12. තථාගත පරම්මරණ සූත්ර වර්ණනාව
දොළොස්වන සූත්රයේ - “තථාගතො” යනු සත්ත්වයායි. “න හෙතං ආවුසො අත්ථ සංහිතං” යනු ඇවැත්නි මේ දෘෂ්ටිය අර්ථයෙන් යුක්ත වූවක් නොවේ. “තාදිබ්රහ්මචරියකං” යනු මාර්ග බ්රහ්ම චර්යාවට මුල්වූවක්, පූර්වභාග ප්රතිපදාවක්වත් නොවේ. “එතං ආදිබ්රහ්මචරියකං” යනු මෙය මාර්ග බ්රහ්මචර්යාවට මූලික වූ ප්රතිපදාවකි.
දොළොස්වන සූත්රයයි.
13. සද්ධම්මපතිරූපක සූත්ර වර්ණනාව
දහතුන්වන සූත්රයේ “අඤ්ඤාය සණ්ඨහිංසු” යනු රහත්බවෙහි පිහිටියහ යනුයි. “සද්ධම්ම පතිරූපකං” යනු සද්ධර්ම ප්රතිරූපක දෙකකි. අධිගම සද්ධර්ම ප්රතිරූපකය සහ පර්යාප්ති සද්ධර්ම ප්රතිරූපකය යන දෙකයි. එහි
ඔභාසෙ චෙව ඥාණෙච පීතියාච විකම්පති
පස්සද්ධියා සුඛෙචෙව යෙහි චිත්තං පවෙදති
පස්සද්ධියා සුඛෙචෙව යෙහි චිත්තං පවෙදති
අධිමොක්ඛෙ ච පග්ගාහෙ උපට්ඨා නෙ විකම්පති
උපෙක්ඛා වජ්ජනෙ චෙව උපෙක්ඛාය නිකන්තියා
උපෙක්ඛා වජ්ජනෙ චෙව උපෙක්ඛාය නිකන්තියා
ඉමානි දසඨානානි පඤ්ඤා යස්සපරීචිතා
ස තත්ථ කුසලො හොති නච සම්මොහං ගච්ඡති
ස තත්ථ කුසලො හොති නච සම්මොහං ගච්ඡති
“ආලෝකයෙහිද ඤාණයෙහි ද ප්රීතියෙහිද විශේෂයෙන් කම්පා වෙයි. ශාන්ත බවෙහි ද සැපයෙහි ද යමෙකුගේ සිත කම්පාවෙයි.”
“සිතේ ස්ථිරත්වයෙහිද උත්සාහයෙහිද උපස්ථානයෙහිද කම්පා වේ. උපේක්ෂා ආවර්ජනයෙහි මෙන් ම උපේක්ෂාවෙහිද බලවත් ආශා ඇතිව”
“යමෙකුගේ ප්රඥාව මේ දසතැන්හි පුරුදු කරන ලද ද ඔහුට ඉන් කුසලයක්ම (දියුණුවක්ම) වේ. මුලාවට පත් නොවේ.”
මෙම විදර්ශනා ඤාණයේ කිලුටු ඇතිවීම -හටගැනීම “අධිගම සද්ධර්ම ප්රතිරූපය” නම් වේ. ත්රිවිධ සංගායනාවන්හි නොනගන ලද ධාතුකථා, ආරම්මණ කථා, අසුභ කථා, ඤාණවත්ථු කථා, විජ්ජාකදම්බක යන කථාවස්තු පහද වෙනත් (අභයගිරිකාදී) සමයන්හි වූ ගුල්හවිනය, ගුල්හ වෙස්සන්තර, ගුල්හ මහෝසධ, වණ්ණ පිටක ය, අංගුලිමාල පිටකය, රට්ඨපාල ගජ්ජිතය, ආළවක ගජ්ජිතය, වෙතුල්ල (වේදල්ල) පිටකය යන බුදුවදන් නො වූ කොටස් පර්යාප්ති සද්ධර්ම ප්රතිරූපක නම් වේ.
“ජාතරූප පතිරූපකං” යනු රන්රසය විඳින ලද (ආලේප කරන ලද) පිත්තල වූ රන්වන් ආභරණවල ඇතිවීමයි. උත්සව කාලයේදී මිනිස්සු “ආභරණාදී භාණ්ඩ ගනෙමු”යි වෙළඳසැල්වලට යති. ඔවුන්ට වෙළඳසැල් හිමියෝ මෙසේ කියති. “ඉදින් ඔබලාට ආභරණ අවශ්ය නම් මේවා ගන්න. මෙම ආභරණ ඝන වූයේත්, වර්ණවත් වූයේත් වේ. වටිනාකම අඩුවේ.” ඔවුහු එය අසා කරුණු සලකා බලා මෙසේ කැමති වෙති. “අලංකාර වූ අඩු මිලට ගතහැකි වූ මේ ආභරණ පැළඳ නැකැත් ක්රීඩා කළ හැකිය” යනුවෙන් සිතා ඒවා ගෙන යති. නොවිකිණිය හැකි (වැඩිමිල) රන්බඩු සඟවා තබන ලද්දේම වේ. මෙසේ ඒ රන් ආභරණ වැනි වූම ආභරණ ඇතිවූ කල්හි, එම රන් ආභරණ අතුරුදහන් වීම සිදුවේ.
“අථ සද්ධම්මස්ස අන්තරධානං හොති” යනු අධිගම සද්ධර්මයයි. ප්රතිපත්ති සද්ධර්මය හා පර්යාප්ති සද්ධර්මය යනු ත්රිවිධ සද්ධර්මයන්ගේ ම අතුරුදහන් වීම සිදුවේ.
ප්රථම සම්බෝධියෙහි (බුද්ධත්වයට පත්වූ අලුත) භික්ෂුන් සිවුපිළිසිඹියාපත් වූහ. ඉක්බිති කල්ගත වනවිට සිවුපිළිසිඹියාපත් වීමට නොහැකිව ෂඩ් අභිඤ්ඤා ඇත්තෝ වූහ. ඒ සඳහා ද අසමත් වූ පසුකාලීන භික්ෂූහු ත්රිවිද්යා උපදවාගත්හ. දිගුකලකට පසු ඊට ද අසමත් වූ බැවින් ආසවක්ඛය ඤාණය පමණක්ම ලබාගැනීමට දක්ෂ වූහ. එයද නොහැකි වූ කාලයෙහි අනාගාමී ඵලය පමණක් විය. අනාගාමී වීමට නොහැකි වූ විට සකදාගාමී ඵලයට පත්වූහ. ඊටද අසමත් වූවෝ සෝවාන් ඵලයට පත්වූහ. කාලයක් යනවිට සෝවාන් වීමටද නොහැකි වේ. ඉන්පසුව විදර්ශනාව, මෙම කෙලෙස් ධර්මයන්ගෙන් කිලුටුවීමෙන් පටන්ගත් තැනම නතරවේද එකල්හි අධිගම සද්ධර්මය අතුරුදහන් වූයේ වේ.