12. දුතිය සිගාල සූත්ර වර්ණනාව
දොළොස්වන සූත්රයේ - “කතඤ්ඤුතා” යනු කළ දෙය දන්නා බවයි “කතවෙදිතා” කරන ලද දෙය විශේෂයෙන් දන්නා බවයි. මෙහි ඒ මහලු සිවලාගේ කෘතඥතාව පිළිබඳ කථා වස්තුවයි.
සොයුරෝ සත්දෙනෙක් කුඹුරක් සීසාමින් වපුරති. ඔවුන්ගේ බාල ම සෝයුරා කුඹුර කෙළවර සිට ගවයන් බලාගනියි. ඉක්බිති එක් සිවලෙක් පිඹුරකු විසින් අල්ලා ගත්තේය. ඔහු එය දැක යෂ්ටියෙන් (කෝටුවෙන්) ගසා පෙළා පිඹුරාගෙන් සිවලා මුදාගත්තේය. පිඹුරා සිවලා අත්හැර දරුවා අල්ලා ගත්තේය. සිවලා “මොහු විසින් මගේ දිවි බේරාගන්නා ලදී. මමද මොහුගේ දිවි බේරාගනිමි”යි කැඳ කළය මතු තබා තිබූ වෑය (කුඩා පිහියක්) කටින් ගෙන සෝයුරන් ළඟට දිව ගියේය. සෙසු සෝයුරෝ හිවලා දැක “සිවලා වෑය කන්නේයැ”යි සිතා ඌ පසුපස එලවාගෙන ආහ. හිවලා ඔවුන් තමා පසුපස එනු දැක වෑය දරුවා ළඟ දමා පලාගියේය. සෙසු සෝයුරෝ දිව අවුත් ළමයා පිඹුරා විසින් අල්ලාගෙන සිටිනු දැක, වෑයෙන් පිඹුරා කපා දමා ඔහුත් රැගෙන ගියහ. මෙසේ මහලු හිවලා වුවත් කළගුණ දන්නා-කළගුණ ප්රකට කරන්නෙක් විය.
“සක්යපුත්තීයපටිඤ්ඤෙ” යනු මෙය ද දේවදත්තගේ හැසිරීමක් සඳහා ම කියන ලදී.
දොළොස්වන සූත්රයයි.
ඔපම්ම සංයුත්තය නිමියේය.