8. කලිඞ්ගරූපධාන සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයේ - “කලිංගරූපධානා” යනු ලීයෙන් කළ කොට්ට හිසට මෙන්ම පයටත් තබාගෙන යනුයි. “අප්පමත්තා” ශිල්ප ඉගෙනීමෙහි අප්‍රමාදීව. “ආතාපිනො” යනු උට්ඨාන වීර්යයෙන් යුතුවයි. “උපාසනස්මිං” යනු ශිල්පයන්ගේ නිතර යෙදීමෙහිත් ගුරුවරු නිති ඇසුරු කිරීමෙහිත්ය. ඔවුහු ඒ දිනවල උදෙන්ම නැගිට සිප්හලට - ශාස්ත්‍ර ශාලාවට (පාසලට) යති. එහි ශිල්ප ඉගෙන සජ්ඣායනා කිරීම් ආදියෙහි අප්‍රමාදීව යෙදී, මුව සෝදා කැඳ බීමට යති. කැඳ බී නැවත සිප්හලට යන ඔවුහු සිප් ඉගෙන ගාථා සජ්ඣායනා කර නැවත පාතරාසය (උදේ ආහාරය) සඳහා පිටත් වෙති. කරන ලද අහර කිස ඇති ඔවුහු නින්දට කැමති වේ. කිහිරි කඳන් ආදියෙහි හිසත් පාදත් තබාගෙන සුළු වේලාවක් නිදාසිට නැවත සිප් ඉගෙන සජ්ඣායනා කරති. සවසද සජ්ඣායනා කරනුයේ ගෙදර ගොස්, අනුභව කළ සවස ආහාරය ඇතිව පළමු යාමයේ පාඩම්කර, නිදන වේලාවෙහි පෙරසේ ම ලී කඳන්, ලී කොට හිසට තබාගෙන නිදාගනිති. මෙසේ ඔවුහු විදුලි එලියෙන් දැක විදින්නෝද, හිසකෙස් පවා දෙපලු කිරිමට සමත් දුනුවායෝ ද වූහ. මේ සඳහා එය කියන ලදී.
“ඔතාරං” යනු විවරයකි. “ආරම්මණං” යනු ප්‍රත්‍යයකි. “පධානස්මිං” යනු ප්‍රධන් භූමියෙහිය. (භාවනා කරන තැන) ප්‍රධන් වීර්යයෙහි (නොපසුබස්නා වීර්යය) යෙදුනාහු.
ප්‍රථම බෝධියෙහි - බුදු වූ අලුත සිටි භික්‍ෂූහු බත් කිස කොට නිමවා, කමටහන් මෙනෙහි කරති. ඔවුන් එසේ මෙනෙහි කරද්දී ම ඉර බැස යයි. ඔවුහු දිය නා නැවත සක්මනට බැස පළමු යාමයෙහි සක්මන් කරති. ඉක්බිති “බොහෝ වේලා නොනිදන්නෙමු” යි සිරුරේ වෙහෙස නිවාගැනීමට හොත්තා හු සයනය කලාහු දඬු කඩක් කොට්ටය ලෙස තබාගනිති. ඔවුහු නැවත පශ්චිම යාමයෙහි (මධ්‍යම යාමය නිදා සිට) නැගිටිති. සක්මනට බැසගනිති. මේ සඳහා මෙම විස්තරය කියන ලදී.
මේ දිවයිනද තුන් රජුන්ගේ කාලයෙහි එකම මහා ඝණ්ඨාර ශබ්දයකින් ඒකාබද්ධ වූ එක් ප්‍රධාන භූමියක් විය. නානා දිසාවෙහි ගැසූ ගණ්ඨා නාදයන් පිලිච්ඡිකෝළියෙහි බැස ගනී. කැලණියේ ගැසූ ගණ්ඨා ශබ්දය නාගදීපයට බැසගනී. (ඇසේ) එකල “මේ භික්‍ෂුව පුහුදුන් අයෙකි” මොහු පුහුදුන් අයෙකි”යි ඇඟිල්ල දිගුකර දැක්විය හැකි පමණට පුහුදුන් භික්ෂූහු වැඩිවිය. එක් දිනක් මේ සියල්ලෝ ම රහතන් වහන්සේලා බවට පත්වූහ.
“තස්මා” යනු යම්හෙයකින් ලී කොට්ට හිස තබාගෙන නිදාගත් අප්‍රමාදී වූ භික්‍ෂූන්ගේ ආරම්මණයක් (ඔවුහු වසග කරගැනීමක්) මාරයා නොලබයිද එහෙයිනි.
අටවන සූත්‍රයයි.
9. නාග සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයේ “අතිවෙලං” යනු වේලාව ඉක්මවාය. කල් ඉක්මවා ප්‍රමාණ වූ කාලය. “කිමංග පනාහ” යනු මම වනාහී කුමන කරුණක් නිසා නො එළඹෙම්ද? නොයම්ද? යනුයි. “භිසමුළාලං” නෙළුම් අල මෙන්ම නෙළුඹු මුල්ය. “අබ්බූහෙත්‍වා” යනු උඩට ගෙන, උදුරාගෙනයි. “භිංකච්ඡාපා” ඇත්පැටවුය. ඔවුහු නිතර “භිංකාර” ශබ්දය කරති. එනිසා ඔවුහු “භිංක” නමින් හැඳින්වෙති. “පසන්නාකාරං කරොන්ති” යනු පැහැදුණු අය විසින් කළයුතු දේ කරත් යනුයි. සිවුපසය දෙති. “ධම්මං භාසන්ති” යනු ඇතැමෙක් ජාතක දෙකක් හෝ සූත්‍රාන්ත හෝ උගෙන නොකැඩි ස්වරයෙන් දහම් දෙසත් යනුයි. “අසන්නාකාරං කරොන්ති” යනු ඔවුන්ගේ එම දේශනාව අසා පැහැදුණු ගිහියෝ ප්‍රත්‍ය දානය කරති යනුයි. “නෙව වණ්ණාය හොති න බලාය” ගුණ වර්ණනාව සඳහාත් ඥාන බලය පිණිසත් හේතු නොවේ. ගුණ වර්ණනාවන්ගෙන් පිරිහෙන විට ශරීර වර්ණය ද ශරීර බලයද පිරිහී යයි. එනිසා ශරීර බලයත්-වර්ණයත් ඇතිවේ.
නවවන සූත්‍රයයි.
10. බිළාල සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ - “සන්‍ධිසමල සංකටීරෙ” යන මෙහි - “සන්‍ධි” යනු ගෙවල් දෙකක් අතර ප්‍රදේශයයි. “සමල” යනු ගමින් අසුචි නික්මෙන මාර්ගයයි. “සංකටීරං” යනු කුණු දමන තැනයි. “මුදුමුසිං” යනු මෘදු වූ මීයෙකි. “වුට්ඨානං පඤ්ඤායති” යනු දේශනාගාමී ඇවතකට පැමිණේ.
දසවන සූත්‍රයයි.
11. සිගාල සූත්‍ර වර්ණනාව
එකළොස්වන සූත්‍රය - “යෙන ගෙන ඉච්ඡති”යි ඒ මහලු හිවලා කැමති කැමති තැනකට ගොස් කැමති වූ ඉරියව්වකින් හිඳියි. සිසිල් සුළඟ හැමීමෙන් මේ අතරතුරදී ඔහු චිත්ත ආශ්වාදයක්ද (චිත්ත ප්‍රීතියක්) ද ලබන්නේයැයි දක්වයි. “සක්‍ය පුත්තීය පටිඤ්ඤො” මෙය දෙව්දත් සඳහා කියන ලදී. ඔහු වනාහි මෙපමණ වූ හෝ චිත්ත ප්‍රසාදයක් (සතුටක්) අනාගත (මතු) ආත්මභාවයන්හිදී නොලබන්නේ ම ය.
එකොළොස්වන සූත්‍රයයි.
12. දුතිය සිගාල සූත්‍ර වර්ණනාව
දොළොස්වන සූත්‍රයේ - “කතඤ්ඤුතා” යනු කළ දෙය දන්නා බවයි “කතවෙදිතා” කරන ලද දෙය විශේෂයෙන් දන්නා බවයි. මෙහි ඒ මහලු සිවලාගේ කෘතඥතාව පිළිබඳ කථා වස්තුවයි.
සොයුරෝ සත්දෙනෙක් කුඹුරක් සීසාමින් වපුරති. ඔවුන්ගේ බාල ම සෝයුරා කුඹුර කෙළවර සිට ගවයන් බලාගනියි. ඉක්බිති එක් සිවලෙක් පිඹුරකු විසින් අල්ලා ගත්තේය. ඔහු එය දැක යෂ්ටියෙන් (කෝටුවෙන්) ගසා පෙළා පිඹුරාගෙන් සිවලා මුදාගත්තේය. පිඹුරා සිවලා අත්හැර දරුවා අල්ලා ගත්තේය. සිවලා “මොහු විසින් මගේ දිවි බේරාගන්නා ලදී. මමද මොහුගේ දිවි බේරාගනිමි”යි කැඳ කළය මතු තබා තිබූ වෑය (කුඩා පිහියක්) කටින් ගෙන සෝයුරන් ළඟට දිව ගියේය. සෙසු සෝයුරෝ හිවලා දැක “සිවලා වෑය කන්නේයැ”යි සිතා ඌ පසුපස එලවාගෙන ආහ. හිවලා ඔවුන් තමා පසුපස එනු දැක වෑය දරුවා ළඟ දමා පලාගියේය. සෙසු සෝයුරෝ දිව අවුත් ළමයා පිඹුරා විසින් අල්ලාගෙන සිටිනු දැක, වෑයෙන් පිඹුරා කපා දමා ඔහුත් රැගෙන ගියහ. මෙසේ මහලු හිවලා වුවත් කළගුණ දන්නා-කළගුණ ප්‍රකට කරන්නෙක් විය.