2. කළාර සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රයේ “කළාර ඛත්තියො” යනු ඒ තෙරුන් වහන්සේගේ නමයි. උන්වහන්සේගේ දත් කලුපාටය. විෂම වූ පිහිටීම් ඇත. එනිසා, “කළාරො” යි අමතයි. “හීනායාවත්තො” යනු හීනබවට, ගිහිබවට පත්වූ, යහපත නැවතුණු යනුයි. “න අස්සමලත්ථා” යනු සැනසිල්ලක්, උපකාරයක්, පිහිටක් නොලැබුවේමය. ත්‍රිවිධ මාර්ගය ද ත්‍රිවිධ ඵලයන් ද ඒකාන්තයෙන් නොලැබුවේය යන්න දක්වයි. “ඉදින් ඒ මගඵල ලැබුවේ නම් උන්වහන්සේ ශික්ෂා ප්‍රතික්ෂේප කර, ගිහිබවට නො පැමිණේන්නේ ය” මේ තෙරුන්ගේ අදහසයි. “නඛ්වාහං ආවුසො” යනු “ඇවැත්නි! මම සැනසිල්ලකට පත්වීමි. නොපත්වූයේ යැයි සැක නොකරමි” යන ලෙස තෙරුන් වහන්සේට ශ්‍රාවක පාරමී ඤාණය පිහිටාධාර වේ. එනිසා උන්වහන්සේ සැක නොකරති. “ආයතිං පනාවුසො” යනු අනාගත ප්‍රතිසන්ධියයි. නුඹවහන්සේගේ මතු පිළිසිඳ ගැනීම ගලවා දැමුවේ ද? නොගැලවූයේ ද? යි යනුවෙන් රහත් බවට පත්වීම විචාරයි. “නඛ්වාහං ආවුසො! විචිකිච්ඡාමි” යන මෙයින් තෙරුන් වහන්සේ එහි සැක රහිත බව දක්වයි.
“යෙන භගවා තෙනුපසංකමි” යනු “මේ යහපත් කාරණය භාග්‍යවතුන් වහන්සේට දන්වන්නෙමි” යි සමීපයට පැමිණියේය. “අඤ්ඤා බ්‍යාකතා” යනු රහත්බව ප්‍රකාශකරන ලදී. “ඛීණා ජාති” යනුවෙන් තෙරුන් වහන්සේ නොපැවසූහ. මොහු වනාහි තෙරුන්වහන්සේ වෙත සතුටු වූයේ, ප්‍රසන්න වූයේ, මෙසේ පදබ්‍යඤ්ජන ආරෝපණය කර පැවසීය. “අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසී” - එය අසා ශාස්තෲන් වහන්සේ මෙසේ සිතූහ. සැරියුත් තෙරුන් වහන්සේ වනාහි නුවණැත්තාහ. ගැඹුරු ප්‍රඥා ඇතියහ. උන්වහන්සේ කිසිහේතුවක් නිසා මෙසේ පිළිතුරු නොදෙති. මේ ප්‍රශ්නය ඉතා සංක්ෂිප්ත පිළිතුරක් අපේක්ෂිත වූවක් විය යුතුයි. “කැඳවා උන්වහන්සේ ලවාම මේ ප්‍රශ්නය විමසන්නෙමි”යි එක්තරා භික්ෂුවක් ඇමතූ සේක.
“සචෙ තං සාරිපුත්ත!” මෙහි භාග්‍යවතුන් වහන්සේ, “මුන් වහන්සේ තමාගේ ධර්මතාවක් බැවින් රහත්ඵලය නොපවසන්නේය. මේ ප්‍රශ්නය විමසන්නෙමි. එයට පිළිතුරු දෙමින් ම රහත්ඵලය විස්තර කරන්නේය”යි යනුවෙන් සිතා රහත්ඵලය විස්තර කරවීමට ම මෙසේ විචාළ සේක. “යන්නිදානාවුසො! ජාති” යනු “ඇවැත්නි! මේ ජාතිය නම් යම් ප්‍රත්‍යයකින්, ඒ ප්‍රත්‍යයාගේ ගෙවීයාමෙන් ක්ෂය වූ කල්හි ජාති ප්‍රත්‍යයෙහි ‘ජාති’ නම් වූ ඵලය ක්ෂීණ වූයේ යැයි දන්නා ලදී. මෙහිදී ද සැරියුත් තෙරණුවෝ ප්‍රශ්නය පිළිබඳ සැකයක් නැතිමුත් අදහසෙහි සැක කරයි. උන්වහන්සේට මෙසේ සිතුණි. රහත්ඵලය නම් තණ්හාව ක්ෂය වීමයි. උපාදානය, භවය, ප්‍රත්‍යය යනාදිය ක්ෂය වීමයි. කෙලෙස් ක්ෂය වීමයි. මේ අයුරින් බොහෝ කරුණුවලින් රහත්ඵලය විස්තර කළ හැකිය. කෙසේ පිළිතුරු දුන්විට භාග්‍යවතුන් වහන්සේන්ගේ අදහස ගැනීමට හැකිවේද?
මේ අයුරින් පිළිතුරු දැන සිටියත් අදහසෙහි සැක කරන සේක්, ප්‍රශ්නය තබා ම ප්‍රත්‍යාකාර වශයෙන් පිළිතුර විස්තර කළ සේක. ශාස්තෘන් වහන්සේ ද ප්‍රත්‍යකාර වශයෙන්ම විස්තර කරවනු කැමති වූ සේක. එනිසා මෙසේ විස්තර කරන තෙරුන්ගේ අදහස ගත් සේක. එකෙණෙහිම තෙරුන් වහන්සේ “මවිසින් ශාස්තෘන් වහන්ගේ අදහස ගන්නා ලදැ”යි දැනගත් සේක. ඉක්බිති උන්වහන්සේට න්‍යාය සිය දහස් ගණනින් පැන-විසඳුම් මැනවින් වැටහුණු සේක. යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ තවත් ප්‍රශ්නයක් විචාරන්නේ ද එනිසා මේ පිළිතුර පිළිබඳව සතුටුවීම නොකළ බව දතයුතුයි.
“කථං ජානතො පන තෙ” යන මේ ප්‍රශ්නය කුමක් නිසා ඇරඹූ සේක් ද? සිය විෂයෙහි සිංහනාද ඇතිකරවීම සඳහායි. තෙරුන් වහන්සේ වනාහී ඌරන් හැරූ ලෙන් දොර හෙවත් සූකරඛත ලෙනේ දී දීඝනඛ නම් පිරිවැජියාට වේදනා පරිග්‍රහ සූත්‍රය දේශනා කරන ලබන භාග්‍යවතුන් වහන්සේට විජිනිපත ගෙන පවන් සළමින් සිටිසේක්, ත්‍රිවිධ වේදනාවන් සලකා බලා ශ්‍රාවක පාරමී ඤාණයෙන් අවබෝධ කළ සේක. එනිසා මෙය උන්වහන්සේට ගෝචර වූ විෂයකි. “මෙම තම විෂයෙහි සිට සිංහනාද කරන්නේය” යන මේ කාරණය සඳහා ශාස්තෘන් වහන්සේ මේ ප්‍රශ්නය විමසූ සේක. “අනිච්චා” යනු තිබී-නැතිවීම් අර්ථයෙන් අනිත්‍යය.“යදනිච්චං තං දුක්ඛං” යන මෙහි “කෙසේ වුවත් සැප වේදනාව පැවතීම් වශයෙන් සැපයකි. වෙනස්වීම් වශයෙන් දුකකි. දුක් වේදනාව පැවතීම් වශයෙන් දුකකි. වෙනස්වීම් වශයෙන් සැපයකි. අදුක්ඛමසුඛ වේදනාව දැනීම සුවයකි. නොදැනීම දුකකි.” යනාදී ලෙස වෙනස්වීම කෙළවර කරගත් සියල්ල “දුක්ඛ” නම් වේ. “විදිතං” යනු මේ වේදනාත්‍රයම “දුක” යැයි දන්නේ ද එහෙයින් මාහට ඒ තණ්හාව නැතැ”යි දක්වයි.
“සාධු සාධූ” යන තෙරුන්ගේ වේදනාව බෙදා දැක්වීමෙහි, එම ඥානයෙහි සතුටුවීමයි. තෙරුන්වහන්සේ වේදනා එකකි හෝ දෙකකි, තුනකි, සතරකි ආදී වශයෙන් නොපවසා කියන ලද ක්‍රමයෙන් වේදනා තුනකැයි බෙදා දැක්වීම දැනගත් සේක. එනිසා උන්වහන්සේට, භාග්‍යවතුන් වහන්සේ සිය සතුට ප්‍රකාශකරන සේක් මෙසේ වදාළහ. “දුක්ඛස්මිං” මෙහි භාග්‍යවතුන් වහන්සේ මෙම අදහසින් මෙසේ වදාළහ. “සාරිපුත්‍රය! යම්හෙයකින් නුඹ විසින් මේ කාරණයෙන් වේදනා කෙරෙහි තණ්හාව නොවැටහේ යැයි පිළිතුරු දෙන ලද්දේ, ත්‍රිවිධ වේදනාව යැයි බෙදා දක්වන තැනැත්තා විසින් එය අධික ප්‍රමාණයෙන් කරන ලදී. “එය දුක” යැයි විස්තර කරන්නා විසින් එය මැනවින් විස්තර කරන ලද්දේ වේ. යම්කිසි විඳීමක් වේ නම් එය දුකකැයි දැනගත් පමණින් ම වේදනා කෙරෙහි තණ්හාව නොපිහිටයි.
“කථං විමොක්ඛා” යනු “කවර විමෝක්‍ෂයක්ද?” “කවර විමෝක්‍ෂයකින් නුඹ විසින් රහත්බව ප්‍රකාශ කරන ලදද?. යන අර්ථයි. “අජ්ඣත්ත විමොක්ඛා” යනු “ආධ්‍යාත්මික විමෝක්‍ෂයෙන්” - “ආධ්‍යාත්මික සංස්කාරයන් පරිග්‍රහණය කරගෙන පැමිණි රහත්බව ඇති” යන අර්ථයි.