“නයිදං සුකරං -පෙ- පබ්බජ්ජං” යන මෙහි මේ සංක්ෂිප්ත විස්තරයයි. ඉදින් මේ ශික්ෂාත්රය බ්‍රහ්මචර්යාව එක්දිනක් නොකඩකර, අවසානයේ වූ සිතට පැමිණවිය යුතු බැවින් “එකන්ත පරිපුණ්ණං” එක් දිනක්වත් කෙලෙස් මලින් නොකිලිටි වී හැසිරිය යුතු බැවින්, අවසානයේ වූ සිතට පැමිණවිය යුතු බැවින්ය. “එකන්ත පරිසුද්ධං සංඛලිඛිතං” යනු ලියන ලද සකක් හා සමාන වූ යනුයි. පිරිසිදු වූ සකක් හා සමානව හැසිරිය යුතුයි. මෙය පහසු දෙයක් නොවේ. “අගාරං අජ්ඣාවසතා” ගිහිගෙහි වසන්නහු විසින්ය. “එකන්ත පරිපුණ්ණං -පෙ- චරිතුං” “යන්නු නාහං කෙසමස්සුං ඔහාරෙත්වා” යනු කසට රසයෙන් කහවත් වූ යනුයි. “කාසායානි” යනු බඹසර හැසිරෙන්නවුන්ට යෝග්‍ය වූ යනුයි. “වත්ථාති පච්ඡාදෙත්වා” වස්ත්‍ර හැඳගෙනයි. “අගාරස්මා” යනු ගිහිගෙයින් නික්මී යනුයි. “අනගාරියං පබ්බජෙය්යං”. මෙහිද ගිහිගෙයි වසන්නවුන්ට හිතවූ කෘෂිකර්මාන්ත - වෙළඳාම් ආදිය “අගාරියං” යනුවෙන් ගිහිගෙට අයත් යැයි කියයි. මෙය පැවිද්දන්ට සුදුසු නැත. එනිසා පැවිද්ද “අනගාරික” යැයි කිවයුතුයි. ඒ අනගාරික වූ සසුන්නේ “පබ්බජෙය්යං” යනු පැවිදිවීමට පැමිණියේය.
“පට පිලොතීනං” යනු සිඳුණු රෙදිකඩවල්ය. රියන් දහතුනක් වූ අලුත් වස්ත්‍රයක් දහයකට සිඳි අවස්ථාවේ සිට එයට “පිළොතිකා” යැයි කියයි. (රෙදිකඩ යන තේරුමයි) මෙසේ ඉතා වටිනා වස්ත්‍ර ඉරා, මසන ලද දෙපට සිවුර සඳහා “කඩ කපාගත් රෙද්දෙන් මැසූ සඟල සිවුර” යැයි කියන ලදී. “අද්ධානමග්ග පටිපන්නො” යනු අඩයොදුන් මග. දීර්ඝ මාවත. ඒ දිගුමගට පිළිපන්නේ යන අර්ථයි.
මොහු පැවිදි වූ අයුරුත් දිගුමගට පැමිණි අයුරුත් වටහා ගැනීමට පළමු අභිනීහාර අවස්ථාවේ සිට මේ පිළිවෙල කථාව දතයුතු වේ.
අතීතයේ කල්ප ලක්ෂ ගණනකට පෙර පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ හංසවතී නුවර ඇසුරුකර කේෂ්ම භූමියක් වූ මිගදායෙහි වැඩවාසය කරන කාලයෙහි වේදේහ නම් අසූ කෙළක් ධනය ඇති සිටුපුතෙක් උදෑසනම රසවත් භෝජන වළඳා, පෝය අටසිල් සමාදන්ව, ගඳමල් ආදිය ගෙන විහාරයට ගොස් බුදුන්ට පුදා වැඳ එකත්පසෙක සිටියේය. එකෙණෙහි ශාස්තෘන් වහන්සේගේ තෙවැනි ශ්‍රාවක වූ මහා නිසභ නම් තෙරුන් වහන්සේ “මහණෙනි! මගේ ශ්‍රාවක භික්ෂූන්ගෙන් ධුතාංගධාරී භික්ෂුන්ගේ අග්‍රයට නිසභ තෙරහු පත්කරමි”යි අගතනතුරෙහි තැබූ සේක. මෙය දුටු උපාසකතුමා බෙහෙවින් ප්‍රසන්නව ධර්මකථාව අවසන, මහජනයා නැගිට ගිය කල්හි බුදුරජාණන් වහන්සේට වැඳ, “ස්වාමීනි! හෙට මගේ දානය ඉවසා වදාරන මැනවි”යි ආරාධනා කළේය. බුදුපියාණෝ, “උපාසකය! භික්ෂු සංඝයා ඉතා විශාලය”යි වදාළහ. එවිට උපාසකයා “ස්වමීනි! බුදුරජාණන් වහන්ස! කොපමණ ප්‍රමාණයක් වේද?”යි විමසීය. “භික්ෂුහු හැටඅට ලක්ෂයක් පමණ වැඩවෙසෙති.” “ස්වාමීනි! එක් සාමනේර නමක්වත් විහාරයේ ඉතිරි නොකර දානය සඳහා වැඩමවන්න”යි නැවතද ආරාධනා කළේය. බුදුහු එය ඉවසූ බැව් දැන තම ගෙදරට ගොස් මහාදානයක් පිළියෙල කරවා, දෙවැනි දින බුදුරදුන්ට කාලය දැන්වීය. බුදුපියාණන් වහන්සේ පාසිවුරු ගෙන මහා භික්ෂු සංඝයා විසින් පිරිවරන ලදුව, උපාසකයාගේ නිවසෙහි පැනවූ අසුන්වල වැඩසිටියහ. පරිභෝගය සඳහා දියවත් කිරිම අවසන් වූ කල්හි, කැඳබත් ආදිය පිළිගනුවනුයේ වැළඳවීම කළේය. උපාසකයා ද බුදුපියාණන් සමීපයේ ම හුන්නේය.
මේ අතර මහා නිසභ තෙරහු පිඬු පිණිස හැසිරෙන සේක්, ඒ වීථියටම වැඩිසේක. උන්වහන්සේ දුටු උපාසකයා නැගිට ගොස් තෙරුන්ට වැඳ, “ස්වාමීනි! අපට පාත්‍රය දෙනු මැනව”යි කීවේය. තෙරණුවෝ පාත්‍රය දුන්හ. “ස්වාමීනි! මෙහි පිවිසෙන සේක්වා. ශාස්තෘන් වහන්සේ ද මෙහි වැඩ වෙසෙති”යි උපාසකයා පැවසූ කල්හි, “උපාසකය!, එය සුදුසු නොවේ” යැයි තෙරුන්වහන්සේ පැවසූහ. උපාසකයා තෙරුන්ගේ පාත්‍රය පුරවා බැහැරට ගෙනවුත් තෙරුන්ටම පිළිගැන්වීය. නැවත තෙරුන් අනුවම පසුගමන් කර නැවතුණි. නැවතත් බුදුපියාණන් වහන්සේ වෙත ගොස්, “ස්වාමීනි! මහා නිසභ තෙරණුවෝ, “ශාස්තෘන් වහන්සේ ගෙයි වැඩ සිටිති”යි මා පැවසූ කල්හි, ඇතුලට පිවිසීමට අකමැති වූහ. උන්වහන්සේට ඉතා වැඩි ගුණයක් පවතින්නේ ද?”යි ප්‍රශ්න කළේය. බුදුවරු නම් ගුණයන්ගේ මසුරුකම් කරන්නෝ නොවෙති. අනුන් ගුණ නොමකති. බුදුපියාණන් වහන්සේ “උපාසකය! අපි භික්ෂාවේ පැමිණීම බලමින් ගෙයි වෙසෙමු. ඒ නිසභ තෙරහු එසේ නොසිට, භික්ෂාව සොයා ගනියි. අපි ගම් සෙනසුන්හි වසමු. උන්වහන්සේ ආරණ්‍යයෙහිම වෙසෙති. අපි ආවරණය වූ ස්ථානයක ම වසමු. උන්වහන්සේ එළිමහනෙහිම වෙසෙති. මෙලෙස උන්වහන්සේගේ ගුණ ඉතා විශාලය”යැයි ගුණ සමූහය මහමුහුද පුරවන්නාක් මෙන් වදාළහ.
ස්වභාවයෙන් දැල්වුණු පහණට තෙල් දැමුවාක් වැනි මේ දේශනාව ඇසූ උපාසකයා ද බෙහෙවින් ප්‍රසන්න වූයේ “මට වෙනත් සැපතකින් කවර ප්‍රයෝජනයක් ද? අනාගතයේ එක් බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි ධුතාංගධාරීන් අතරින් අග තනතුර සඳහා ප්‍රාර්ථනා කරන්නෙමි”යි සිතා නැවතද බුදුරදුන්ට ආරාධනා කොට සත්දිනක් ම මහදන් පැවැත්වීය. අවසන් දින හැටඅට ලක්ෂයක් භික්ෂූන්ට තුන්සිවුරු පූජාවක් ද පවත්වා, බුදුපියාණන්ට වැඳ,
“ස්වාමීනි! මවිසින් සත්දිනක් මහදන් පැවැත්වූයේ මෙත් සහගත වූය කාය-වාග්-මනෝ කර්ම ඇතිවමය. මේ උතුම් මහා පින්කමෙන් මම දිව්‍ය, ශක්‍ර, බ්‍රහ්මාදී සැපතක් නොපතමි. මේ උතුම් පුණ්‍ය මහිමයේ බලයෙන්, අනාගත බුදුවරයන් වහන්සේ නමකගේ සසුනෙහි නිසභ තෙරුන් මෙන් තෙලෙස් ධුතාංගධාරීන් අතර අගතනතුරට පත්වේවා!යි ප්‍රාර්ථනා කළේය.
බුදුරජාණනන් වහන්සේද මොහු විසින් මහත් වූ තනතුරක් ප්‍රාර්ථනා කරන ලදී. එය ඉටුවේද? නොවන්ද? විමසා බලන සේක්, එය ඉටුවන බව දුටුසේක. “නුඹ විසින් ඉතා ප්‍රිය වූ තනතුරක් පතන ලදී. අනාගතයේ කල්ප ලක්ෂයක් ඉක්ම ගිය කල්හි, ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළවෙති. නුඹ වහන්සේගේ තෙවැනි ශ්රාවකයා වූ මහා කාශ්‍යප තෙරුන් නමින් ප්‍රකට වන්නේය” යනුවෙන් පැවසූ බුදුවදන් ඇසූ උපාසකයා, “බුදුවරු ලඟ කථා දෙකක් නම් නැත”යි සිතා දෙවැනි දින සිටම එම තනතුර ලැබුවාක් මෙන් ප්‍රීති වුයේය. ඔහු ආයු කෙළවර දක්වා සීලාදිය රක්ෂාකොට, කළුරිය කිරීමෙන් පසු දෙලොව උපනේය.