11. චීවර සූත්‍ර වර්ණනාව
එකොළොස්වන සූත්‍රයේ - “දක්ඛිණගිරිස්මිං” රජගහනුවර පිරිවරා සිටි කඳුවලින් දකුණු පැත්තේ වූ ජනපදය “දක්ඛිණගිරි” නම් වේ. එහි චාරිකාවේ හැසිරේ යන අර්ථයි. චාරිකාවේ ප්‍රභේද දෙකකි. තුරිත චාරිකාව හා අතුරිත චාරිකාව යනුවෙනි. එහි යමෙක් එක් කසාවතක් හැඳ, එක් කසාවතක් පොරවාගෙන, පාසිවුරු උරයේ එල්ලාගෙන කුඩය ගෙන සිරුරින් දහඩිය වගුරුවමින් දවසකට යොදුන් හත-අටක් යයි. බුදුවරු කිසියම් හේතු සම්පත් ඇති සත්ත්වයකු දැක යොදුන් සීයක්-දාහක් වුවත් ක්ෂණයකින් යති. එය තුරිත චාරිකාව නම් වේ. දිනපතා සිදුවන පරිදි ගවුවක්, අඩ යොදුනක්, තුන් ගවුවක්, යොදුනක් යනාදී මෙපමණ දුර මාර්ගයක් ගෙවා යන දානයක් සඳහා ආරාධනා කරන ලද්දේ එය ඉවසා, ජනසංග්රහ කරමින් වැඩම කිරීම, “අතුරිත චාරිකා” නම් වේ. මේ අතුරිත චාරිකාව මෙහිදී අදහස් කරන ලදී.
තෙරුන් වහන්සේ වසර විසිපහක් බුදුරදුන්ගේ සෙවණැල්ල මෙන් පසුපසින් ගමන් කරන ලද්දාහු නොවෙත් ද? “ආනන්ද කොතැනද?” යන වචනය බුදුමුවින් පිටවීමට අවසරයක් නුදුන්නේමය. උන්වහන්සේ කවර කාලයක භික්ෂු සංඝයා පිරිවරාගෙන මෙසේ චාරිකාවේ යෑමට අවසරයක් ලැබූ සේක් ද? ශාස්තෘන් වහන්සේ පිරිනිවි වසරේදී ම ය. පිරිනිවීමට අනතුරුව මහාකාශ්‍යප තෙරණුවෝ, සම්බුද්ධ පරිනිර්වාණයට වැඩම කළ භික්ෂු මහා සංඝරත්නය මැද වැඩහිඳ ධර්මවිනය සංග්‍රහ කිරීමට පන්සීයක් මහරහත් තෙරවරු තෝරාගෙන, “ඇවැත්නි! අපි රජගහනුවර වස් වසමින් ධර්ම විනය සංගායනා කරන්නෙමු. නුඹවහන්සේලා පෙරවස් විසීමට ඇති තම තමන්ගේ උවදුරු බාධා සිඳ දමා රජගහනුවරට රැස්වව්”යි පවසා තමන් වහන්සේ රජගහ නුවරට වැඩිසේක. ආනන්ද තෙරුන් ද භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු ගෙන මහජනයාට දැනුම් දෙමින් සැවැත්නුවරට වැඩ, ඉන් රජගහ නුවර බලා වඩින අතරමග දක්ඛිණ ගිරියෙහි චාරිකාවේ හැසිරුණේය. ඒ සඳහා කියන ලදී.
“යෙභුය්යෙන කුමාරභූතා” යනු යම් ඒ පිරිසක් ගිහිබවට ගියාහු ද බොහෝ සෙයින් කුමාරවරු වූ බාල වූ තරුණ වූ ඔවුහුය. එක්වසක් දෙවසක් ඇති භික්ෂූහු මෙන් ම සාමණේරවරු ද මේ පිරිසේ විය. මොවුහු පැවිදිවූයේ ඇයි? ගිහි බවට පැමිණියේ ඇයි? මේ ළදරුවන්ගේ මවුපියවරු, “ආනන්ද තෙරුන් වහන්සේ ශාස්තෘන් වහන්සේට ඉතා විශ්වාසියෙකි. උන්වහන්සේ අටවරයක් ඉල්ලාගෙන උපස්ථාන කරති. තමා කැමති තැන්වලට ශාස්තෘන් වහන්සේ වැඩම කරවීමෙහි සමත්කම් ඇත්තෙකි. අපගේ දරුවන් උන්වහන්සේන්ගේ සමීපයේ පැවිදි කරමු. ආනන්ද හිමියෝ අප ගමට වැඩමවන විට ශාස්තෘන් වහන්සේ සමග ම වැඩමවති. එවිට අපට මහත් වූ සත්කාරයන්ගෙන් බුදුරදුන්ට පූජා පැවැත්වීමට හැකිව්වේ”යැයි සාකච්ඡා කොට තම තම දරුවෝ පැවිදි කළහ. ශාස්තෘන් වහන්සේ පිරිනිවි කල්හි ඔවුන්ගේ අභිලාෂය ද වැනසී ගියේය. එනිසා ඔවුහු එකම දින උපැවිදි වූහ.
“යථාභිරත්තං” යනු කැමති සේය. අදහස් අනුවය. “තිකභොජනං පඤ්ඤත්තං” යනු මේ චීවර සමයෙහි හැර ගණභෝජනයෙහි පචිති ඇවත වේ.” යන ශික්ෂාපදය නිසා කියන ලදී. මෙහිදී තුන් ජනයාගේ කැප නොවූ ආරාධනාව ඉවසා, එක්තැන්වම පිළිගන්නා භික්ෂුන්ට ආපත්ති නැත. එනිසා ‘තිකභෝජනය’ යැයි කියන ලදී.
“දුම්මකුනං පුග්ගලානං නිග්ගහාය” යනු දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ කිරිමටය. “පෙසලානං භික්ඛූනං ඵසුවිහාරාය” යනු දුස්සීලයන්ට නිග්‍රහ පිණිසත්, ශික්ෂාකාමී තෙරවරුන්ට පොහෝ පවුරුණු පවත්වමින් සමගි වාසයටත් හේතු වේ. මෙය උන්වහන්සේලාගේ පහසු විහරණයයි. මේ පහසු විහරණය සඳහා “මා පාපිච්ඡා පක්ඛං නිස්සාය සංඝං භින්දෙය්යුං” යනු යම්සේ දෙව්දත් තෙර පිරිවර සහිතව ගොස් කුලයන්ට දන්වා වළඳන්නාහුය. මේ පාපීන් නිසා සංඝයා බිඳුනේය. මෙලෙස වෙනත් පවිටු ළාමකයන්ගේ සමූහ විසිනුත් කුලයන්ට දන්වා වළඳමින් සමූහය වර්ධනය කර, ඒ පක්ෂය නිසා සංඝයා නොබිදේවායි පතයි. “මෙසේ මේ කාරණයෙන් පනවන ලදී” යන අර්ථයි. “කුලානුද්දයතායච” සලාක බත් ආදිය දී දිව්‍යලෝක සාප පිහිට කරගත්තේ වෙති. මෙසේ මොවුන්ට කුලයන් කෙරෙහි කරුණාව හා අනුග්‍රහය ද පණවන ලදී යන අර්ථයි.