8. තෙවන ඔවාද සූත්ර වර්ණනාව
අටවන සූත්රයේ - “තථා හි පන” යනු පෙර සුවච කීකරු බැවින් ද දැන් දුර්වච අකීකරු බැවින් ද යන කරුණු දැක්වීමට යෙදු නිපාතයකි. “තත්ර”යනු ඒ තෙරවරු අතර යනුයි. “කො නාමො” යනු මේ භික්ෂුවගේ නම කුමක්ද? කිම “තිස්ස” තෙරුන්ද? කිම “නාග” තෙරුන්ද? යනුයි. “තත්ර” යනු එහිදී මෙසේ සත්කාර කරන කල්හි “තථත්තාය” යනු ඒ සඳහා, එසේවීම සඳහා, ආරඤ්ඤිකාංග සමාදානාදිය සඳහා යන අර්ථයි. “සබ්රහ්මචාරිකාමො” යනු “මොවුහු මා පිරිවරාගෙන හැසිරේවා”යි මෙලෙස කැමති වේ. අපේක්ෂා කරයි. එය ප්රාර්ථනා කරයි. සබ්රහ්මචාරීන්ට කැමති වේ. “තථත්තාය” යනු ලාභසත්කාර ඉපිදවීම සඳහාය. “බ්රහ්මචාරූපද්දවෙන” යනු යමෙක් බ්රහ්මචාරීන්ගේ සිවුපස විෂයෙහි උපදවන අධික වූ ඡන්දරාගය, උපද්රවයකැයි කියයි. එයින් පීඩා වූ “අභිභවතා” යනු අධික ප්රාර්ථනා ඇති යනුයි. “බ්රහ්මචාරී අභිභවනෙන” යනු බ්රහ්මචාරීන්ගේ අධික ප්රාර්ථනා සංඛ්යාත වූ සිවුපසය නොලැබීමෙන්ය.
අටවන සූත්රය යි.
9. ඣානාභිඤ්ඤ සූත්ර වර්ණනාව
නවවන සූත්රයේ - “යාවදෙව ආකංඛාමි” යනු යම්තාක් කල් කැමතිවෙම් ද යනුයි. මෙයින් මතු “විචිච්චෙව කාමෙහි” යනාදී වශයෙන් යම් ඒ සිවු රූපාවචර ධ්යානයන් කියනු ලැබේ. “සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා” ආදී ක්රමයෙන් සතර අරූපාවචර සමාපතීහු ගණන් ගැනේ. “සබ්බසො නෙවසඤ්ඤානා සඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිත නිරොධං” යනු මෙසේ නිරෝධ සමාපත්තියයි. “අනෙකවිහිතං ඉද්ධිවිධං” යනාදී ක්රමයෙන් ලෞකික අභිඥා පසද කියන ලදී. එහි යමක් කිවයුතු නම් ඒ සියල්ල අනුපද වර්ණනාව හා භාවනා විධානය ද සහිතව විශුද්ධිමාර්ගයේ විස්තර කරන ලද්දේය. ෂඩ් අභිඥාව වනාහී “ආසවානං ඛයා” යනු ආශ්රවයගේ ක්ෂයවීමෙන්. “අනාසවං” යනු ආශ්රවයන්ගේ ප්රත්ය නොවූ, නොපැවතීමයි. “චෙතොවිමුත්ති” යනු අරහත් ඵල සමාධියයි. “පඤ්ඤා විමුත්තිං” යනු අර්හත්ඵල ප්රඥාවයි.
නවවන සූත්රයයි.
10. භික්ඛුනු උපස්සය සූත්ර වර්ණනාව
දසවන සූත්රයේ “ආයාම භන්තෙ” යනුවෙන් කුමක් නිසා භික්ෂුණීන්ගේ අසපුවකට යෑම සඳහා ආරාධනා කළහිද? ලාභසත්කාරමය හේතුවකින් නොවේ. කමටහනින් යහපතක් වන භික්ෂුණීහු වෙති. ඔවුන් උත්සාහවන්ත කර, කමටහන් ලබාදෙන්නෙමි”යි මෙලෙස ආයාචනා කළේය. ආනන්ද තෙරුන් වහන්සේ ත්රිපිටකධර බහුශ්රැතයෙක් නොවේද? මෙසේ ඉල්වනුයේ තමාට කමටහන් ලබාදිය නොහැකි නිසාද? නැත. උන්වහන්සේට හැකිය. බුදුරජාණන් වහන්සේ හා සමාන වූ ජ්යෙෂ්ඨතම ශ්රාවකයාගේ දේශනාව ඇදහිය යුතු වූවකැයි සිතන බැවින් මෙසේ ආයාචනා කරන ලදී. “බහුකිච්චො ත්වං බහුකරණීයො” යනු කිම තෙරුන් වහන්සේ නවකර්මාන්ත ආදියේ නියුක්තව සිටින බැවින් ආනන්ද හිමියන්ට මෙසේ දේශනා කළ සේක්ද? නැත. බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි සිවු පිරිස ආනන්ද තෙරුන් වෙත එළඹ, “ස්වාමීනි! දැන් කාගේ පාසිවුරු ගෙන හැසිරෙන්නෙහිද? කාගේ පිරිවෙණ අමදිනෙහිද? මුවදෝනා පැන් පිළිගන්වනුයේ කාටද?”යි කියමින් හඬති. වැලපෙති. තෙරුන් වහන්සේ “සංස්කාරයෝ අනිත්යහ. උතුම් බුදු සිරුරටද නිර්ලජ්ජි මාරයා පහර දුන්නේය. මෙය සංස්කාරයන්ගේ ධර්මතාවයි. එනිසා ශෝක නොකරන්න. නොවැලපෙන්න.” යනුවෙන් පිරිස සන්සිඳුවයි. මෙසේ වූ බොහෝ කටයුතු ඇති බැවින් තෙරුන් වහන්සේ අනඳ හිමිට මෙසේ වදාළහ. “සන්දස්සෙසි” යනු ප්රතිපත්ති ගුණ දැක්වීය යනුයි. “සාමදපෙසි” යනු කරුණු ගන්වයි යනුයි. “සමුත්තෙජෙසි” යනුවෙන් උත්සාහවත් කරවීය. “සම්පහංසෙසි” යනු ලබන ලද ගුණයෙන් පිරිසිදු කරවයි.
“ථුල්ලතිස්ස” යනු ශරීරයෙන් මහත්වූ නමින් තිස්ස වූ යනුයි. “වෙදෙහමුනිනො” යනු පණ්ඩිත මුනිවරයෙකි. පණ්ඩිත යනු ඤාණය නම් වූ වේදයෙන් සියලු කටයුතු කිරීමට උත්සාහ ගනියි. කරයි. එනිසා “වේදෙහ”යැයි කියන ලදී. වේදේහ වූයේත් ඔහුමය. මුනිවූයේත් ඔහුමය. වේදේහ මුනි වේ. “ධම්මං භාසිතබ්බං මඤ්ඤති” යනු ත්රිපිටකධර වූ ධර්ම භාණ්ඩාගාරික වූ අනඳ තෙරුන් හමුවේ අරන්යවාසී වූ පාංශුකූලිකංග සමාදන් වූ මහාකාශ්යප තෙරුන් “මම ධර්මකථිකයෙකි”යි ධර්මදේශනා කළේ යැයි සිතයි. මේ ධර්මකථාව කුමන හේතුවකින් කළේදැයි නොදන්නී මෙසේ කීවාය.
“අස්සොසි” යනු අනිකකු පැමිණ දැන්වීම් වශයෙන් ඇසූහ යනුයි. “ආගමෙහි ත්වං ආවුසො” යනු “ඇවැත්නි! නුඹ සිටින්න. නවතින්න” යනුයි. “මා තෙ සංඝො උත්තරිං උප්පරික්ඛි” යනු “භික්ෂු සංඝයා අනාගතයේ විශේෂ අවසරයකින් නුඹ පරීක්ෂා කර බැලීම සිදුනොවේවා! යනුයි. මෙය කියන ලදී. “ආනන්ද තෙරුන් විසින් බුදුරජාණන් වහන්සේට සමාන වූ ශ්රාවකයෙක් වලකන ලදී. එක් භික්ෂුණිය නොවලකන ලදී. ඇය සමග එක්ව විසීමක් හෝ ස්නේහයක් හෝ වන්නේයැ”යි සංඝයා මෙසේ නුඹ ගැන නොසිතවා” යන අදහසිනි.
දැන් තමාගේ බුදුරජාණන් වහන්සේ හා සමාන බව දක්වන සේක්, “තං කිං මඤ්ඤසි ආවුසො” ආදිය දේශනා කළහ. “සත්තරතනං” යනු සත් රියනක් පමණයි. “නාගං” යනු ඇතෙකි. “අඩ්ඪට්ඨරතනං වා” යනු රියනෙන් අඩක් අඩු වූ අට රියනක් හෝ. රියන් හතහමාරක් වූ යනුයි. “පෙර පාදයේ සිට කුම්භස්ථලය දක්වා වියතකුත් රියන් හතක් උස වූ ඇතෙක්” යන අර්ථයි. “තාලපත්තිකාය” යනු ළා තල්කොළයකිනි. “වචිත්ථා” යනු චුතවිය යනුයි. මැරුණේ හෝ නැසුනේ නොවේ. බුදුරජාණන් වහන්සේ හා සමාන වූ ශ්රාවකයෙකුට උපවාද කර, මහාකාශ්යප තෙරුන් ෂඩ් අභිඥා පිළිබඳව සිංහනාද කරන කල්හි ඇය පොරවාගෙන සිටි කශාය වස්ත්රය කටුඅත්තක් මෙන් ද කහඹිලියා අත්තක් මෙන්ද වී ශරීරය කෑමට (කැසීමට) පටන් ගත්තේය. ඒ කාෂාය වස්ත්රය හැරදමා සුදුවතක් හැඳි කෙනෙහි ම ඇයට සහනයක් ඇතිවිය.
දසවන සූත්රයයි.
11. චීවර සූත්ර වර්ණනාව
එකොළොස්වන සූත්රයේ - “දක්ඛිණගිරිස්මිං” රජගහනුවර පිරිවරා සිටි කඳුවලින් දකුණු පැත්තේ වූ ජනපදය “දක්ඛිණගිරි” නම් වේ. එහි චාරිකාවේ හැසිරේ යන අර්ථයි. චාරිකාවේ ප්රභේද දෙකකි. තුරිත චාරිකාව හා අතුරිත චාරිකාව යනුවෙනි. එහි යමෙක් එක් කසාවතක් හැඳ, එක් කසාවතක් පොරවාගෙන, පාසිවුරු උරයේ එල්ලාගෙන කුඩය ගෙන සිරුරින් දහඩිය වගුරුවමින් දවසකට යොදුන් හත-අටක් යයි. බුදුවරු කිසියම් හේතු සම්පත් ඇති සත්ත්වයකු දැක යොදුන් සීයක්-දාහක් වුවත් ක්ෂණයකින් යති. එය තුරිත චාරිකාව නම් වේ. දිනපතා සිදුවන පරිදි ගවුවක්, අඩ යොදුනක්, තුන් ගවුවක්, යොදුනක් යනාදී මෙපමණ දුර මාර්ගයක් ගෙවා යන දානයක් සඳහා ආරාධනා කරන ලද්දේ එය ඉවසා, ජනසංග්රහ කරමින් වැඩම කිරීම, “අතුරිත චාරිකා” නම් වේ. මේ අතුරිත චාරිකාව මෙහිදී අදහස් කරන ලදී.