7. දෙවන ඔවාද සූත්ර වර්ණනාව
සත්වන සූත්රයේ “සද්ධා” යනු විශ්වාස කරන ශ්රද්ධාවය. “විරියං” යනු කයේ හා චෛතසිකයන්ගේ වීර්යයයි. “පඤ්ඤා” යනු කුසල්දහම් දැනගන්නා වූ ප්රඥාවයි. “න සන්ති භික්ඛූ ඔවදකා” යනු “මේ පුද්ගලයාට අවවාද දෙන්නෝ, අනුශාසකයෝ, කල්යාණ මිත්රයෝ නැත” යන මේ වස්තුව “භන්තෙ පරිහාණං” යනුවෙන් දක්වයි.
සත්වන සූත්රය යි.
8. තෙවන ඔවාද සූත්ර වර්ණනාව
අටවන සූත්රයේ - “තථා හි පන” යනු පෙර සුවච කීකරු බැවින් ද දැන් දුර්වච අකීකරු බැවින් ද යන කරුණු දැක්වීමට යෙදු නිපාතයකි. “තත්ර”යනු ඒ තෙරවරු අතර යනුයි. “කො නාමො” යනු මේ භික්ෂුවගේ නම කුමක්ද? කිම “තිස්ස” තෙරුන්ද? කිම “නාග” තෙරුන්ද? යනුයි. “තත්ර” යනු එහිදී මෙසේ සත්කාර කරන කල්හි “තථත්තාය” යනු ඒ සඳහා, එසේවීම සඳහා, ආරඤ්ඤිකාංග සමාදානාදිය සඳහා යන අර්ථයි. “සබ්රහ්මචාරිකාමො” යනු “මොවුහු මා පිරිවරාගෙන හැසිරේවා”යි මෙලෙස කැමති වේ. අපේක්ෂා කරයි. එය ප්රාර්ථනා කරයි. සබ්රහ්මචාරීන්ට කැමති වේ. “තථත්තාය” යනු ලාභසත්කාර ඉපිදවීම සඳහාය. “බ්රහ්මචාරූපද්දවෙන” යනු යමෙක් බ්රහ්මචාරීන්ගේ සිවුපස විෂයෙහි උපදවන අධික වූ ඡන්දරාගය, උපද්රවයකැයි කියයි. එයින් පීඩා වූ “අභිභවතා” යනු අධික ප්රාර්ථනා ඇති යනුයි. “බ්රහ්මචාරී අභිභවනෙන” යනු බ්රහ්මචාරීන්ගේ අධික ප්රාර්ථනා සංඛ්යාත වූ සිවුපසය නොලැබීමෙන්ය.
අටවන සූත්රය යි.
9. ඣානාභිඤ්ඤ සූත්ර වර්ණනාව
නවවන සූත්රයේ - “යාවදෙව ආකංඛාමි” යනු යම්තාක් කල් කැමතිවෙම් ද යනුයි. මෙයින් මතු “විචිච්චෙව කාමෙහි” යනාදී වශයෙන් යම් ඒ සිවු රූපාවචර ධ්යානයන් කියනු ලැබේ. “සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා” ආදී ක්රමයෙන් සතර අරූපාවචර සමාපතීහු ගණන් ගැනේ. “සබ්බසො නෙවසඤ්ඤානා සඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිත නිරොධං” යනු මෙසේ නිරෝධ සමාපත්තියයි. “අනෙකවිහිතං ඉද්ධිවිධං” යනාදී ක්රමයෙන් ලෞකික අභිඥා පසද කියන ලදී. එහි යමක් කිවයුතු නම් ඒ සියල්ල අනුපද වර්ණනාව හා භාවනා විධානය ද සහිතව විශුද්ධිමාර්ගයේ විස්තර කරන ලද්දේය. ෂඩ් අභිඥාව වනාහී “ආසවානං ඛයා” යනු ආශ්රවයගේ ක්ෂයවීමෙන්. “අනාසවං” යනු ආශ්රවයන්ගේ ප්රත්ය නොවූ, නොපැවතීමයි. “චෙතොවිමුත්ති” යනු අරහත් ඵල සමාධියයි. “පඤ්ඤා විමුත්තිං” යනු අර්හත්ඵල ප්රඥාවයි.
නවවන සූත්රයයි.
10. භික්ඛුනු උපස්සය සූත්ර වර්ණනාව
දසවන සූත්රයේ “ආයාම භන්තෙ” යනුවෙන් කුමක් නිසා භික්ෂුණීන්ගේ අසපුවකට යෑම සඳහා ආරාධනා කළහිද? ලාභසත්කාරමය හේතුවකින් නොවේ. කමටහනින් යහපතක් වන භික්ෂුණීහු වෙති. ඔවුන් උත්සාහවන්ත කර, කමටහන් ලබාදෙන්නෙමි”යි මෙලෙස ආයාචනා කළේය. ආනන්ද තෙරුන් වහන්සේ ත්රිපිටකධර බහුශ්රැතයෙක් නොවේද? මෙසේ ඉල්වනුයේ තමාට කමටහන් ලබාදිය නොහැකි නිසාද? නැත. උන්වහන්සේට හැකිය. බුදුරජාණන් වහන්සේ හා සමාන වූ ජ්යෙෂ්ඨතම ශ්රාවකයාගේ දේශනාව ඇදහිය යුතු වූවකැයි සිතන බැවින් මෙසේ ආයාචනා කරන ලදී. “බහුකිච්චො ත්වං බහුකරණීයො” යනු කිම තෙරුන් වහන්සේ නවකර්මාන්ත ආදියේ නියුක්තව සිටින බැවින් ආනන්ද හිමියන්ට මෙසේ දේශනා කළ සේක්ද? නැත. බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි සිවු පිරිස ආනන්ද තෙරුන් වෙත එළඹ, “ස්වාමීනි! දැන් කාගේ පාසිවුරු ගෙන හැසිරෙන්නෙහිද? කාගේ පිරිවෙණ අමදිනෙහිද? මුවදෝනා පැන් පිළිගන්වනුයේ කාටද?”යි කියමින් හඬති. වැලපෙති. තෙරුන් වහන්සේ “සංස්කාරයෝ අනිත්යහ. උතුම් බුදු සිරුරටද නිර්ලජ්ජි මාරයා පහර දුන්නේය. මෙය සංස්කාරයන්ගේ ධර්මතාවයි. එනිසා ශෝක නොකරන්න. නොවැලපෙන්න.” යනුවෙන් පිරිස සන්සිඳුවයි. මෙසේ වූ බොහෝ කටයුතු ඇති බැවින් තෙරුන් වහන්සේ අනඳ හිමිට මෙසේ වදාළහ. “සන්දස්සෙසි” යනු ප්රතිපත්ති ගුණ දැක්වීය යනුයි. “සාමදපෙසි” යනු කරුණු ගන්වයි යනුයි. “සමුත්තෙජෙසි” යනුවෙන් උත්සාහවත් කරවීය. “සම්පහංසෙසි” යනු ලබන ලද ගුණයෙන් පිරිසිදු කරවයි.