11. මහාකප්පින සූත්‍ර වර්ණනාව
එකොළොස්වන සූත්‍රයේ - “මහාකප්පිනො” යනු මෙනම් ඇති අභිඥා බල ඉපිදවූ අසූමහා ශ්‍රාවකයන් අතරින් ප්‍රධාන වූ මහතෙර නමකි.
උන්වහන්සේ ගිහිකල කුක්කුටවතී නුවර, තුන්සීයක් යොදුන් ඇති නුවරක රජ කළේය. පශ්චිම භවික සත්ත්‍වයෝ තම පුණ්‍යමහිමයට අනුරූප වූ පණිවුඩ ඇසීමටම යොමු වූ කන් ඇතිව හැසිරෙයි. එක් දිනක් දහසක් ඇමතියන් පිරිවරාගෙන රජු උයන් කෙළියට ගියේය. එකල්හි මධ්‍යම දේශයෙන් ඒ නගරයට පැමිණි සංචාරක වෙළඳ කණ්ඩායමක්, ඒ නුවරින් බඩුගෙන තැන්පත් (රැස්) කරවා, රජු දකින්නෙමුයි පුදපඬුරු ගත් අත් ඇතිව රජගෙදරට ගොස්, රජු උයනට ගිය බව දැන, රාජෝද්‍යානයට ගියහ. දොරටුවේ සිට දොරටුපාලයාට රජු දැකීමට අවශ්‍ය බව දැනුම් දුන්හ. රජුට දැන්වූ කල්හි රජු ඔවුන් කැඳවීය. පුදපඬුරු පිරිනමා වැඳ පසෙක සිටිකල්හි “දරුවනි! කොහිසිට පැමිණියාහුද?”යි රජු විමසුවේය. “දේවයන් වහන්ස, සැවැත්නුවර සිටයි.” “ඔබගේ රට කෙසේද? මැනවින් යැපේද? රජු දැහැමිද?” “එසේය දේවයන් වහන්ස” “නුඹලාගේ දේශයේ කිසියම් වූ ශාසනයක් තිබේද?” “දේවයන් වහන්ස! ඇත. ඒ ගැන පැවසීමට ඉඳුල් කටින් නොහැක”යි වෙළෙන්දෝ කීහ. රජු රන් කෙණ්ඩියෙන් පැන් දුන්නේය. ඔවුහු මුව සෝදා දසබලයන් වහන්සේ දෙසට ඇඳිලි බැඳගෙන “දේවයන් වහන්ස! අපගේ දේශයේ බුද්ධරත්නය පහළ විය.” යැයි කීහ. රජු “බුද්ධ” යන වචනය ඇසූ පමණින්ම සියලු සිරුරෙහි පැතිරුණු ප්‍රීතියක් පහළ විය. ඉක්බිති “දරුව! නුඹලා ‘බුද්ධ’ යැයි කීවෙහිද?” “දේවයිනි. ‘බුද්ධ’ යැයි අපි කීවෙමු.” මෙසේ තෙවරක්ම අස්වවා ‘බුද්ධ’ යන පදය අප්‍රමාණය. එහි ප්‍රමාණ කළ නොහැක. එනිසා එයට පැහැදුණේ වෙළෙන්දන්ට ලක්‍ෂයක් ධනය දී “වෙනත් කවර ශාසනයක් වේද?”යි ඇසීය. “දේවයන් වහන්ස ධර්මරත්නය පහළවී ඇත.” එයද අසා එලෙසින්ම තෙවරක් ප්‍රතිඥා ගෙන තවත් ලක්‍ෂයක් දී නැවත “අන් කවර සසුනක් තිබේද?”යි ඇසුවේය. “දේවයන් වහන්ස! සංඝරත්නය පහළවිය”යැයි වෙළඳු පැවසූවිට එලෙසින්ම ප්‍රතිඥා ගෙන තවත් ලක්‍ෂයක් දී, දුන් බව තල්පතක ලියා “දරුවනි ! දේවිය සමීපයට යව”යි ඔවුහු මාලිගය වෙත යැවීය. ඔවුන් ගිය කල්හි ඇමතියන් විමසුවේය. “දරුවනි! බුදුරජ ලොව “පහලවිය. නුඹලා කුමක් කරන්නහු ද?” “දේවයන් වහන්ස! නුඹවහන්සේ කුමක් කරන්නේද?” “මම පැවිදි වන්නෙමි.” “අපිද පැවිදි වන්නෙමු.” ඒ සියලුදෙන ම ගෙදර හෝ පවුල හෝ නොබලා යම් අසකු පිට නැගී ගියාහුද ඔවුන් සමග ම නික්මුණාහ.
වෙළෙන්දෝ අනෝජා දේවිය සමීපයට ගොස් කොළය (තල්පත) දැක්වූහ. ඇය එය කියවා “රජු නුඹලාට බොහෝ කහවණු දී ඇත. නුඹලා කුමක් කළේද?”යි ඇසුවාය. “දේවීනි! ප්‍රිය වූ පුවතක් රැගෙන ආවෙමු”යි කී කල්හි “දරුවනි! අපටද ඇසීමට හැකිද?”යි ඇසුවාය. “දේවිනි! කිවහැකිය. ඉඳුල් සහිත මුවින් එය කිව නොහැක. ඇය රන් කෙණ්ඩියකින් පැන් දෙවුවාය. ඔවුහු මුව සෝදාගෙන රජුට දැන්වූ පරිදිම දැන්වූහ. ඇයද එය අසා උපන් ප්‍රමෝදය ඇත්තී රජු කළ පරිදිම එක් එක් පදයට තුන්වර බැගින් ප්‍රතිඥා ගෙන ප්‍රතිඥා ගණනට තුන තුන බැගින් කහවනු නව ලක්‍ෂයක් දුන්නාය. වෙළෙන්දන්ට කහවණු දොළොස් ලක්‍ෂයක් ලැබුණහ.
ඉක්බිති “දරුවනි! අපගේ රජු කොහිද?”යි දේවිය ඇසූවිට “දේවිනි, පැවිදි වන්නෙමියි නික්මුණේය”යැයි වෙළෙන්දෝ කීහ. “එසේනම් දරුවනි, නුඹලා යවු”යි ඔවුහු පිටත්කර හැර, රජු සමග ගිය ඇමතිවරුන්ගේ භාර්යාවන් කැඳවා, “නුඹලාගේ සැමියන් ගියතැන දනිවුද?”යි ඇසූවිට “ආර්යාවෙනි! දන්නෙමු. රජු සමග උයන්කෙළියට ගියෝය”යි කීහ. “එසේය. ඔවුහු එහි ගොස් ‘බුද්ධරත්නය ලොව පහළවිය. ධර්මරත්නය ලොව පහළවිය. සංඝ රත්නය ලොව පහළවිය යන පණිවිඩය අසා දසබලයන් ළඟ පැවිදි වන්නෙමු’යි කියා සැවැත් නුවරට ගියහ. නුඹලා දැන් කුමක් කරන්නාහුද?” “ආර්යාවෙනි! නුඹවහන්සේ දැන් කුමක් කරන්නෙහිද?” ඒ ඇමති භාර්යාවෝ ඇසූහ. “මම පැවිදි වන්නෙමි. අපේ සැමියන් විසින් වැමෑරු දෙය දිව අග නොතබන්නෙමි”යි කීවාය. “එසේ නම් අපිද පැවිදි වන්නෙමු”යි රථ යොදවා නික්මුණහ.
රජු ද ඇමතියන් දහස සමග ගංගා තීරයට පැමිණියේය. එසමයේ ගඟ පිරී ඉතිරී යයි. ඉක්බිති ඔවුහු එය දැක - මේ ගඟ චණ්ඩ මත්ස්‍යයන්ගෙන් ඇත. අප සමග පැමිණි දාසයෙක් හෝ කම්කරුවෙක් හෝ නැත. අපට නැවක් හෝ පවුරක් සාදා දෙන්නෙකු නැත. මෙහි ශාස්තෘන් වහන්සේගේ ගුණ මහිමය යට අවීචියේ පටන් භවාග්‍රය දක්වාම පැතිර පවතී. ඉදින් ඒ ශාස්තෘෘ සම්මා සම්බුදුරජුන්ගේ ගුණ මහිමයෙන් මේ අශ්වයන්ගේ ඛුර මතුපිටවත් නොතෙමේවා!යා පවසා දිය මතුපිටින් අශ්වයන් දැක්කූහ. (මෙහෙයූහ) එකදු අශ්වයෙකුගේවත් ඛුර මතුපිට නොතෙමුණි. රජ මාවතින් යන්නාක් මෙන් එතෙරට ගොස් නැවත ඉදිරියේ අනික් මහානදියකට පැමිණියහ. එහිදී ද වෙනත් සත්‍ය ක්‍රියාවක් නැත. මුලින් කල සත්‍යක්‍රියාවම සිදුකර, එම අඩයොදුන් පළලැති නදියද තරණය කළහ. තෙවනුවද “චන්‍ද්‍රභාග” නම් වූ මහා නදියකට පැමිණ ඉන් එතෙරවීමට ද එම සත්‍යක්‍රියාවම උපකාර කරගත්හ.