9. නාග සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයේ “අතිවෙලං” යනු වේලාව ඉක්මවාය. කල් ඉක්මවා ප්‍රමාණ වූ කාලය. “කිමංග පනාහ” යනු මම වනාහී කුමන කරුණක් නිසා නො එළඹෙම්ද? නොයම්ද? යනුයි. “භිසමුළාලං” නෙළුම් අල මෙන්ම නෙළුඹු මුල්ය. “අබ්බූහෙත්‍වා” යනු උඩට ගෙන, උදුරාගෙනයි. “භිංකච්ඡාපා” ඇත්පැටවුය. ඔවුහු නිතර “භිංකාර” ශබ්දය කරති. එනිසා ඔවුහු “භිංක” නමින් හැඳින්වෙති. “පසන්නාකාරං කරොන්ති” යනු පැහැදුණු අය විසින් කළයුතු දේ කරත් යනුයි. සිවුපසය දෙති. “ධම්මං භාසන්ති” යනු ඇතැමෙක් ජාතක දෙකක් හෝ සූත්‍රාන්ත හෝ උගෙන නොකැඩි ස්වරයෙන් දහම් දෙසත් යනුයි. “අසන්නාකාරං කරොන්ති” යනු ඔවුන්ගේ එම දේශනාව අසා පැහැදුණු ගිහියෝ ප්‍රත්‍ය දානය කරති යනුයි. “නෙව වණ්ණාය හොති න බලාය” ගුණ වර්ණනාව සඳහාත් ඥාන බලය පිණිසත් හේතු නොවේ. ගුණ වර්ණනාවන්ගෙන් පිරිහෙන විට ශරීර වර්ණය ද ශරීර බලයද පිරිහී යයි. එනිසා ශරීර බලයත්-වර්ණයත් ඇතිවේ.
නවවන සූත්‍රයයි.
10. බිළාල සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ - “සන්‍ධිසමල සංකටීරෙ” යන මෙහි - “සන්‍ධි” යනු ගෙවල් දෙකක් අතර ප්‍රදේශයයි. “සමල” යනු ගමින් අසුචි නික්මෙන මාර්ගයයි. “සංකටීරං” යනු කුණු දමන තැනයි. “මුදුමුසිං” යනු මෘදු වූ මීයෙකි. “වුට්ඨානං පඤ්ඤායති” යනු දේශනාගාමී ඇවතකට පැමිණේ.
දසවන සූත්‍රයයි.
11. සිගාල සූත්‍ර වර්ණනාව
එකළොස්වන සූත්‍රය - “යෙන ගෙන ඉච්ඡති”යි ඒ මහලු හිවලා කැමති කැමති තැනකට ගොස් කැමති වූ ඉරියව්වකින් හිඳියි. සිසිල් සුළඟ හැමීමෙන් මේ අතරතුරදී ඔහු චිත්ත ආශ්වාදයක්ද (චිත්ත ප්‍රීතියක්) ද ලබන්නේයැයි දක්වයි. “සක්‍ය පුත්තීය පටිඤ්ඤො” මෙය දෙව්දත් සඳහා කියන ලදී. ඔහු වනාහි මෙපමණ වූ හෝ චිත්ත ප්‍රසාදයක් (සතුටක්) අනාගත (මතු) ආත්මභාවයන්හිදී නොලබන්නේ ම ය.
එකොළොස්වන සූත්‍රයයි.
12. දුතිය සිගාල සූත්‍ර වර්ණනාව
දොළොස්වන සූත්‍රයේ - “කතඤ්ඤුතා” යනු කළ දෙය දන්නා බවයි “කතවෙදිතා” කරන ලද දෙය විශේෂයෙන් දන්නා බවයි. මෙහි ඒ මහලු සිවලාගේ කෘතඥතාව පිළිබඳ කථා වස්තුවයි.
සොයුරෝ සත්දෙනෙක් කුඹුරක් සීසාමින් වපුරති. ඔවුන්ගේ බාල ම සෝයුරා කුඹුර කෙළවර සිට ගවයන් බලාගනියි. ඉක්බිති එක් සිවලෙක් පිඹුරකු විසින් අල්ලා ගත්තේය. ඔහු එය දැක යෂ්ටියෙන් (කෝටුවෙන්) ගසා පෙළා පිඹුරාගෙන් සිවලා මුදාගත්තේය. පිඹුරා සිවලා අත්හැර දරුවා අල්ලා ගත්තේය. සිවලා “මොහු විසින් මගේ දිවි බේරාගන්නා ලදී. මමද මොහුගේ දිවි බේරාගනිමි”යි කැඳ කළය මතු තබා තිබූ වෑය (කුඩා පිහියක්) කටින් ගෙන සෝයුරන් ළඟට දිව ගියේය. සෙසු සෝයුරෝ හිවලා දැක “සිවලා වෑය කන්නේයැ”යි සිතා ඌ පසුපස එලවාගෙන ආහ. හිවලා ඔවුන් තමා පසුපස එනු දැක වෑය දරුවා ළඟ දමා පලාගියේය. සෙසු සෝයුරෝ දිව අවුත් ළමයා පිඹුරා විසින් අල්ලාගෙන සිටිනු දැක, වෑයෙන් පිඹුරා කපා දමා ඔහුත් රැගෙන ගියහ. මෙසේ මහලු හිවලා වුවත් කළගුණ දන්නා-කළගුණ ප්‍රකට කරන්නෙක් විය.
“සක්‍යපුත්තීයපටිඤ්ඤෙ” යනු මෙය ද දේවදත්තගේ හැසිරීමක් සඳහා ම කියන ලදී.
දොළොස්වන සූත්‍රයයි.
ඔපම්ම සංයුත්තය නිමියේය.