9. භික්ඛු සංයුක්තය
1. ප්රථම වර්ගය
1. මොග්ගල්ලාන සූත්ර වර්ණනාව
භික්ෂු සංයුත්තයේ පළමු සූත්රය - “ආවුසො” ශ්රාවකයන්ට ඇමතීමයි. බුදුවරු නම් ශ්රාවකයන්ට අමතන්නාහු “භික්ඛවෙ” යනුවෙන් අමතන සේක. ශ්රාවකයෝ වනාහි “බුදුවරු සමග අප සමාන නොවේවා” යන සිතින් පළමුව “ආවුසො” යනුවෙන් අමතා පසුව “භික්ඛවො” යනුවෙන් අමතති. බුදුවරු විසින්, ශ්රාවක භික්ෂු සංඝයා ඇමතූ කල්හි, එම භික්ෂූහු “භදන්තෙ” යනුවෙන් පිළිතුරු දෙන්නාහ. ශ්රාවකයන් ඇමතූ කල්හි “ආවුසො” යනුවෙන් පිළිවදන් දෙන්නාහ. “අයං වුච්චති” යම් හෙයකින් දෙවැනි ධ්යානයෙහි විතක්ක විචාරයෝ නිරුද්ධ වේද, යමක නිරෝධයෙන් ශබ්දායතනය නොපවතින ස්වභාවයට යයි. එනිසා මෙය “දුතියජ්ඣානය” නම් වේ. ආර්ය විනයෙහි මෙයම ආර්යයන්ගේ තුෂ්ණිම්භාවය යැයි (නිශ්ශබ්දව සිටීම) කියයි. මෙය මේ පදයේ අර්ථයයි. “ධම්මීවා කථා අරියොවා තුණ්හීභාවො” යනු මෙහි “කමටහන් මෙනෙහි කිරීමත් ප්රථම ධ්යානාදියත් ආර්ය වූ තුෂ්ණිම්භාවය”යැයි දැක්වේ.
“විතක්ක සහගත” යනු විතර්ක අරමුණ සහිත. “සඤ්ඤාමනසිකාරා” යනු සංඥාවද මනසිකාරයෝ ද යනුයි. “සමුදාචරන්ති” යනු පවතිත් යනුයි. තෙරුන් වහන්සේට ද්විතීය ධ්යානය ඉතා ප්රගුණය. ඉක්බිති උන්වහන්සේට ඒ ධ්යානයෙන් නැගීසිටි කල්හි විතර්ක, විචාරයෝ ශාන්තව සංසිඳී වැටහුනහ. මෙසේ උන්වහන්සේට දෙවැනි ධ්යානය ද සඤ්ඤා-මනසිකාර දෙකද පිරිහීමට ගියහ. එය දක්වමින් මෙසේ වදාළහ. “සණ්ඨපෙහි” යනු මැනවින් තබන්න යනුයි. “එකොදිං කරෝහ” යනු එකඟ කරගන්න යනුයි. “සමාදහා” යනු මැනවින් වඩන්න නංවන්න යනුයි. “මහාභිඤ්ඤතං” යනු ෂඩ් අභිඥාවයි. ශාස්තෘෘන් වහන්සේ මේ ක්රමයෙන් තෙරුන්ට සත්වැනි දිනයේදී තෙරුන්වහන්සේගේ පිරිහී ගිය සමාධිය වඩා උන්වහන්සේ ෂඩ් අභිඥාවන්ට පැමිණවූ සේක.
පළමු සූත්රයයි.
2. සාරිපුත්ත සූත්ර වර්ණනාව
දෙවන සූත්රයේ “අත්ථි නු ඛො තං කිඤ්චි ලොකස්මිං” යනු ඉතා උසස් වූ සත්ත්වයෙක් හෝ සංස්කාරයක් හෝ සඳහා කියන ලදී. “සත්ථුපිඛො” මෙය යම් හෙයකින් ආනන්ද තෙරුන් තුල ශාස්තෘන් වහන්සේ කෙරෙහි පවතින අප්රමාණ වූ කැමැත්තත්-ප්රේමයත් වන්නේද එහෙයින් කිම - මේ තෙරුන්ට ශාස්තෘෘන් වහන්සේගේ නැතිවීමෙන් ශෝකාදියක් නූපදින්නෙහිද?යි දැනගැනීමට මෙසේ විමසන ලදී. “දීඝරත්තං” ඌරන් හෑරූ ලෙණෙහි දී දීඝනඛ නම් පිරිවැජියාට වේදනා පරිග්රහ සූත්රය දෙසූ දවසේ පටන් ඉක්ම ගිය කාලය හඟවනු වස් මෙසේ වදාළහ. ඒ දිනයේ තෙරුන් වහන්සේගේ මේ සංසාර පැවැත්ම ගෙනදෙන සකල ක්ලේශයෝ ප්රහීන කරන ලදහ.
දෙවන සූත්රයයි.
3. මහානාග සූත්ර වර්ණනාව
තෙවන සූත්රයේ - “එකවිහාරෙ” යනු එක්තරා ගැබකය. එකල්හි බොහෝ ආගන්තුක භික්ෂූහු රැස්වූහ. එහි පිරිවෙන් අග හෝ විහාර අග හෝ සෙනසුන් නොපැමිණි කල්හි (ප්රමාණවත් නොවූ කල්හි) අගසවු දෙනමට එකම ගැබක්-කුටියක් පැමිණියේය. ඔවුහු දවල් කාලයේ වෙන් වෙන් වූ තැන හිඳිති. රාත්රියේ ඔවුන් අතර සිවුරු තිරයක් දිගහරිති. ඔවුහු තමාට පැමිණි, පැමිණි තැනම හිඳිති. එනිසා “එක් විහාරයේ වසමින්” යනුවෙන් කියන ලදී. “ඔළාරිකෙත” මෙය ඕළාරික අරමුණ සඳහා කියන ලදී. දිවැස් හා දිවකන් (දිව්ය චක්ෂු, දිව්ය ශ්රේත) සමාධිවලට සමවැදී උන්වහන්සේ වාසය කළහ. ඒවා ද රූපායතන, ශබ්දායතන නම් වූ ඕළාරික ආරම්මණයන්ය. මෙසේ දිවැසින් රූපයන් දුටුබැවින් ද දිව්යම ශ්රෝත ධාතුවෙන් (දිව කණින්) ශබ්ද ඇසූ බැවින්ද ඒ විහරණය “ඕලාරික” නම් වේ. “දිබ්බ චක්ඛුං විසුජ්ඣි” යනු භාග්යවතුන් වහන්සේගේ රුව දැකීම පිණිස පිරිසිදු විය යනුයි. “දිබ්බා ච සොතධාතු” යනු එම දිවකණ ද භාග්යවතුන් වහන්සේගේ ශබ්ද ඇසීම පිණිස පිරිසිදු විය යනුයි. භාග්යවතුන් වහන්සේ ද තෙරුන්ගේ රූපය දැකීමට මෙන්ම ශබ්ද ඇසීමට ද එම ඥාන දෙක පිරිසිදු කළ සේක. එකල්හි තෙරුන් වහන්සේ “ශාස්තෘෘන් වහන්සේ දැන් කොතැනක වෙසේදැ”යි ආලෝකයා වඩා දිවැසින් බැලූ සේක්, ශාස්තෘන් වහන්සේ ජේතවන විහාරයේ ගඳකිළියෙහි හුන් බව දැක, උන්වහන්සේගේ දිවකනින් ශබ්ද ද ඇසූහ. බුදුපියාණන් වහන්සේද එසේම කළ සේක. මෙලෙස දෙදෙනා වහන්සේ ඔවුනොවුන්ගේ රුව දැක්කහ. ශබ්ද ද ඇසූහ.
“ආරද්ධ විරියො” යනු පරිපූර්ණ වූ වීර්යයයි. පටන්ගන්නා ලදුව එසවූ වීර්යය. “යාවදෙව උපතික්ඛෙපණමත්තාය” යොදුන් තුන්දහසක් පැතිරුණු හිමාල පර්වතය ඉදිරියේ තැබූ අබ ඇටයක් පමණ වූ ගල්කැටයක් “හිමාලය ද වඩා විශාල වනුයේ නැතිනම් මේ ගල්කැටයද?”යි මෙසේ සැසඳීමට, ළඟින් තැබීමට පමණක්ම උපකාර වේයැයි කියන ලදී. දෙවැනි උපමාවේද මෙම ක්රමයමයි. “කප්පං” යනු ආයු කල්පයකි. “ලොණ ඝටාය” - “සක්වල මුවවිට ආධාර කරගත් මුවවිට සහිත බ්රහ්මලෝකය දක්වා ගැටී සිටි ලුණු සැලියේ”යැයි දක්වයි.
මේ තෙරවරු උපමා ගෙනහැර දක්වන්නාහු ගැලපෙන නිසාද විද්යාමාන ගුණ නිසාද ගත්හ. කෙසේද? අගසවු දෙනමගේ ඍද්ධිය නම් ඉතා උස් වූ අර්ථයෙන් මෙන්ම මහත් වූ අර්ථයෙන් ද හිමවත හා සමානය. ප්රඥාව සිවු භූමිවලට අයත් ධර්මයන්හි ඇතුලට පිවිස සිටි අර්ථයෙන් සියලු ආහාර-ව්යඤ්ජනයන්හි ඇතුලට පිවිස සිටි ලුණු වැනිය. මෙසේ සමාන වූ අර්ථයෙන්ම උපමා ගෙනහැර දැක්වූහ. මහමුගලන් තෙරුන්ගේ සමාධි ලක්ෂණය විභූතය. ප්රකටය. සැරියුත් තෙරුන්ගේ විදර්ශනා ලක්ෂණය විභූතය. ප්රකටය. සැරියුත් තෙරුන්ට අවිද්යමාන වූ ඍද්ධියක් නම් නැත. (ඍද්ධියෙන් අනූනය) නමුත් භාග්යවතුන් වහන්සේ විසින් “මහණෙනි! මගේ ශ්රාවක භික්ෂූන් අතර ඍද්ධිමතුන් අතර මහමුගලන් තෙරණුවෝ අග්රවෙති”යි උන්වහන්සේම අගතනතුරෙහි තබන ලදී. භාග්යවතුන් වහන්සේ විසින් “මහණෙනි! මගේ ශ්රාවක භික්ෂූන් අතර මහා ප්රඥාවන්ත භික්ෂූන්ගෙන් සැරියුත් මහ තෙරණුවෝ අග්රවෙති”යි සැරියුත් තෙරුන් අගතනතුරෙහි තබන ලද නමුත් මහමුගලන් තෙරුන්ට ද ප්රඥාව ඇත. එනිසා මේ දෙදෙනා වහන්සේ ඔවුනොවුන්ගේ තනතුරු නොව විද්යමාන වූ ගුණයන්ම මෙහිදී අදහස් කරන ලදී. මහමුගලන් තෙරණුවෝ සමාධි ලක්ෂණයෙහි සමෘද්ධවීමට පැමිණියහ. සැරියුත් තෙරණුවෝ විදර්ශනා ලක්ෂණයෙහි (විස්තර විභාග දැක්වීමට සමත් බැව්හි) සමෘද්ධියට පත්වූහ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ දෙකෙහිම විශේෂ විභාග දැක්වීමට අතිශය සමත්වන සේක.