6. ලකුණ්ටකභද්දිය සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයේ - “දුබ්බණ්ණං” යනු විරූප වූ ශරීර වර්ණ ඇති යනුයි. “ඔකොටිමකං” යනු මිටි වූ යනුයි. “පරිභූත රූපං” යනු ප්‍රමාණ වශයෙන් නින්දා ලබන යනුයි. ඔහු වනාහී ඡබ්බග්ගිය (බුදුවදනට පටහැනිව යන අකීකරු පැවිද්දන් හයදෙනෙකි.) භික්‍ෂූන් විසින් “ඇවැත්නි, භද්දිය” “ඇවැත්නි, භද්දිය” යනුවෙන් ඒ ඒ තැන අතගාමින් විවිධාකාර වශයෙන් ක්‍රීඩා කරති. එහාට අදිති. මෙහාට අදිති. එනිසා “නින්දා ලබන ස්වභාව ඇති” යනුවෙන් කියන ලදී.
කුමක් නිසා මොහු මෙබඳු ස්වරූප ඇතිව උපන්නේද? මොහු අතීත අත්බවකදී මහරජෙක් විය. ඔහුට මහලු අය ද කළු කුෂ්ට ඇත්තෝ ද අතිශයින් පිළිකුල් විය. ඔහු ඉදින් මහලු වූවන් දකියි ද ඔවුන්ගේ හිස් මුදුනින් එල්ලා තබා කැසපට ගස්වා, කැමති පරිදි ක්‍රීඩා කරයි. මහලු ස්ත්‍රීහුද දැක ඔවුන්ටද කැමති-කැමති විප්‍රකාර කරමින් කැමති සේ ක්‍රීඩා කරයි. ඔවුන්ගේ දූදරුවන් ඉදිරියේ මෙසේ කරනවිට මහත් වූ ලැජ්ජාවක් උපදියි. ඒ පාප ක්‍රියාවෙන් පොළවේ සිට සදෙව්ලොව එක ම කෝලාහලයක් ඇතිවිය.
ඉක්බිති ශක්‍රයා මෙසේ සිතීය. “මේ බාලයා (මෝඩයා) මහජනයා වෙහෙසට පත්කරයි. ඔහුට නිග්‍රහයක් කරන්නෙමි”. ඔහු මහලු ගැමියකුගේ ස්වරූපයක් ගෙන එක් කිරිමෝරු සැළියක් ද රථයෙහි තබාගෙන, එය දක්කාගෙන නගරයට පිවිසියේය. රජු ද ඇතුපිට නැගී නගරයෙන් නික්ම ඉදිරියට එනුයේ ඔහු දැක “මේ මහල්ලා, මෝරු රථයක් ගෙන මා ඉදිරියට එයි. වලකවු. වලකවු”යි මිනිස්සු ඔබිනොව ඉවත්ව ගියත් ඔහු නොදක්නේය. ශක්‍රයා “රජු පමණක් මා දකීවා. අන්‍යයන් මා නොදකීවා!”යි අධිෂ්ඨාන කළේය.
ඉක්බිති ඒ මිනිස්සු “රජතුමනි, කොහිද?” රජතුමනි කොහිද?”යි අසද්දී ම රජු ඇතාත් සමග; දෙනගේ ඇඟ යටින් යන වසුපැටවකු මෙන් මෝරු කරත්තයේ යටට පිවිසියේය. ශක්‍රයා මෝරු සැළිය බින්දේය.
රජු හිසේ සිට මෝරුවලින් තෙත්වූ සිරුරු ඇත්තේ විය. ඔහු ශරීරය තවාගෙන, උයනේ පොකුණින් දිය නා, අලංකාර වූ ශරීරයක් ඇතිව නගරයට පිවිසෙනුයේ නැවත මහල්ලා දුටුවේය. දැක “මේ මා විසින් දුටු මහල්ලා නැවත පැමිණෙයි. වලකවු”යි කීය. මිනිස්සු “රජතුමනි කොහිද? ඒ මහල්ලා කොහිද?”යි අසමින් එහෙ-මෙහෙ දිවූහ.
රජතුමා පළමු විප්‍රකාරයටම නැවත පත්විය. එකෙණෙහි ම ශක්‍රයා ගොනාද රථය ද අතුරුදහන් කර, අහසෙහි සිට මෙසේ කීවේය. “අඳ බාලය! නුඹ මා එක් මෝරු වෙළෙන්දෙකියි සිතා සිටියි. මම ශක්‍ර දිව්‍ය රාජයාය. නුඹගේ මේ පාපක්‍රියාවන් නැවැත්වීමට පැමිණියෙමි. නැවත මෙවැනි පාපක්‍රියා නොකරවු”යි තර්ජනය කර ගියේය. මේ කර්මය නිසා ඔහු දුර්වර්ණ වූවෙක් විය.
විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මොහු “චිත්‍රපත්‍ර” නම් කොවුලෙක් වී ක්‍ෂේම වූ (අභය භූමියක් වූ) මිගදායෙහි වසයි. එක් දිනක් හිමවතට ගොස් මිහිරි අඹගෙඩියක් තුඩින් රැගෙන එනවිට භික්‍ෂු මහා සංඝයා පිරිවරාගෙන වඩින බුදුරජාණන් වහන්සේ දැක මෙසේ සිතුවේය. “මම වෙන දවස්වල දී හිස් අතින් සිටියදී බුදුහු දකිමි. අද මට මේ අඹ ගෙඩියක් ඇත. දසබලයන් වහන්සේට මෙය දෙන්නෙමි”යි පහළට බැස අහසෙහි සිටියේය. බුදුරජාණන් වහන්සේ කොවුලාගේ සිත දැන, උපස්ථායක තෙරුන් දෙස බැලූ සේක. ඔහු පාත්‍රය ගෙන දසබලයන් වහන්සේට වැඳ, එම පාත්‍රය බුදුන්ගේ අතෙහි තැබුවේය. කොවුලා එම පාත්‍රයෙහි අඹ ගෙඩිය තැබීය. බුදුහු එතැනම වැඩහිඳ අඹගෙඩිය වැළඳූහ. කොවුලා අතිශය සතුටට පත්ව පුනපුනා බුදුගුණ සිහිකරමින් බුදුරදුන්ට වැඳ තමාගේ වසන තැනට ගොස්, සත්දිනක් ම ප්‍රීති සුවයෙන්ම කල්යැවීය. මෙම කර්මයේ බලයෙන් භද්දිය තෙරුන්ට මිහිරි කටහඬක් ලැබුණි.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී චෛත්‍යය සෑදීම ඇරඹූ කල්හි “කොපමණ ප්‍රමාණයකින් කරමුද?” ඇසූවිට “යොදුන් හතක් උසටය.”යි කී කල්හි “එය ඉතා මහත්ය” “යොදුන් හයක් උසට සාදමු” “එයද ඉතා විශාලය”. පස්-සිවු-තුන් යොදුන්, දෙයොදුන් කිරීමටවත් එදා ප්‍රධාන වඩුවා වී මොහු අකමැති විය. මෙය අනාගතයේ දී සුවසේ පිළිසකර කිරීමට හැකිවිය යුතුයැයි කියා නූලක් ගෙන වටකරමින් ගවුවක් පමණ දුරින් සිට “සෑම පැත්තක්ම ගවුවක් පමණ වේවා!”යි චෛත්‍යය යොදුනක් පමණ වසාගත්, යොදුනක් උස වූවක් වන්නේය” කීවේය. සෙස්සෝ ඔහුගේ වචනය පිළිගත්හ. චෛත්‍යය වසර හතකුත් මාස හතකුත් දින සතකුත් ගෙවුණු කල්හි සාදා නිමකරන ලදී. මෙසේ අප්‍රමාණ වූ බුදුරජාණන් වහන්සේගේ ප්‍රමාණයක් කරන ලද කර්මයේ බලයෙන් ඔහු අතිශයින් මිටි ශරීර ඇතිව උපන්නේය.