6. සම්මසන සූත්‍ර වර්ණනාව
“සයවැනි සූත්‍රයේ “ආමන්තෙසි” කවර හෙයින් ඇමතූ සේක්ද? මේ භික්ෂු පිරිසට සූක්ෂම වූ ත්රිලක්ෂණයෙන් යුක්ත ධර්මදේශනාව වැටහෙන බැවිනි. ඒ ජනපදයෙහි මිනිස්සු සහේතුක ප්‍රතිසන්ධියක් ලැබූ ප්‍රඥාවන්තයෝ වෙති. එහි ආහාර ඉතා සිනිඳුය. මොළොක් වේ. එම අහර වළඳන ජනයාගේ ප්‍රඥාව වර්ධනය වේ. ඔවුහු ගැඹුරු ත්රිලක්ෂණමය ධර්ම දේශනාව අවබෝධ කරගැනීමට සමත් වෙති. මෙනිසා බුදුපියාණන් වහන්සේ දිඝ, මජ්ඣිම නිකාය දෙකෙහි එන මහාසතිපට්ඨාන, චූල සතිපට්ඨාන, මහානිදාන, ආනෙඤ්ජ සප්පාය යන සූත්‍ර සහ සංයුක්ත නිකායේ චූල නිදාන සූත්‍රාදී ගැඹුරු වූ සූත්‍ර ධර්ම මෙම ජනපදයේදී ම දේශනා කළහ.
“සම්මසථ නො” යනු ස්පර්ශ කරන්නේ ද යනුයි. විමසා බලනේද? “අන්තරා සම්මසනං” යනු අභ්‍යන්තර ප්‍රත්‍ය පිළිබඳ විමසා බැලීමයි. “න සො භික්ඛු භගවතො චිත්තං ආරාධෙසි” යනු ප්‍රත්‍යකාර වශයෙන් විවරණය කරවීමට කැමති කොටය. බුදුරදුන්ගේ අදහස ගැනීමට ද්වත්තිංසාකාර වශයෙන් විවරණය කිරීම නිසා නොහැකි විය.
“එතදවොච” යනු දේශනාව මැනවින් ගැලපී නොගියේය. මනාව ගලපා ගැනීම සඳහා මෙලෙස වදාළහ. “තෙනහානන්ද! සුනාථ” යන මෙය ත්‍රිපිටක බුදුවදනෙහි නොබිඳුණු පදයකි. නිතර යෙදෙන්නෙකි. අන් සමයක මෙසේ කීමක් නැත. “උපධිනිදානං” යනු අදහස් කරන ලදී. “උප්පජ්ජති” යනු උපදියි. “නිවිසති” යනු නැවත නැවත පැවතීම් වශයෙන් පිහිටයි.
“යං ලොකෙ පියරූපං සාතරූපං” යනු ලොව ඇති වූ යම් බඳු මිහිරි ස්වභාවයද ප්‍රිය ස්වභාවය ද යන දෙකයි. “චක්ඛුං ලොකෙ” යනු ලොව චක්ෂු ආදී ඉන්ද්රියයන්හි ප්‍රමාද වූ, ඒවායේ ඇලී සිටින සත්ත්වයෝ සම්පත්තියෙහි පිහිටා තම ඇස කැඩපත් ආදියේ නිමිති ගැනීම් අනුසාරයෙන් පැහැදුණු පංච ප්‍රසාදය, රන් විමනක ගලවා දැමූ මැණික් සිංහ මැදිරියක් මෙන් සිතති. කන රිදී පීල්ලක් මෙන් ද හවඩි නූලක් මෙන්ද සිතති. “උස් වූ නාසය” යැයි ලබන ලද ව්‍යවහාර ඇති නාසය, පෙරළා තැබූ රන් වටාපතක් මෙන් සිතති. දිව රතු කම්බිලි පටලයක් මෙන් මෘදු-සිනිඳු- මිහිරි ස්වරයකැයි සිතති. කය-ශරීරය තරුණ තල්ගසක් මෙන් රන් තොරණක් මෙන් ද සිතති. සිත; මනසින් අන්‍යයන්ගේ මනස හා අසමාන වූ මහත් දෙයකැයි සිතති.
“නිච්චතො අද්දක්ඛු” යනු “නිත්‍ය”යැයි දුටුවහ යනුයි. සෙසු පදයන්හිද මේ ක්‍රමයමයි. “න පරිමුච්චිංමු දුක්ඛස්මා” යනු සියලුම අයුරින් සසර පැවතීම් දුකින් නොමිදුනාහ යනුයි. “දක්ඛිනති” යනු දකිති. “ආපාණියකංසො” යනු දියබොන භාජනයට නමකි. යමකින් දියබොත් ද එය “ආපාණීය” නම් වේ. ආපාණ වූයේත් කංසවූයේත් එම “ආපාණියකංසො” නම් වේ. රා ඔඩමට මේ තවත් නමකි. “වණ්ණසම්පන්නො” යනාදී වචනවලින් ඒ ඔඩමෙහි පැවති පානයේ වටිනාකම කියැවේ. “ඝම්මාභිතත්තො” ග්‍රීෂ්මයෙන් අතිශයින් පෙළුණු. “ඝම්මපරතො” යනු ග්‍රීෂ්මයෙන් ස්පර්ශ කළ, අනුව ගිය යන අර්ථයි. “ජිවතො හි තං ඡදිස්සති” යනු ඒ පානය බොන්නා, එය බීමෙන් වර්ණාදී සම්පත් රුචිකරයි. මුළු සිරුරෙහිම පැතිරගිය සතුට උපදවමින් සිටියි. “අප්පටිසංඛා” යනු ප්රත්යවේක්ෂා නොකර යනුයි.
“එවමෙව ඛො” යනු මෙහි උපමා සන්සන්දනය කිරීමයි. ජල බඳුන මෙන් ලෝකයේ ප්‍රිය වූ සැපවත් වූ රූපාදී අරමුණු දතයුතුයි. ග්‍රීෂ්මයෙන් තැවුණු පිපාසිත පුද්ගලයා යනු සසර පැවැත්ම ඇති පුහුදුන් පුද්ගලයා වේ. දිය බඳුනෙන් ආරාධිත (සතුටුවන) පුරුෂයා මෙන් ලොව ප්‍රිය රූපමය අරමුණුවලින් ආරාධිත ජනයා දතයුතුයි. දිය බඳුනෙහි පවතින සම්පත්තීන් (ආනිසංස ද) ආදීනව ද පවසන දියසැල භාර පුරුෂයා මෙන් ආචාර්ය-උපාධ්‍යායන් ප්රමුඛ වූ කල්‍යාණ මිත්‍රයෝ දැකිය යුතුයි. පිපාසිත පුරුෂයාට දිය සැලෙහි සිටි මිනිසා දියබඳුන බීමේ ගුණාගුණ පවසන්නාක් මෙන් ආචාර්ය-උපාධ්යයවරු ශිෂ්‍ය භික්ෂූන්ට පංචකාමයේ ඇති ආශ්වාදයත් ආදීනවයත් පවසති.
එලෙස දියබඳුනේ ගුණාගුණ පැවසූ විට, ඒ පුරුෂයා එම පානයේ ඇති “ගුණ” පමණක් සලකාගෙන (ප්‍රිය ආස්වාදයේ පමණක් ඇලී) හටගත් වේගවත් බව ඇතිව “ඉදින් මරණය ඇතිවේනම් පසුව එය දැනගන්නෙමි” යි ලෝභ සිතින් වහා සැක රහිතව එම පානය බී, මරණයට හෝ මරණ සමාන දුකට පැමිණේ. මෙලෙස ම තරුණ භික්ෂූහු ද පංචකාමයන්හි දර්ශන වශයෙන් උපත් සොම්නස නිසා ම ආශ්වාදයේ ඇලෙති. එහි ආදීනව ලෙස “මෙලෝ පරලෝ බොහෝ නානාප්‍රකාර වූ අප්‍රසාදය වූ කාමයෝ බොහෝ දුක්කරදර උපදවයි.” යනුවෙන් ආචාර්ය-උපාධ්‍යයන් විසින් දේශිත ආනිසංස ද ආදීනව ද අසති. “පැවිදි ප්‍රතිපදාවට එළඹ, ඉන්ද්රිය සංවරයෙහි නියුක්ත වන්න. ආහාරයේ පමණ දැනගත්තෙක් වන්න. නිදිවැරීමෙහි යෙදුනෙක් වන්න.” යනුවෙන් අවවාද දෙනු ලැබූවත් ආශ්වාදයේ සිත බැඳුණු තැනැත්තා, “ඉදින් මෙසේ ආදීනව වේනම් එය පසුව දැනගනෙමි”යි ආචාර්ය-උපාධ්‍යායන්ට අප්‍රසාද උපදවා පාමොක් උදෙසීම්-විමසීම් මෙන්ම වත්පිළිවෙත් ද අත්හැර ලෝකාමිෂ කථාවෙහිම නියැලී සිට කම්සැප විඳීමට ශික්ෂා ප්‍රතිකේෂ්ප කර ගිහිබවට පත්වෙයි. පසුව දුසිරිත් පුරවන ඔහු ගෙවල් බිත්ති සිඳ සොරකම් කල කල්හි “මේ සොරෙයි”යි රජුට අල්ලා දැක්වූ විට, මෙලොවදීම හිස්, අත්පා සිඳීම් වැනි දුකට පැමිණෙයි. පරලොව සතර අපායෙහි ද ඉපිද දුක්විඳියි.