2. අනොත්තාපී සූත්ර වර්ණනාව
දෙවන සූත්රයේ - “අනාතාපී” යනු යම් වීර්යයකින් කෙලෙස් තවයි ද ඉන් තොරවූයේ යනුයි. “අනොත්තාපී” යනු බිය නැතිකමයි. කෙලෙස් ඉපදවීමට ද කුසල් නූපදවීමට ද බියක් නැත. “සම්බොධාය” යනු මනාව අවබෝධ කරගැනීම සඳහාය. “නිබ්බාණය” යනු නිර්වාණය සාක්ෂාත් කරගැනීමටය. “අනුත්තරස්ස යෝගකෙඛමස්ස” යනු රහතන් වහන්සේය. එහි අනුත්තර වූ (අතිඋතුම් වූ), සතර යෝගයන්හි නිර්භය වූ යනු අර්ථයි.
“අනුප්පන්නා” යනාදියෙහි - යමෙක් පෙර නොලැබූ විරූ සිවුරු ආදී ප්රත්යයක් හෝ උපස්ථායක, සද්ධිවිහාරික, අත්වාසිකයන්ගේ සිත් අලවන වෙනත් වස්තුවක් හෝ ලැබ, එය ‘හොඳයි-සැපයි’ යනුවෙන් අඥානකමින් ගන්නාට සහ තම නොවිඳින ලද වෙනත් සුභ අරමුණක් පිළිබඳ අනුවණකමින් සිහිකරන්නාට ලෝභාදී පවිටුධර්ම උපදියි. “එබඳු ධර්ම නූපදී” යැයි අර්ථ දතයුතුයි. අන් අයුරකින් - අග මුලක් නැති සසරෙහි නූපන් අකුසල් සහගත පවිටු සිතක් නම් නැත. පෙර විඳින ලද වස්තුවෙහි ද කරුණා කළයුතු අරමුණෙහි ද, යමෙකුට ස්වභාව බුද්ධියෙන් හෝ උදෙසීම-විචාරීම ආදියෙන් හෝ පර්යාප්ති-නවකර්ම නුවණින් මෙනෙහි කිරීම් ආදියෙන් හෝ වෙනත් දෙයකින් පෙර නූපදින ලද පාපී අදහස්, පසුව එබඳු වූ ප්රත්යයකින් වහා උපදියි. මෙය ද “නූපන් ධර්ම උපදවමින් අනර්ථය පිණිස පවතින්නේය”යි දතයුතුයි. “ඒ වස්තු ආරම්මණයන් හි ම නැවත නැවත උපදිමින් ප්රහීණ නොවී පවතී” යන අදහසයි. “ඒවා ඉපදී ප්රහීන නොවී අනර්ථය පිණිස ම පවතින්ය.” යනුවෙන් දතයුතුයි. මේ දැක්වූයේ සංක්ෂිප්ත විස්තරයයි. සවිස්තරව උපනුපන් භේදයන්ද ප්රහාණප්රහාණ නියමයන්ද යන සියල්ල විශුද්ධි මාර්ගයේ ඥාණදස්සන විශුද්ධි නිර්දේශයේ පැවසූ පරිදි දතයුතුයි.
“අනුප්පන්නා මෙ කුසලා ධම්මා” යනු සීල, සමාධි, ඵල සංඛ්යාත වූ නිවැරදි ධර්ම නොලැබූවත් යනුයි. “උප්පන්නා” යනු ඒවාම ලැබුවාහුය. “තිරුජ්ඣමාතා අනත්ථාය සංවත්තෙය්යුං” යනු ඒ සීලාදී ධර්ම පිරිහීම් වශයෙන් නැවත නූපදින්නේ, නිරුද්ධ වනුයේ අනර්ථය පිණිස පවතීයැයි දතයුතුයි. මෙහිද ලෞකික ධර්මයන්ගේ පිරිහීමක් මිස ලෝකෝත්තර ධර්මයන් පිරිහීමක් නොමැති බව දතයුතුයි. උපන් කුසල් දහම්වල පැවතීමෙන් සම්මා විරියෙහි (යහපත් වීර්යයෙහි) පිහිටීම් වශයෙන් දේශනාව කරන ලදී. දෙවැනි මාර්ගය වහා නූපදින කල්හි, පළමු මාර්ගය නිරුද්ධ වනුයේ එය අනර්ථය-අයහපත පිණිස පවතින්නේය” යන මේ අර්ථය ගතයුතුයි. මෙලෙස මෙම සූත්රයෙහි සතර සම්යක් ප්රධන් වීර්යයෝ පූර්වභාග විදර්ශනා වශයෙන් දේශනා කරන ලදැයි දතයුතුයි.
දෙවන සූත්රයයි.
3. චන්දූපම සූත්ර වර්ණනාව
තෙවන සූත්රයේ - “චන්දූපමා” යනු සඳ මෙන් වී යනුයි. කිම පරිමණ්ඩල වශයෙන්ද? නැත. චන්ද්රයා අහස් තලයට නැගෙන කල්හි කිසිවකු සමග එක්ව විසීමක්, සෙනෙහසක්, ආලයක්, ප්රාර්ථනාවක් හෝ මැඩගෙන (පාගාගෙන) පිවිසීමක් නොකරයි. එනමුත් මහජනයාට ප්රිය වෙමින් ම උදාවේ. “නුඹලා ද මෙසේම කිසිවකු සමග එක්ව විසීම් ආදියක් නොකර, මහජනයාට ප්රියමනාපව සඳ මෙන් ක්ෂත්රියාදී සිවු කුලයන් වෙත එළඹෙවු” යන අර්ථයයි. තවද චන්ද්රයා අන්ධකාරය දුරු කරයි. ආලෝකය පතුරුවයි. එලෙසින්ම කෙලෙස් අඳුර දුරුකිරීමෙන් හා ඥාණාලෝකය පැතිරවීමෙන් සඳ මෙන් විසිය යුතුයි. මෙලෙස මෙහි අර්ථ දතයුතුයි.
“අපකස්සෙව කායං අපකස්සෙව චිත්තං” යනු ඉහත කී එක්ව විසීම් ආදිය නොකිරීමෙන් කය ද සිත ද ඉවතට ඇද-පහකර යන අර්ථයි. යම් භික්ෂුවක් අරණ්යයෙහි නොවෙසෙයි. කාම විතර්කාදිය කල්පනා නොකරයි. මේ භික්ෂුව කය හා සිත ඉවත් නොකර ම වෙසෙයි. යම් භික්ෂුවක් අරණ්යයෙහි වෙසෙයි. කාමවිතර්කාදිය කල්පනා කරයි. මේ භික්ෂුව කය පමණක් ඉවත්කර වෙසෙයි. සිත ඉවත් නොකරයි. යම් භික්ෂුවක් ගම් සෙනසුනක වෙසෙමින් කාමාදී විතර්ක නොසිතයි. මේ භික්ෂුව සිත ඉවත් කර, කය ඉවත් නොකර වෙසෙයි. යම් භික්ෂුවක් අරණ්යයෙහි වෙසෙමින් කාමවිතර්කාදිය ද පහළ කර නොගනියි. මේ භික්ෂුව කය, සිත දෙක ම ඉවත්කර වෙසෙන උතුම් භික්ෂුවයි. “මෙලෙස වී කුලයන් වෙත යායුතුයි” යන අර්ථය දක්වමින්, “කය හා සිත ඉවත් කරවූයේම” යනුවෙන් දෙසූ සේක.
“නිච්චනවක” යනු නිතර නවකයෙක් ව යනුයි. ආගන්තුකයෙක් හා සමානව යන අර්ථයි. ආගන්තුකයා පිළිවෙලින් පැමිණි ගෙයක වෙසෙනුයේ, ගෘහස්වමීවරුන් විසින් දකින ලදුව - “අපගේ දරුවෝ, සෝයුරෝ අපගෙන් වෙන් වූහ. මොහු ද ඔවුන් මෙන් හැසිරෙයි.” යනුවෙන් අනුකම්පා කරමින් - ඔහුට නිදාගැනීමට දී ආහාරපාන ද දෙති. අහර වළඳා අවසන ආගන්තුකයා “නුඹලාගේ මේ ආහාර භාජනය ගන්න”යි පවසා වැළඳූ භාජන දී නිහඬව බැහැරව යයි. ඔවුන් සමග එක්ව විසීම් ආදියක් නොකරයි. කළයුතු කාය විධානයක් නොකරයි. “නුඹලා විසින් ද මහණෙනි!, පිළිවෙලින් පැමිණි ගෘහයට පිවිස යම් හැසිරීමකින් පැහැදුණු මිනිසුන් දුන් දෙයක් වේ නම් එය ගෙන - ඔවුන් හා කිසි කථාබහක් නොකර - කළයුතු කිසිදු කටයුත්තක නොයෙදී නිවසින් නිමෙවු” යනුවෙන් භික්ෂූන්ට අවවාද දුන්හ.