3. චන්දූපම සූත්‍ර වර්ණනාව
තෙවන සූත්‍රයේ - “චන්දූපමා” යනු සඳ මෙන් වී යනුයි. කිම පරිමණ්ඩල වශයෙන්ද? නැත. චන්ද්‍රයා අහස් තලයට නැගෙන කල්හි කිසිවකු සමග එක්ව විසීමක්, සෙනෙහසක්, ආලයක්, ප්‍රාර්ථනාවක් හෝ මැඩගෙන (පාගාගෙන) පිවිසීමක් නොකරයි. එනමුත් මහජනයාට ප්‍රිය වෙමින් ම උදාවේ. “නුඹලා ද මෙසේම කිසිවකු සමග එක්ව විසීම් ආදියක් නොකර, මහජනයාට ප්‍රියමනාපව සඳ මෙන් ක්ෂත්‍රියාදී සිවු කුලයන් වෙත එළඹෙවු” යන අර්ථයයි. තවද චන්ද්‍රයා අන්ධකාරය දුරු කරයි. ආලෝකය පතුරුවයි. එලෙසින්ම කෙලෙස් අඳුර දුරුකිරීමෙන් හා ඥාණාලෝකය පැතිරවීමෙන් සඳ මෙන් විසිය යුතුයි. මෙලෙස මෙහි අර්ථ දතයුතුයි.
“අපකස්සෙව කායං අපකස්සෙව චිත්තං” යනු ඉහත කී එක්ව විසීම් ආදිය නොකිරීමෙන් කය ද සිත ද ඉවතට ඇද-පහකර යන අර්ථයි. යම් භික්ෂුවක් අරණ්‍යයෙහි නොවෙසෙයි. කාම විතර්කාදිය කල්පනා නොකරයි. මේ භික්ෂුව කය හා සිත ඉවත් නොකර ම වෙසෙයි. යම් භික්ෂුවක් අරණ්‍යයෙහි වෙසෙයි. කාමවිතර්කාදිය කල්පනා කරයි. මේ භික්ෂුව කය පමණක් ඉවත්කර වෙසෙයි. සිත ඉවත් නොකරයි. යම් භික්ෂුවක් ගම් සෙනසුනක වෙසෙමින් කාමාදී විතර්ක නොසිතයි. මේ භික්ෂුව සිත ඉවත් කර, කය ඉවත් නොකර වෙසෙයි. යම් භික්ෂුවක් අරණ්‍යයෙහි වෙසෙමින් කාමවිතර්කාදිය ද පහළ කර නොගනියි. මේ භික්ෂුව කය, සිත දෙක ම ඉවත්කර වෙසෙන උතුම් භික්ෂුවයි. “මෙලෙස වී කුලයන් වෙත යායුතුයි” යන අර්ථය දක්වමින්, “කය හා සිත ඉවත් කරවූයේම” යනුවෙන් දෙසූ සේක.
“නිච්චනවක” යනු නිතර නවකයෙක් ව යනුයි. ආගන්තුකයෙක් හා සමානව යන අර්ථයි. ආගන්තුකයා පිළිවෙලින් පැමිණි ගෙයක වෙසෙනුයේ, ගෘහස්වමීවරුන් විසින් දකින ලදුව - “අපගේ දරුවෝ, සෝයුරෝ අපගෙන් වෙන් වූහ. මොහු ද ඔවුන් මෙන් හැසිරෙයි.” යනුවෙන් අනුකම්පා කරමින් - ඔහුට නිදාගැනීමට දී ආහාරපාන ද දෙති. අහර වළඳා අවසන ආගන්තුකයා “නුඹලාගේ මේ ආහාර භාජනය ගන්න”යි පවසා වැළඳූ භාජන දී නිහඬව බැහැරව යයි. ඔවුන් සමග එක්ව විසීම් ආදියක් නොකරයි. කළයුතු කාය විධානයක් නොකරයි. “නුඹලා විසින් ද මහණෙනි!, පිළිවෙලින් පැමිණි ගෘහයට පිවිස යම් හැසිරීමකින් පැහැදුණු මිනිසුන් දුන් දෙයක් වේ නම් එය ගෙන - ඔවුන් හා කිසි කථාබහක් නොකර - කළයුතු කිසිදු කටයුත්තක නොයෙදී නිවසින් නිමෙවු” යනුවෙන් භික්ෂූන්ට අවවාද දුන්හ.
මෙහිදී නිත්‍ය නවකයාගේ ස්වභාවය මැනවින් දැක්වීමට “දෙසොයුරු පැවිදි කථාව” (දෙවභාතික වත්ථු) කිවයුතුයි.
“වසාළ නගර” නම් ගමින් සොහොයුරෝ දෙදෙනෙක් නික්ම අවුත් පන්සලෙහි පැවිදි වූහ. ඒ දෙදෙන චූලනාග තෙරුන් ය, මහානාග තෙරුන් යැයි ප්‍රසිද්ධ වූහ. ඒ දෙදෙන සිතුල්පවුවෙහි වෙසෙමින්, භාවනා කර - වසර තිහකට පසු රහත්ඵලය ලබා ගත්හ. “මව දකිමු”යි තම මැණියන් බැලීම සඳහා අවුත් වසාළනගර විහාරයේ වාසය කර, දෙවැනි දින මව සිටින ගමට පිඬු පිණිස, දෙදෙනා වහන්සේ ම වැඩම කළහ. මවු ද ඉතා සැදැහැයෙන් විශාල කැඳ හැන්දක් ගෙන වැඩිමල් තෙරුන්ගේ පාත්‍රයට බෙදන්නී, තෙරුන්ගේ මුහුණු බලා උපන් දරු සෙනෙහස ඇතී, “දරුව! නුඹ මගේ පුතු වූ මහානාග නේද?”යි ඇසුවාය. තෙරුන් වහන්සේ, “උපාසිකාවනි! පසුපස සිටින තෙරුන්ගෙන් විමසනු මැනවි”යි පවසා විහාරයට ම වැඩම කළහ. දෙවැනි තෙරුන්ට ද එලෙසින්ම කැඳ බෙදු මෑණියෝ, “දරුව! නුඹ මගේ පුතු වූ චූලනාග නේද?”යි විමසුවාය. “කිම උපාසිකාවනි! මුලින් සිටි තෙරුගෙන් නොවිමසුවෙහි ද?”යි පවසා උන්වහන්සේ විහාරයට වැඩම කළහ. මෙලෙස තම වැදූ මව සමගවත් ආගිය තොරතුරු කථාකිරීමක්, එක්ව විසීමක් නොමැති භික්ෂුව “නිත්‍ය නවකයා” නම් වේ.
“අප්ගබ්භා” යනු ප්‍රගර්භ නොවූ යනුයි. ගැටීම් නැති. අටස්ථානයක කයින් ගැටීම ද සිවුතැනක වචනයෙන් ගැටීම නොයෙක් තැන්හි මනසින් ගැටීමද දුරුකළ. අටතැනක කයින් ගැටීම නම් - “සංඝ, ගණ, පුද්ගල, භෝජන ශාලා, ගිනිහල්ගෙය, නානතොට, පිඬු පිණිස යන මාර්ගය, ඇතුල් ගමට පිවිසීම යන තැන්වලදී කයින් නුසුදුසු දේ කිරීමයි.” ඒ කෙසේද? ඇතැම් භික්ෂුවක් විහාරයේ සඟ මැද අත්දෙක ගොතාගෙන වාඩිවී සිටියි. පයින් පය ගටාගෙන හිඳියි. මේ ආදී ලෙසයි. මෙසේ ම සමූහයක් මැදදී ද සිවු පිරිසෙහි සමාගමයකදී ද සූත්‍ර පිටකාදියක් උගන්නා පිරිස් එකතුවීමක දී ද අයෝග්‍ය හැසිරීම් දැක්වීමයි. වෘද්ධතර භික්ෂූන් කෙරෙහි ද එලෙස හැසිරීම. වැඩිමහල් භික්ෂූන්ට දානශාලාවේදී ආසන නොදෙයි. නවකයන්ට ආසන පැමිණීම වලක්වයි. ගිනිහල් ගෙයි ද මෙලෙසම හැසිරේ. වැඩිහිටි භික්ෂූන් නොවිමසා, ගිනිදැල්වීම් ආදිය කරයි. නානතොටේදී “මේ සාමණේරයෙකි. මේ වෘද්ධ හිමිනමකි” ආදී ලෙස ප්‍රමාණ නොකර-ආගත පටිපාටියෙන් දියනෑ යුතුයැයි බුදුහු වදාරා ඇත. එම නියමය කඩකරමින් පසුවී පැමිණ, දියට බැසීමාදියෙන් වෘද්ධසාමණේර හිමිවරුන්ට බාධා කරයි. පිඬු පිණිස යන මාර්ගයේ දී අග්‍ර ආසන, අග්‍ර දිය, අග්‍ර පිණ්ඩපාත ආදිය ලබාගැනීමට අතින් ගටමින් පිළිවෙල ඉක්මවා ඉදිරියට යයි. ඇතුළු ගමට හෝ ඇතුළු ගෙට පිවිසීමේදී වැඩිමහලු භික්ෂූන්ට පෙරින් ගොස් පිවිසෙයි. ළදරු භික්ෂූන් සමග කයින් ක්‍රීඩා ආදිය කරයි. මෙලෙසින් කයින් වැරදි හැසිරීම් දැක්වීමයි.