තැන් අමදින සේක. ඉවත නොදැමූ කසල ඉවත දමන සේක. සංඝාරාමයෙහි නුසුදුසු තැන්වල තැබූ ඇඳ-පුටු-මැටි භාණ්ඩ ආදිය සුදුසු තැන තබන සේක. කුමන කරුණකින් මෙසේ කරන සේක්ද? අන්‍ය තීර්ථකයෝ විහාරයට පිවිස මේවා දැක පරිභව නොකරත්වා යන අදහසිනි. ඉක්බිති උන්වහන්සේ ගිලාන ශාලාවට වැඩ, ගිලන් වූ භික්‍ෂූන් සනසා “කිසිවක් අවශ්‍යද?”යි අසා අවශ්‍ය දෙයක් පැවසූ විට එය එවීම සඳහා එම රෝගී හිමිවරුන්ගේ සාමණේරවරුත් රැගෙන, පිඬු පිණිස හැසිරීමෙන් හෝ තමාට සුදුසු ගෙදරකින් හෝ බෙහෙත් හා අවශ්‍ය දේ පිළියෙල කරවා, සාමණේරවරුන්ට දී “ගිලනුන්ට උපස්ථාන කිරීම නම් බුදු-පසේබුදුවරු විසින් වර්ණිත දෙයකි. යන්න සත්පුරුෂයනි! අප්‍රමාදීව සත්කාර කරන්න”යි ඔවුහු ගිලන්හල වෙත යවා තමන් වහන්සේ පිඬුපිණිස හැසිරෙන සේක. නැතිනම් උපස්ථායක ගෙදරකින් දන් වළඳා විහාරයට වැඩම කරන සේක. මෙසේ උන්වහන්සේ නිතර වාසය කිරීමෙන් පුරුදු කරන ලද මහඟු ගුණ ඇත.
භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි හැසිරෙන කල්හි, “මම අග්‍රශ්‍රාවක වෙමි”යි පාවහන් දමාගෙන - කුඩය ගෙන ඉදිරියෙන් නොයන සේක. එම පිරිසෙහි සිටින මහලු, ආබාධිත, ඉතා කුඩා හිමිවරු වෙත ගොස් ඔවුන්ගේ රිදෙන තැන්වල තෙල් ගා මිරිකා උන්වහන්සේලාගේ පාසිවුරු තමන් වහන්සේගේ ළදරු සාමණේරවරුන්ට දී එදිනම හෝ දෙවන දිනයේ ඔවුන් සමග වඩින සේක.
එක්දිනක් මෙසේ වැඩි සැරියුත් තෙරණුවෝ ඉතා පසුවී පැමිණි බැවින් සෙනසුනක් නොලැබ, සිවුරු කුටියක හුන් බව දුටු බුදුපියාණන් වහන්සේ දෙවැනි දින භික්‍ෂු සංඝයා රැස්කරවා, ඇත් වඳුරු-තිත්තර ජාතකය දේශනා කළ සේක. ඒ අනුව වැඩිමහල් පිළිවෙල අනුව සෙනසුන් දිය යුතු යැයි ශික්‍ෂා පදයක් ද පැනවූහ. මෙසේ සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන්ට ආමිසයෙන් උපකාර කරති. අනුග්‍රහ දක්වති.
උන්වහන්සේ භික්‍ෂූන්ට අවවාද දෙන විට සියවාරයක්, දහස් වාරයක් වුව ද අවවාද දී ශ්‍රාවක භික්‍ෂූහු සෝවාන් ඵලයෙහි පිහිටුවන සේක. ඉන්පසු වෙනත් භික්‍ෂුවකම අවවාද දෙන සේක. මේ ක්‍රමයෙන් අවවාද දී, උන්වහන්සේගේ අවවාද මත ක්‍රියාකොට රහත් වූ භික්‍ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව අප්‍රමාණය. මෙසේ උන්වහන්සේ ධර්මානුග්‍රහණයෙන් භික්‍ෂූන්ට උපකාර කරන සේක.