4. දුතිය සංයොජන සූත්ර වර්ණනාව
සිවුවන සූත්රයේ - පළමුව උපමාව පවසා, පසුව අර්ථය දක්වන ලදී. ඉතිරි පද අර්ථ පළමු සූත්රයේ මෙනි.
සිවුවන සූත්රයයි.
5. මහාරුක්ඛ සූත්ර වර්ණනාව
පස්වන සූත්රයේ “උද්ධං ඔජං අභිහරන්ති” යනු පඨවි රසය ද ආපෝ රසය ද උඩට ගෙනයයි. ඕජාවෙන් (සාරයෙන්) නැගුණු බැවින් රියන් සතක් උසැති ගසේ අංකුර අග් හි බින්දු බින්දු මෙන් වී සාරය පිහිටයි. මෙහි උපමා සන්සන්දනය මෙසේය. මහගස මෙන් ත්රෛභූමික සංසාරික පැවැත්ම දතයුතුයි. ගසේ මුල් මෙන් සවැදෑරුම් ආයතන දතයුතුයි. මුල්වලින් සාරය උඩට නැගීමෙන්, සදොරින් ක්රියාවන් නැගීමත්, ඕජාවෙන් මනාව වැඩුණු මහගසෙහි පැවතීම මෙන් සත්ත්වයාගේ සංසාරික පැවැත්ම ආශ්රිත වූ පුහුදුන් පුද්ගලයා සදොරින් කර්ම රැස්කිරීම නිසා භවයෙන් භවයට යමින් දීර්ඝ සංසාරයේ සැරිසැරීමත් දතයුතුයි.
“කුද්දාල පිටකං” යනු උදැල්ලක් ද කූඩයක් ද යනුයි. “ඛණ්ඩා ඛණ්ඩිකං ජිනෙදය්ය” යනු කුඩා-මහත් වශයෙන් කඩ කරමින් සිඳින්නේය යනුයි. මේ දැක් කෙරුණේ උපමා සන්සන්දනය මෙසේ දතයුතුයි.
මෙහි මහා වෘක්ෂය මෙන් සත්ත්වයාගේ සංසාරික වූ ත්රෛභූමික පැවැත්ම දතයුතුයි. ගස සිඳීමට කැමති පුරුෂයා මෙන් යෝගාවචරයා ද උදැල්ල මෙන් ප්රඥාව ද කූඩය මෙන් සමාධිය ද ගස සිඳීමට උපකාර වන පොරව මෙන් සිහිනුවණ ද දතයුතුයි. ගසේ මුල සිඳි අවස්ථාව මෙන් යෝගාවචරයා ආර්යයන් වෙතින් කමටහන් ගෙන සිහිකරන අවස්ථාවේ ඇතිවන ප්රඥාව දතයුතුයි. කඩකඩව සිඳින කාලය (අවස්ථාව) මෙන් සංක්ෂිප්ත වශයෙන් සිවුමහාභූත සිහිකිරීමේ අවස්ථාව දතයුතුයි. ගස පැලීම මෙන් සතලිස් දෙකක් වූ කොට්ඨාශයන්හි පැතිරවූ මෙනෙහි කිරීම දතයුතුයි. රුක කැබලි කැබලි බවට පත්කරන අවස්ථාව මෙන් උපාදාය රූපයේ මෙන් ම රූපස්කන්ධ ආරම්මණයේ ද විඤඤාණයේ ද යන ලෙස නාමරූප ධර්ම විමසීම දතයුතුයි. මුල් සිඳ දැමීම මෙන් ඒ නාමරූපයන්ගේ ප්රත්ය පරික්ෂා කිරීම දතයුතුයි. මුල් සිඳ අව්වේ හා සුළගේ දමා වේලා, ගින්නේ දවන අවස්ථාව මෙන් අනුපිළිවෙලින් විදසුන් වඩා එක් සුදුසු කමටහනක් ලැබ, එය ප්රකටව එළඹ සිටි කල්හි, එක් අසුනක හිඳ ශ්රමණ ධර්ම කරන්නාගේ රහත් ඵලයට පත්වීමේ අවස්ථාව දතයුතුයි. හළු කිරීම මෙන් රහත්බවට පත්වූ දිනයේ සිට පිරිනිවන් නොපා සිටින රහතන් වහන්සේන්ගේ ජීවිතාවසානය දක්වා සිටින අවස්ථාව දතයුතුයි. මහ සුළඟෙහි එම හළු පොළා හැරීම, ගඟෙහි පාකර හැරීම මෙන් තමාගේ යැයි උපාදාන කරත් ස්කන්ධ බිඳීයෑමෙන් අනුපදිශේෂ වූ නිර්වාණ ධාතුවෙන් පිරිනිවුණු රහතන් වහන්සේගේ, සංසාරික පැවැත්ම-සංසඳීම, නැතිව යෑම දැනගත යුතුය.
පස්වන සූත්රය යි.
6. දුතිය මහාරුක්ඛ සූත්ර වර්ණනාව
සයවන සූත්රයේ ද පළමුව උපමාව පවසා, පසුව දහම් කරුණ පවසන ලදී. ඉහත සූත්රයට වඩා මෙම සූත්රයේ ඇති වෙනස වනුයේ එය පමණි.
සයවන සූත්රයයි.
7. තරුණරුක්ඛ සූත්ර වර්ණනාව
සත්වන සූත්රයේ “තරුණො” යනු මල් හා ඵල හටනොගත් යනුයි. “පලිසන්ථය්ය” යනු සෝදාහරින්නේය. “පංසුං දදෙය්ය” යනු තද -රළු පස් ඉවත්කර මුදු ගොම කුඩු මිශ්ර වූ සිනිඳු පස් දමන්ය. “වුද්ධිං” අභිවෘද්ධියට පැමිණ. ඵලහටගන්නා ගස්වල ඵල ද මල් හටගන්නා ගස්වල මල් ද හටගනේය. මෙහි එන උපමා සන්සන්දනය මෙසේය. තරුණ ගස මෙන් ත්රෛභූමික වූ සංසාරික පැවැත්ම දතයුතුයි. ගසට සත්කාර කරන පුරුෂයා මෙන් සංසාරික පැවැත්මෙහි නියැලී සිටින පුහුදුන් පුද්ගලයා දතයුතුයි. මුල් ශුද්ධකිරීම් ආදිය මෙන් තිදොරින් කුසලාකුසල කර්ම රැස්කිරිම දතයුතුයි. ගසේ වර්ධනය මෙම හේතුන් නිසා සිදුවීම මෙන් පුහුදුන් පුද්ගලයා භවයෙන් භවයට යමින් සසර සැරිසැරීම දතයුතුයි. සසර නැවැත්ම, එම ගසේ විනාශය මෙන් දතයුතුයි.
සත්වන සූත්රයයි.
8-9. නාමරූප ආදි සූත්ර වර්ණනා
අටවන හා නවවන සූත්ර දෙකෙහි අර්ථ ඉතා ප්රකටය.
10. නිදාන පටිච්චසමුප්පාද සූත්ර වර්ණනාව
දසවන සූත්රයේ “කුරුසු විහරති” යනු “කුරු” යන මෙසේ බහුවචන වශයෙන් ලබන ලද ව්යවහාර ඇති ජනපදයේ වාසය කරයි. “කම්මාස්සදම්මං නාම කුරුනං නිගමො” යනු කම්මාසදම්ම නම් වූ කුරු දේශයේ නියම්ගමකි. “එය ගොදුරුගම කරගෙන” යන අර්ථයි. “ආයස්මා” යන මෙය ප්රිය වදනකි. ගරු වදනකි. “ආනන්දෝ” යනු ඒ ආනන්ද තෙරුන්ගේ නාමයයි. “එකමන්තං නිසීදි” යනු සයක් වූ හිඳීම්-හිඳගැනීම් දෝෂයන්ගෙන් තොරව, දකුණු දණමඩලට (බුදුරදුන්ගේ) අභිමුඛ වූ තැන්හි, සවණක් ඝන බුද්ධරශ්මීන්ගේ ඇතුලට පිවිස, ප්රසන්න වූ ලාක්ෂා රසයකට බැසගන්නාක් මෙන් ද රන්පැහැ වස්ත්රයක් පොරවා ගන්නාක් මෙන් ද රතු උපුල් වියනක් මැදට පිවිසෙන්නාක් මෙන් ද ධර්ම භාණ්ඩාගාරික ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ හිඳගත්හ. එනිසා “එකත්පසෙක සිටියේය”යි කියන ලදී.
කුමන වේලාවක කවර කරුණකින් මේ තෙරුන් වහන්සේ, භාග්යවත් බුදුපියාණන් වහන්සේ වෙත එළඹි සේක්ද? සවස් වේලාවෙහි ප්රත්යයන්ගේ ආකාර දැක්වෙන ප්රශ්නයක් විමසීම සඳහායි. එදින අනඳ තෙරණුවෝ කුල සංග්රහය පිණිස, ගෙදරක් ගෙදරක් පාසා දහසක් බඩු පොදි බහා තබන්නාක් මෙන් කම්මාස්සදම්ම නියම්ගමෙහි ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිර, සවස් යාමයේ පිණ්ඩපාතයෙන් වැළකුණු සේක. ශාස්තෘන් වහන්සේට වත් දක්වා, ශාස්තෘන් වහන්සේ ගඳකිළියට වැඩම කළ කල්හි උන්වහන්සේට වැඳ, තමා දහවල ගතකරන තැනට ගොස් අන්තේවාසිකයන්ට වත් දක්වා, නික්මුණු කල්හි දවල් වසන තැන හැමද සම්කඩ පනවා දියබඳුනින් දියගෙන, අත්පා සීතල කරගෙන පලඟකට නැගී හුන් සේක. එසේ හිඳිමින් සෝවාන් ඵල සමවතට සමවැද අනතුරුව පිරිසිඳ දැක්වූ කාල වශයෙන් සමවතින් නැගිට, ප්රතීත්ය සමුපපාදයෙහි සිත පිහිට වූ සේක. උන්වහන්සේ අවිද්යා ප්රත්යයෙන් සංස්කාර ඇතිවේ යනාදී ලෙස මුල සිට අගටත්, අග සිට මුලටත් උභයාන්තයේ සිට මැදටත්, මැදසිට අන්ත දෙකටත් වශයෙන් තෙවරක් ම දොළොස් පදයක් ඇති ප්රතීත්ය සමුප්පාදය සිහිපත් කළ සේක. මෙසේ සිහිපත් කරන උන්වහන්සේට ප්රතීත්ය සමුප්පාද ධර්මය මැනවින් ප්රකටවූ සේක. උඩුකුරු කළ කුන්තායුධයක් මෙනි. ඉක්බිති උන්වහන්සේට මෙසේ වැටහුනි. “මේ ප්රතීත්ය සමුත්පාද ධර්මය සියලු බුදුවරුන් විසින් “ඉතා ගැඹුරුය. අවබෝධ කරගැනීම අපහසුය. දුරවබෝධය”යැයි වදාරන ලදහ. අල්ප වූ දැනීම් ඇති ශ්රාවකයකු වූ මාහට මෙය උඩුකුරු වී අතිශය ප්රකටව වැටහුනේය. මෙසේ උඩුකුරුව මැනවින් වැටහෙනුයේ මාහට පමණක්ද? අන්යයන්ට නොවැටහේද?”යි සිතා තමාට වැටහුණු මෙම කාරණය ශාස්තෘන් වහන්සේට දන්වන්නෙමි යි හුනස්නින් නැගිට, සම්කඩ ගසාදමා, එයත් රැගෙන සවස් වේලෙහි භාග්යවතුන් වහන්සේ වෙත එළඹි සේක. එනිසා කියන ලදී. “සවස් වේලෙහි ප්රතීත්ය සමුත්පාදය පිළිබඳව ප්රශ්නයක් විමසා දැනගැනීමට බුදුරදුන්ගේ සමීපයට වැඩි සේක” යනුවෙන්.