3. සංයොජන සූත්‍ර වර්ණනාව
තෙවැනි සූත්‍රයේ “යොසංජනියෙසු” යනු දස සංයෝජන ධර්මයන්හිය. “ඣායෙයිය්‍යාති” යනු දල්වන්නේය යනුයි. “තෙලං ආසිඤ්චෙය්‍ය වට්ටිං’ උපහරෙය්‍ය” යනු පහන ආරක්ෂා කරගැනීමට තෙල් බඳුනක් ද මහත් වූ පහන්තිර ද ගෙන සමීපයේ නිතර හිඳ තෙල් සිඳෙනවිට තෙල් දමයි. වැටිය ගෙවීයන විට තව වැටියක් දමයි යනුයි.
සෙසු පදයන්ගේ අර්ථ සමග උපමා සන්සන්දනය මුලින් පැවසූ සූත්‍රය සමග ගලපා දතයුතුය.
තෙවන සූත්‍රයයි.
4. දුතිය සංයොජන සූත්‍ර වර්ණනාව
සිවුවන සූත්‍රයේ - පළමුව උපමාව පවසා, පසුව අර්ථය දක්වන ලදී. ඉතිරි පද අර්ථ පළමු සූත්‍රයේ මෙනි.
සිවුවන සූත්‍රයයි.
5. මහාරුක්ඛ සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයේ “උද්ධං ඔජං අභිහරන්ති” යනු පඨවි රසය ද ආපෝ රසය ද උඩට ගෙනයයි. ඕජාවෙන් (සාරයෙන්) නැගුණු බැවින් රියන් සතක් උසැති ගසේ අංකුර අග් හි බින්දු බින්දු මෙන් වී සාරය පිහිටයි. මෙහි උපමා සන්සන්දනය මෙසේය. මහගස මෙන් ත්‍රෛභූමික සංසාරික පැවැත්ම දතයුතුයි. ගසේ මුල් මෙන් සවැදෑරුම් ආයතන දතයුතුයි. මුල්වලින් සාරය උඩට නැගීමෙන්, සදොරින් ක්‍රියාවන් නැගීමත්, ඕජාවෙන් මනාව වැඩුණු මහගසෙහි පැවතීම මෙන් සත්ත්වයාගේ සංසාරික පැවැත්ම ආශ්‍රිත වූ පුහුදුන් පුද්ගලයා සදොරින් කර්ම රැස්කිරීම නිසා භවයෙන් භවයට යමින් දීර්ඝ සංසාරයේ සැරිසැරීමත් දතයුතුයි.
“කුද්දාල පිටකං” යනු උදැල්ලක් ද කූඩයක් ද යනුයි. “ඛණ්ඩා ඛණ්ඩිකං ජිනෙදය්‍ය” යනු කුඩා-මහත් වශයෙන් කඩ කරමින් සිඳින්නේය යනුයි. මේ දැක් කෙරුණේ උපමා සන්සන්දනය මෙසේ දතයුතුයි.
මෙහි මහා වෘක්ෂය මෙන් සත්ත්වයාගේ සංසාරික වූ ත්‍රෛභූමික පැවැත්ම දතයුතුයි. ගස සිඳීමට කැමති පුරුෂයා මෙන් යෝගාවචරයා ද උදැල්ල මෙන් ප්‍රඥාව ද කූඩය මෙන් සමාධිය ද ගස සිඳීමට උපකාර වන පොරව මෙන් සිහිනුවණ ද දතයුතුයි. ගසේ මුල සිඳි අවස්ථාව මෙන් යෝගාවචරයා ආර්යයන් වෙතින් කමටහන් ගෙන සිහිකරන අවස්ථාවේ ඇතිවන ප්‍රඥාව දතයුතුයි. කඩකඩව සිඳින කාලය (අවස්ථාව) මෙන් සංක්‍ෂිප්ත වශයෙන් සිවුමහාභූත සිහිකිරීමේ අවස්ථාව දතයුතුයි. ගස පැලීම මෙන් සතලිස් දෙකක් වූ කොට්ඨාශයන්හි පැතිරවූ මෙනෙහි කිරීම දතයුතුයි. රුක කැබලි කැබලි බවට පත්කරන අවස්ථාව මෙන් උපාදාය රූපයේ මෙන් ම රූපස්කන්ධ ආරම්මණයේ ද විඤඤාණයේ ද යන ලෙස නාමරූප ධර්ම විමසීම දතයුතුයි. මුල් සිඳ දැමීම මෙන් ඒ නාමරූපයන්ගේ ප්‍රත්‍ය පරික්ෂා කිරීම දතයුතුයි. මුල් සිඳ අව්වේ හා සුළගේ දමා වේලා, ගින්නේ දවන අවස්ථාව මෙන් අනුපිළිවෙලින් විදසුන් වඩා එක් සුදුසු කමටහනක් ලැබ, එය ප්‍රකටව එළඹ සිටි කල්හි, එක් අසුනක හිඳ ශ්‍රමණ ධර්ම කරන්නාගේ රහත් ඵලයට පත්වීමේ අවස්ථාව දතයුතුයි. හළු කිරීම මෙන් රහත්බවට පත්වූ දිනයේ සිට පිරිනිවන් නොපා සිටින රහතන් වහන්සේන්ගේ ජීවිතාවසානය දක්වා සිටින අවස්ථාව දතයුතුයි. මහ සුළඟෙහි එම හළු පොළා හැරීම, ගඟෙහි පාකර හැරීම මෙන් තමාගේ යැයි උපාදාන කරත් ස්කන්ධ බිඳීයෑමෙන් අනුපදිශේෂ වූ නිර්වාණ ධාතුවෙන් පිරිනිවුණු රහතන් වහන්සේගේ, සංසාරික පැවැත්ම-සංසඳීම, නැතිව යෑම දැනගත යුතුය.