7. විසාඛ පඤ්චාලිපුත්ත සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයේ - “පොරියා වාචාය” යනු පුරවැසි, නගරවැසි මිනිසුන්ගේ වචන හා සමාන වූ නොපිරිහුණු අකුරු-පද සහිත මිහිරි වදනින් යනුයි. “විස්සට්ඨාය” යනු නිදොස් වූ පළිබෝධ නොමැති වූ යනුයි. පිත්සෙම් ආදියෙන් පලුදු නොවූ යන අර්ථයි. “අනෙළගලාය” යනු යම්සේ මිනිස්සු කටින් කෙල ගලද්දී කථා කරයිද ඉන් තොරවූ, එලෙස නොවූ යනුයි. එනම් නිර්දේෂ වූ පිරිසිදු වචන ඇතිවයි. “පරියාපන්නාය” යනු චතුරාර්ය සත්‍ය පර්යාපන්න වූයි. චතුරාර්ය සත්‍යයන්ගෙන් නොමිදී පවතින්නා වූ. “අනිස්සිතාය” යනු සසර පැවැත්ම ආශ්‍රය කරගෙන නොකියන ලද යනුයි. “ධම්මො හි ඉසිනං ධජො” යනු නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය සෘෂිවරුන්ගේ ධජය-කොඩිය නම් වේ.
සත්වන සූත්‍රයයි.
8. නන්ද සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයේ - “ආකොටිතපච්චාකොටිතානි” යනු එක් පැත්තක අතින් හෝ මුගුරකින් හෝ තට්ටු කිරීමෙන් මදින ලද, නැවත පෙරලා තට්ටු කිරීමෙන් නැවත නැවත උළා මදින ලද යනුයි. “අඤ්ජිත්‍වා” යනු අලුතෙන් පුරවාය. “අච්ඡං පත්තං” යනු අලංකාර වර්ණ ඇති මැටි පාත්‍රයකි. කුමක් නිසා තෙරුන් වහන්සේ මෙසේ කලසේක්ද? බුදුරජාණන් වහන්සේගේ අදහස දැනගැනීම සඳහායි. උන්වහන්සේට මෙසේ සිතුණි. “ඉදින් ශාස්තෘෘන් වහන්සේ ‘මගේ මේ බාල සෝයුරු වූ නන්ද, ඉතා හොබනේයැ”යි වදාළහොත් දිවි ඇතිතාක් මේ අයුරින්ම හැසිරෙන්නෙමි. ඉදින් බුදුහු මෙහි දොස් දැක්වුවහොත් මේ ස්වරූපය අත්හැර, කසල ගොඩකින් වස්ත්‍රයක් ගෙන, සිවුරක් මසා එය පොරවාගෙන පර්යන්ත සෙනසුන්හි වසමින් හැසිරෙන්නෙමි” යනුවෙනි. “අස්සසී” යනු වන්නෙහිය.
“අඤ්ඤාතුඤ්ජෙන” සලකුණු කළ පොහොසත් ජනයාගේ ගෙවල්වල කුළුබඩුවලින් යුක්ත, සුවඳවත් භෝජන සොයන්නාගේ අහර සිඟීම “ඤාතුඤ්ජ” නම් වේ. ගෙපිළිවෙලින් දොරක් පාසා යමින් ලද මිශ්‍ර වූ භෝජනය “අඤ්ඤාතුඤ්ජ” නම් වේ. මේ අර්ථය මෙහිදී අභිප්‍රේතයි. “කාමෙසු අනපෙක්ඛිනං” යනු වස්තු කාමයෙහිද ක්ලේශ කාමයෙහිද අපේක්‍ෂාවක්-කැමැත්තක් නොමැතිව යනුයි. “ආරඤ්ඤකො ච” ආදී සියල්ල සමාදන්වීම් වශයෙන් කියන ලදී. “කාමෙසු අනපෙක්ඛො” යනු මේ සූත්‍රය දිව්‍යලෝකයේ දිව්‍යාංගනාවන් දක්වා පැමිණීමෙන් පසුව දෙසූවකි. මෙය දේශිත දවසේ පටන් තෙරුන් වහන්සේ ගැටෙන්නේ, වෑයම් කරන්නේ කිහිප දිනකින්ම රහත්බැව්හි පිහිටිසේක් දෙවියන් සහිත ලෝකයෙහි අග දක්‍ෂිණෙය්‍ය බවට පත්වූහ.
අටවන සූත්‍රයයි.
9. තිස්ස සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයේ - “දුම්මනො” යනු උපන් දොම්නස් බවයි. කුමක් නිසා මොහු මෙසේ දුක්ඛිත, දොම්නස් බවට පත්වූයේද? ඔහු ක්‍ෂත්‍රිය කුලයෙන් පැවිදි වූවෙකි. දෙපට සලුවක් හැඳගෙන, උතුම් සිවුරක් පොරවාගෙන, ඇස් අඳුන් ගා, මනෝසීල (රත් සිරියල්) තෙල් හිස ගල්වාගෙන සිටියි. ඔහු සෙසු භික්‍ෂූන් වහන්සේ දිවා වසන, රාත්‍රී වසන තැන්වලට නික්මගිය කල්හි, “භික්‍ෂූහු නම් විවේකාවසරයකින් හිඳිය යුතුය”යි නොදන්නේ, භෝජන ශාලාවට ගොස් මහ පුටුවක වාඩිවී හුන්නේය. දිශාවන්හි හැසිරෙන ආගන්තුක වූ පාංශුකූලික භික්‍ෂූහු පැමිණ, “අපට මේ ආකාර වූ දූවිලි වැකුණු සිරුරින් දසබලයන් වහන්සේ දැකීමට නොහැක. අපගේ බඩුබාහිරාදිය තබමු”යි භෝජනශාලාවට ගියහ. ඒ මහතෙරවරු වඩිනවිට තිස්ස හිමියන් එසේම නිශ්චලව සිටියේය. අනික් භික්‍ෂූහු “අත්පා මෙහෙවර කරමු.” “තල් අත්තෙන් පවන් ගසමු” ආදිය විමසති. මොහු වනාහු හුන්නේම “කොතෙක් වස්ද?” යි විමසූ විට “අපි වස් නැත්තෝය. නුඹලාගේ වස් කීයද ?”යි ඒ හිමිවරුන්ගෙන් ඇසීය. උන්වහන්සේලා වස් ගණන පැවසූවිට “මම අද පැවිදිවීමි”යි තිස්ස හිමි පැවසීය.
ඉක්බිති ඒ භික්‍ෂූහු ඔහුට “ඇවැත්නි, දැන් කැපූ හිසකෙස් ඇත්තෙහිද? අද ද නුඹගේ හිසින් උකුණුගඳ වහනය වේ. නුඹ නම් මෙපමණ වයසට ගොස් පැවිදි වී වස් විමසන විට නිශ්ශබ්දව-නිශ්චලව හුන්නෙහිය. ගෞරව දැක්වීම් පමණකුදු නුඹ ළඟ නැත. කාගේ සසුනක පැවිදිවීද?”යි ඔහු පිරිවරාගෙන වචන නැමති හුල්වලින් පහර දෙමින් “කිම නුඹ ණය ගත්තෙක්ද? භය වූවෙක්ද? ජීවත්වීමට නොහැකිව පැවිදිවීද?”යි කීහ. ඔහු එක් තෙරනමක් දෙස බැලුවේය. එහිමි “මහල්ල! කුමක් නිසා මා දෙස බලන්නෙහිද?”යි කී කල්හි තිස්ස හිමි වෙනත් අයෙකු දෙස බැලුවේය. උන්වහන්සේද එසේම ඇසූවිට “මොවුහු මා වටකරගෙන වචන නැමති සැත් (ආයුධ) වලින් විදින්නෝයැ”යි තිස්ස හිමිට ක්‍ෂත්‍රිය මානය උපන්නේය. ඇස්වලින් මැණික් පාට වූ කඳුලු වැගිරුණි. ඉක්බිති තිස්ස හිමි, සෙසු මහතෙරවරුන්ගෙන් මෙසේ ඇසුවේය. “කාගේ ළඟට ආවෙහිද?” ඔවුහු “අපි නුඹගේ ළඟට පැමිණියාහුයැයි නුඹ සිතන්නෙහිද? ගිහි බැඳුම් ඇති තැනැත්ත! එසේ නොසිතව. සදෙව්ලොවට අග්‍රපුද්ගලයා වූ ශාස්තෘෘන් වහන්සේ දැකීමට අපි පැමිණියෙමු”යි පැවසූහ. එම වදන් අසා අතිශයින් කෝපාවිෂ්ට වූ තිස්ස හිමි, “ඒ මගේ සෝයුරා ළඟට පැමිණියේ නම්, දැන් මම නුඹලා පැමිණි මාර්ගයෙන්ම ආපසු හරවා යවන්නෙමි”යි කියා බුදුරදුන් ළඟට යෑමට පිටත්වී අතරමගදී මෙසේ සිතුවේය. “මා මේ ආකාරයෙන් බුදුරදුන් ළඟට ගියහොත් මොවුහු නෙරපා හරින්නේ නැත.” එනිසා දුක් දොම්නස් විලාශයක් ගෙන කඳුළු වගුරුවමින් ගියේය. මේ කාරණයෙන් මොහු මෙබඳු ස්වරූප වීයැයි දතයුතුයි.