1. කස්සප වර්ගය
1. සන්තුට්ඨ සූත්ර වර්ණනාව
කස්සප සංයුත්තයේ පළමු සූත්රයෙහි “සන්තුට්ඨාය” යනු මොහු සතුටින් සිටින්නෙකි. “ඉතරීතරෙන” යනු මහත් වූ සියුම් රූක්ෂ වූ ප්රණිත වූ ස්ථිර වූ දිරාගිය යන එක් දෙයකින් නොව යම්සේ ලැබේ ද ඒ ඕනෑම චීවරයකින් සතුටට පත්වේ යන අර්ථයයි.
චීවරයෙහි සතුටුවීම් තුනකි. යථාලාභ සතෝෂය, යථාබල සන්තෝෂය, යථා සාරුප්ය සන්තෝෂය යනුවෙනි. පිණ්ඩපාතාදියේත් මේ ක්රමය ම දතයුතුයි.
මේ එහි ප්රභේද විස්තර කිරීමයි. - මේ බුදුසසුනෙහි භික්ෂුවක් යහපත් හෝ අයහපත් සිවුරක් ලබයි. උන්වහන්සේ ඉන් සතුටු වෙති. අනිකක් නො පතති. ලැබුනත් නොගනිති. මෙය යථාලාභ සතෝෂය නම් වේ. තවද ස්වභාවයෙන් ම දුර්වල හෝ ලෙඩ රෝගාබාධ නිසා දිරාගිය ශරීර ඇති භික්ෂුවක් බර වූ සිවුරක් ලැබ, එය පොරවනුයේ අධික වෙහෙසට පත්වේ. උන්වහන්සේ සබ්රහ්මචාරී (එක්ව මහණදම් පුරණ) භික්ෂූන් සමග එය හුවමාරු කරගෙන සැහැල්ලු සිවුරක් ලබාගෙන පොරවමින් ඉන් සතුටට පත්වෙති. මෙය උන්වහන්සේ චීවර විෂයෙහි යථාබල සතෝෂයයි. නව භික්ෂුවක් ප්රණත වූ ඉතා උසස් චීවරයක් ලබන්නේය. උන්වහන්සේ පටසිවුරු ආදී අන්ය මහා අනර්ඝ සිවුරු බහුලව ලැබ, මෙය පැවිදි වී බොහෝ කල්ගත වූ ස්ථවිර භික්ෂූන්ට ම සුදුසුය. මෙය බහුශ්රැත භික්ෂූන්ට සුදුසුය. මෙය රෝගී භික්ෂූන්ට සුදුසුය. මෙය අල්ප වූ ලැබීම් ඇති භික්ෂූන්ට සුදුසු යැයි ලද සිවුරු මේ භික්ෂූන්ට දී, ඔවුන්ගෙන් ලැබුණු පරණ සිවුරක් හෝ කසල ගොඩවල් ආදියෙන් රෙදිකඩක් අහුලාගෙන ඉන් සිවුරක් මසාගෙන හෝ සතුටු වෙමින් පොරවන සේක. මෙය චීවර විෂයෙහි “යථා සාරුප්ය සන්තෝෂය”යි
මෙහි භික්ෂුවක් රූක්ෂ වූ හෝ ප්රණීත වූ පිණ්ඩපාතයක් ලබයි. උන්වහන්සේ ඉන් යැපෙමින් අනික් ආහාරයක් නොපතති. ලැබුනත් අනුභව නොකරති. මෙය පිණ්ඩපාත විෂයෙහි “යථාලාභ සන්තෝෂය” නම් වේ. යමෙක් තමාට ස්වභාවයෙන්ම විරුද්ධ වූ, තම රෝගාබාධයන්ට විරුද්ධ වූ පිණ්ඩපාතයක් ලබයි. එය වැළඳුවහොත් උන්වහන්සේට අපහසුවක් වෙති. එනිසා උන්වහන්සේ එම පිණ්ඩපාතය සබ්රහ්මචාරි භික්ෂුවකට දී, උන්වහන්සේන්ගෙන් ලද කැපවූ ආහාරයක් වළඳා සතුටින් වෙසෙති. මෙය පිණ්ඩපාත විෂයෙහි “යථාබල සන්තෝෂය” නම් වේ. තව භික්ෂුවක් බොහෝ ප්රණිත වූ පිණ්ඩපාතයක් ලබයි. උන්වහන්සේ එය චිරරාත්රඥ, අල්ප ලැබීම් ඇති, ගිලන් වූ භික්ෂූන්ට පිරිනමා ඔවුන්ගෙන් ලද දෙයක් හෝ නැවත පිඬු පිණිස හැසිර ලද මිශ්රාහාරයක් හෝ සතුටින් වළඳති. මෙය උන්වහන්සේගේ පිණ්ඩපාත විෂයෙහි “යථා සාරුප්ය සන්තෝෂය”යි.
මේ සසුනෙහි භික්ෂුවක් මනාප වූ හෝ අමනාප වූ සෙනසුනක් ලබයි. උන්වහන්සේ ඉන් සතුටු වී, සොම්නස්-දොම්නස් නූපදවා තණ ඇතිරියක් හෝ ලැබ, ලද පමණින් තුටු වී එහි සැතපෙති. මෙය සේනාසන විෂයෙහි යථාලාභ සන්තෝෂයයි. යමෙක් තම තමාට හෝ තම රෝගාබාධයන්ට ස්වභාවයෙන් ම විරුද්ධ වූ සෙනසුනක් ලැබ, එහි විසීම අපහසු හෙයින්, සබ්රහ්මචාරි හිමිනමක සමග එය හුවමාරු කරගෙන සතුටින් වෙසෙයි. මෙය සේනාසන විෂයෙහි යථාබල සන්තෝෂය නම් වේ. තවත් ඉතා පුණ්යවන්ත වූ භික්ෂුවක් ලෙන්, මණ්ඩප, කූටාගාරාදී බොහෝ උසස් සෙනසුන් ලබයි. උන්වහන්සේ එම සෙනසුන් ඉහත පැවසූ ලෙස ම චිරරාත්රභූ, බහුශ්රැත, ගිලන්වූ, අල්ප ලැබීම් ඇති භික්ෂූන්ට පිරිනමා තමාට ලැබුණු වෙනත් තැනක සතුටින් වෙසෙති. මෙය සෙනසුන් විෂයෙහි යථා සාරුප්ය සතෝෂයයි. යම් භික්ෂුවක් “සෙනසුන් නම් ප්රමාදවීමට ස්ථාන වේ. යම්තැනක වැඩහිඳීමෙන් ථිනමිද්ධය බැසගනීද නින්දෙන් නැගිටිනවිට පාප සිතුවිලි, විතර්කාදිය පහළවේ”යැයි සළකා එබඳු උසස් සෙනසුන් ලැබුනත් නොපිළිගනියි. උන්වහන්සේ එබඳු සෙනසුන් හැරදමා අභ්යවකාශයෙහි රුක්මුල් ආදියෙහි වෙසෙමින් තුටුවෙති. මෙය ද සෙනසුන් විෂයෙහි යථා සාරුප්ය සන්තෝෂයකි.
මේ සසුනෙහි භික්ෂුවක් රූක්ෂ වූ හෝ ප්රණීත වූ හෝ බෙහෙත් ආදියක් ලැබ, ඉන් පමණක් සතුටු වේද-වෙනත් කිසිවක් නොපතත් ද ලැබුනත් නොගනිත් ද එය ගිලානප්රත්ය විෂයෙහි “යථාලාභ සතෝෂය”යි. යම් භික්ෂුවකට තෙල් අවශ්ය වූ විට උසස් තෙල් ලැබේ. උන්වහන්සේ එය අනිකුත් සුදුසු භික්ෂූන්ට දී ඔවුන්ගෙන් ලද තෙලක් හෝ නැවත සොයාගොස් ලැබූ තෙලකින් හෝ බෙහෙත් කර, ඉන් සතුටට පත්වෙති. මෙය ගිලානප්රත්ය විෂයෙහි “යථාබල සන්තෝෂය” නම් වේ. වෙනත් මහපින් ඇති භික්ෂුවක් බොහෝ තෙල්, මීපැණි ආදිය සහිත මිහිරි බෙහෙත් ලබයි. ඒවා ගිලන් වූ අනෙකුත් භික්ෂූන්ට පිරිනමා, ඔවුන් දෙන යමකින් යැපෙමින් සතුටු වේ. යම් භික්ෂුවක් වෙත එක් බඳුනක අරළු හා මුත්ර - ද “එක් චතුමධුරයක්” ද තබා “ස්වාමීනි! මින් කැමති බෙහෙතක් ගන්න”යි ආරාධනා කල කල්හි; උන්වහන්සේ, “වෙනත් බෙහෙත්වලින් ද මෙම රෝගය සන්සිඳේ. මේ මුත්ර හරීටකයම බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලදහ”යි සිතා චතුමධුර ප්රතිෂ්ප කර - මුත්ර හරීටකයම (මුත්ර හා අරළු බෙහෙතම) ගන්නා සේක. ඉන් සතටට පත්වෙති. මෙය ගිලන්පස විෂයෙහි යථාසරුප්ය සතෝෂයයි. මෙසේ විස්තර කළ ත්රිවිධ සතෝෂයන් සඳහා, “මහණෙනි! මේ කාශ්යප තෙරුන් වහන්සේ, තමාට ලැබුණු සිවුපසයෙන්ම තුටුවෙති. ඕනෑම දෙයකින් තුටුවෙති. ලද සිවුරු ආදියකින් ම තුටුවෙමින් පොරවති” යන්න දේශනා කළ ස්ක.