“මහරජ! වාහන සීයක්, කුඩා වාහන පනහක්, කුරුණි සතක හා ලාහ දෙකක දැමූ වී ප්‍රමාණයට, එක් අසුරු සැණෙක දී උපදින සිත් සංඛ්‍යාව සමාන කල නොහැක. ඒ සිත් සංඛ්‍යාවෙන් දහසයෙන් කොටසකට හෝ ඉන් භාගයකටවත් සමාන නොවේ.”
“පවනෙ” යනු මහාවනයෙහිය. “තං මුඤ්චිත්වා අඤ්ඤං ගණ්හාති, තං මුඤ්චිත්වා අඤ්ඤං ගණ්හාති” යනු මෙසේ ඔහු ගතයුතු අත්තක් නොලැබූ විට බිමට බසියි යනුයි. ඉක්බිති “ඒ මහාවනයේ හැසිරෙමින් ඒ ඒ අතු අල්ලා ගනිමින් ම හැසිරේ”යැයි අර්ථ දක්වන ලදී.
“ඒවමේව ඛො” යනු මේ දැක්වූ උපමාව සන්සන්දනය කිරීමයි. ආරණ්‍ය මහා වනය අරමුණු වනයක් මෙන් දතයුතුයි. ඒ කැළයේ හැසිරෙන වඳුරා යනු අරමුණු වනයෙහි හටගන්නා සිතයි. වඳුරා අතු අල්ලා ගැනීම මෙන් සිත අරමුණුවල එල්බෙයි. යම්සේ ඒ කැළයේ හැසිරෙන වඳුරා ඒ ඒ අතු අත්හැර, වෙන වෙන අතු අල්ලා ගනියි ද මෙසේ මේ අරමුණු නමැති වනයේ හැසිරෙන සිත ද කිසිවිටෙක රූපාරම්මණය ගෙන උපදියි. කිසිකලෙක ශබ්දාදී වෙනත් අරමුණු ගෙන උපදියි. කිසිවිටෙක අතීත වූත්, අනාගත වූත්, ප්‍රත්‍යුත්පන්න වූත් අරමුණු ගෙන උපදියි. එසේම කිසිවිටෙක ආධ්‍යාත්මක වූත්, කිසිවිටෙක බාහිර වූත් අරමුණු ගෙන උපදියි. යම්සේ “ඒ කැළයේ හැසිරෙන වඳුරා අත්තක් නොලැබ බිමට බැස සිටින්නේය”යි කිවනොහැක. එක් අතක් අල්ලාගෙන ම සිටින්නේය. මේ අයුරින් ම අරමුණු වනයෙහි හැසිරෙන සිත ද “එක් එලඹිය යුතු අරමුණක් නොලැබ උපන්නේයැ”යි කිව නොහැක. පසිඳුරන්ගෙන් කිසියම්ම හෝ එක් අරමුණක් ලබාගෙනම සිත උපදින්නේ යැයි දතයුතුයි. මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ රූපයෙන් බැහැර කර අරූපයෙහි සිත පිහිටුවන ලද සේක. අරූපයෙන් බැහැර කර, රූපයෙහි සිත පිහිටුවන ලද සේක.
දැන් මේ දෙකින්ම බැහැර කරනු කැමතිසේක්, “තත්‍ර භික්ඛවේ! සුතවා අරියසාවකො”යි දේශනාව ඇරඹි සේක. මෙහි අර්ථ විස්තරය සර්පදෂ්ඨ උපමාවෙන් දතයුතුයි -
එක් පුරුෂයෙක් සර්පයකු විසින් දෂ්ඨ කරන ලදී. ඉක්බිති “ඔහුගේ විෂ ඉවත් කරනෙමි”යි කියා එක් වෛද්‍යවරයෙක් අවුත්, වමනයක් කරවා “යට ගුරුළාය. මත්තෙහි නාගයායැ”යි මන්ත්‍ර පිරිවහා විෂ මතුපිටට ගෙනාවේය. ඔහු ඒ විෂ රෝගියාගේ ඇස් ප්‍රදේශය දක්වා පැමිණි බව දැන, “මින් උඩ නැංවීමට ඉඩ නොදෙන්නෙමි. දෂ්ඨකල තැනටම විෂ ගෙනයමි” යි කියා එසේ කරයි. නැවත “ මත්තෙහි ගුරුළාය. යට නාගයායැ”යි මන්ත්‍ර පිරිවහා කණෙහි දුම් දී දණ්ඩකින් ගසා විෂ බැහැර කරවා, නැවත දෂ්ඨ කළ තැනම තැබීය. ඔහුගේ තුවාලයේම එය සිටි බව දැන බෙහෙත් ආලේපයකින් විෂ මැඩපවත්වා, නහවා “සුවපත් වේවා!”යි කියා තමා කැමති තැනකට ගියේය.
එහි සර්පයා විසින් දෂ්ඨ කළ රෝගියාගේ කයෙහි විෂ පිහිටි තැන මෙන්, මේ භික්ෂූන්ගේ රූපයේ අධිකව අල්ලාගැනීම දතයුතුයි. දක්ෂ වෙදා මෙන් තථාගතයන් වහන්සේගේ පහළවීම දතයුතුයි. මන්ත්‍ර පිරිවහා උඩට විෂ රැගෙන ගිය අවස්ථාව මෙන් ඒ භික්ෂූන් වහන්සේලාගේ රූපමය ග්‍රහණයෙන් බැහැර කරවා අරූපයෙහි පිහිටවූ අවස්ථාව දතයුතුයි. ඇස් ප්‍රදේශය දක්වා නංවන ලද විෂ ඉන් උඩට යානොදී, නැවත මන්ත්‍ර බලයෙන් දෂ්ඨ කළ තැනට ගෙනවුත් තැබුවාක් මෙන් ශාස්තෘන් වහන්සේ, ඒ භික්ෂූන් වහන්සේලාගේ සිත අරූපග්‍රහණයෙන් මුදවා රූපයෙහි පිහිට වූ අවස්ථාව දතයුතුයි. දෂ්ඨ කළ තැන සිටි විෂ, බෙහෙත් ආලේපයකින් මැඩ පැවැත් වූවාක් මෙන් රූප-අරූප ග්‍රහණ දෙකින්ම මුදනු කැමතිසේක් මේ දේශනාව ආරම්භ කළ අවස්ථාව දතයුතුයි. එහි “නිබ්බිණ්දං විරජ්ජති” යනුවෙන් මේ මාර්ගය පවසන ලදී. “විරාගා විමච්චති” යනු ඵලයයි. විපාකයයි. “විමුත්තස්මිං” ආදී වශයෙන් ප්‍රත්‍යවේක්ෂණාව පවසන ලදී.
පළමු සූත්‍රයයි
2. දුතිය අස්සුතවන්තු සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයේ “සුඛවේදනීයං” යනු සැප වේදනාවේ ප්‍රත්‍යයයි. හේතුවයි. “ඵස්සං” යනු චක්ෂු ස්පර්ශාදියයි. චක්ෂු ස්පර්ශය, සැප වේදනාවට ප්‍රත්‍යයක් නොවන්නේද? සහජාත ප්‍රත්‍යයෙන් නොවේ. උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් වනාහී ජවන වේදනාව ඇතිවේ. ඒ සඳහා මෙය කියන ලදී.සෝත ස්පර්ශාදියෙහි ද මේ ක්‍රමයමයි. “තජ්ජං” යනු එයින් හටගත් ඒ රූපයයි. ඒ ස්පර්ශයේ අනුරූපයකි යන අර්ථයි. “දුක්ඛ වේදනීයං” යනාදිය ඉහත පැවසූ පරිදිම දත යුතුයි. “සංඝට්ට සමෝධානා” යනු ගැටීමෙන් හා එක්වීමෙන් ද, ගැටී එකට සම්පිණ්ඩනය වූ යන අර්ථයි. “උස්මා” යනු උණුසුමයි. උෂ්ණාකාරයයි. “තේජෝ අභිනිබ්බත්තති” යනු ගිනිසිළු පිටවේයැයි නොගත යුතුයි. උණුසුම් ආකාරයට ම යෙදුණු තවත් වදනකි මෙය. එහි “ද්වින්නං කට්ඨානං” යනු ගිනි උපදවන දඬුදෙකින්. එහි - යට දණ්ඩ වස්තුව, (ඉන්ද්‍රිය) මෙනි. උඩ දණ්ඩ අරමුණ මෙනි. ඒ දෙක ගැටීම නම් ස්පර්ශයයි. එහි ප්‍රතිඵලය වන උණුසුම යනු වේදනාවයි.