2. උපාදාන සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රයේ “උපාදානීයෙසු” යනු ත්‍රෛභූමික ධර්ම වූ ප්‍රත්‍යයන් කෙරෙහි පවතින උපාදාන සතරෙහිය. “අස්සාදානුපස්සිනො” යනු ආශ්වාදය අනුව බලන්නාටයි. “තත්‍ර” යනු ඒ ගිනිකඳෙහිය. “තදාහාරො” යනු ඊට ප්‍රත්‍ය වේ. හේතුවේ යනුයි. “තදාපාදානො” යනු පෙර පදයට ම සමාන පදයකි. “එවමෙව ඛො” යන මෙහි ගිනිකඳ මෙන් ත්‍රිවිධ භවයන් දතයුතුය. ත්‍රෛභූමික සසර පැවැත්ම (ඊට සමානය. ගිනිදල්වන පුරුෂයා මෙන් සසර පැවැත්ම ඇසුරු කරගත් බාල පුහුදුන් පුද්ගලයා දතයුතුයි. ආශ්වාදය අනුව බලමින් පුහුදුන් පුද්ගලයා තන්හාදී ක්ලේශ ධර්ම ඉන්ද්‍රිය සයෙන්ම රැස්කිරිම, ගින්නට වේළුණු තණ-ගොම ආදිය දැමීම මෙනි. තණ-ගොම ආදිය ක්ෂය වූ කල්හි නැවත නැවත ඒවා දැමීමෙන් ගිනිකඳ වැඩෙන්නාක් මෙන් බාල පුහුදුන් පුද්ගලයාගේ කර්ම රැස්කිරීම නිසා ඉපිද-මැරෙමින් භවයෙන් භවයට පවතින සංසාරික වූ දුක ඇතිවේ. හටගනියි.
“න කාලෙන කාලං සුක්ඛානි චෙව තිණානි පක්ඛිපෙය්‍ය” යන මෙහි කිසියම් යහපත කැමති අයෙක් මෙසේ කියයි. “පින්වතුනි! නැගිට-සොයමින් වියළි තණ -දර ආදිය මිටි වශයෙන් බැඳ,වියළි ගොම ආදිය ද කූඩවලට පුරවාගෙන, මෙසේ ගිනි දල්වනුයේ කුමටද? මෙනිසා නුඹට ඇතිවන යහපතක් තිබේද? මින් ප්‍රයෝජනයක් තිබේද?” “පින්වත! එවැන්නක් නැත. මෙය අපගේ පරපුරින් පැමිණියකි. මෙයින් මට සිදුවනුයේ අවැඩක්ම ය. කවර යහපතක් ලැබේද? මම මේ ගිනිදැල්වීමෙහිම යෙදී සිටීම නිසා නෑමට, කෑමට, නිදාගැනීමට අවසරයක් නොලබමි”යි ගිනිදල්වන්නා පවසයි. එවිට යහපත කැමැත්තා “පින්වත! එසේනම්, නුඹ මේ නිරර්ථක වූ ගිනිදැල්වීම කුමකට කරනේන්ද? එන්න. නුඹ මේ රැස්කර ගෙනා තණ ආදිය මෙහිම දැමූ විට ඒවා ඉබේම දැවෙන්නේය. නුඹ මේ ගිනි ඇවිලීම අත්හැර, අසුවල් තැන ඇති සිසිල් දිය පොකුණින් නා, මල් ගඳ විළවුන් දරාගෙන, සැරසී මැනවින් හැඳ පොරවාගෙන, අගනා පාවහන් යුවලක් දමාගෙන නගරයට පිවිස, උතුම් පහයකට නැගී, වා කවුළු හැරදමා මහපාර දෙස සන්සුන්ව, සැපයෙන් යුක්තව විමසා බලමින් හිඳින්න. නුඹ එසේ සැපෙන් සිටි කල්හි මේ ගින්නට දැමූ තණ ආදී සියලු ද්‍රව්‍ය තමාම දැවී අප්‍රඤ්ප්ති බවට පත්වන්නේය. ක්‍ෂය වී යන්නේය.” ගිනි දල්වන්නා මේ අවවාදය අනුව කටයුතු කරයි නම්, පහයේ හුන් ඔහුට ගින්න උපාදාන වශයෙන් නොගැනීම නිසා අනියම් බවට (අප්‍රඥප්ති) පත්වන්ය. මේ කාරණය දැක්වීම සඳහා “න කාලෙන කාලං” යනාදිය පැවසූ ස්ක.
“එවමෙව ඛො” යනු මෙම සූත්‍රයේ උපමා සන්සන්දනයයි. සතළිසක් පමණ දර ආදියෙන් දැල්වෙන මහ ගිනිකඳ මෙන්, ත්‍රෛභූමික වූ සසර පැවැත්ම දැකිය යුතුය. ගිනිදල්වන පුරුෂයා මෙන්, සසර පැවැත්ම ආශ්‍රය කරගත් යෝගාවචරයා ද යහපත කැමති පුරුෂයා මෙන් සම්මා සම්බුදු රජාණන් වහන්සේද, ඒ පුරුෂයා විසින් දුන් අවවාද මෙන් තථාගතයන් වහන්සේ විසින් “මහණ මෙහි එව! ත්‍රෛභූමික ධර්මයන්හි කළකිරෙව! මේ අයුරින් ක්‍රියාකොට සසර දුකින් මිදෙව!”යි ඔහුට ත්‍රෛභූමික ධර්මයන්හි කළකිරවන කමටහන් දෙසූ අවස්ථාව ද දතයුතුයි. ඒ ගිනි පිදූ පුරුෂයා එම අවවාද අනුවම ක්‍රියාකර පහයේ සුවසේ සිටි අවස්ථාව මෙන් යෝගාවචරයා සුගතයන් වහන්සේන්ගේ අවවාද පිළිගෙන ශුන්‍යාගාරයට පිවිස, ත්‍රෛභූමික ධර්මයන්හි විදසුන් වඩා අනුක්‍රමයෙන් සුදුසු වූ ආහාර-පානාදිය ලැබ, එක අසුනකම හිඳ ලැබූ රහස්ඵලය ඇති අවස්ථාව දතයුතුය. ඒ ගිනිපිදූ පුරුෂයා -නා-සුවඳ විලවුන් දරාගෙන පිරිසිදු-අලංකාර වූ කයින්, ඒ පහයේ සිටි අවස්ථාව මෙන් - යෝගාවචරයා, ආර්යමාර්ග නම් පොකුණෙහි මාර්ග ඤාණ නම් දියෙන් මැනවින් නා පිරිසිදු වී කෙලෙස් දූවිලි සෝදාහැර, ලැජ්ජා-බිය නමැති සළුව පොරවාගෙන, ශීලය නම් සුවඳවිළවුන් තවරාගෙන, රහත්බව නම් ආභරණයන්ගෙන් ආත්මභාවය අලංකාර කරගෙන, විමුක්තිය නම් මල්දම පැළඳගෙන, ඍද්ධිපාද නම් පාවහන්වලට නැගී නිවන නම් පුරයට පිවිස, පහයට නැගී සතිපට්ඨාන නම් බබළන මහා වීථිය දෙස බලාගෙන, නිර්වාණ අරමුණෙහි ඵල සමාපත්තියට පැමිණ සිටි කාලය හෙවත් අවස්ථාව දතයුතුයි. එහි හුන් පුරුෂයාට තෘෂ්ණාදිය ක්‍ෂය වී යෑමෙන් “ගිනිකඳ නැත” යන ප්‍රඥප්තියට පැමිණි අවස්ථාව මෙන්, රහතන් වහන්සේ තම ආයුෂ අවසන් වන තෙක් සිට තමන්ගේ යැයි ගත් ස්කන්ධයන්ගේ බිඳීයෑමෙන්-අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවි උතුමහුගේ සසර පැවැත්ම නම් වූ මහා චක්‍රය සන්සිඳුනේය යැයි දතයුතුයි.
දෙවන සුත්‍රයයි.
3. සංයොජන සූත්‍ර වර්ණනාව
තෙවැනි සූත්‍රයේ “යොසංජනියෙසු” යනු දස සංයෝජන ධර්මයන්හිය. “ඣායෙයිය්‍යාති” යනු දල්වන්නේය යනුයි. “තෙලං ආසිඤ්චෙය්‍ය වට්ටිං’ උපහරෙය්‍ය” යනු පහන ආරක්ෂා කරගැනීමට තෙල් බඳුනක් ද මහත් වූ පහන්තිර ද ගෙන සමීපයේ නිතර හිඳ තෙල් සිඳෙනවිට තෙල් දමයි. වැටිය ගෙවීයන විට තව වැටියක් දමයි යනුයි.
සෙසු පදයන්ගේ අර්ථ සමග උපමා සන්සන්දනය මුලින් පැවසූ සූත්‍රය සමග ගලපා දතයුතුය.