“කථං ජානතො පන තෙ” යන මේ ප්‍රශ්නය කුමක් නිසා ඇරඹූ සේක් ද? සිය විෂයෙහි සිංහනාද ඇතිකරවීම සඳහායි. තෙරුන් වහන්සේ වනාහී ඌරන් හැරූ ලෙන් දොර හෙවත් සූකරඛත ලෙනේ දී දීඝනඛ නම් පිරිවැජියාට වේදනා පරිග්‍රහ සූත්‍රය දේශනා කරන ලබන භාග්‍යවතුන් වහන්සේට විජිනිපත ගෙන පවන් සළමින් සිටිසේක්, ත්‍රිවිධ වේදනාවන් සලකා බලා ශ්‍රාවක පාරමී ඤාණයෙන් අවබෝධ කළ සේක. එනිසා මෙය උන්වහන්සේට ගෝචර වූ විෂයකි. “මෙම තම විෂයෙහි සිට සිංහනාද කරන්නේය” යන මේ කාරණය සඳහා ශාස්තෘන් වහන්සේ මේ ප්‍රශ්නය විමසූ සේක. “අනිච්චා” යනු තිබී-නැතිවීම් අර්ථයෙන් අනිත්‍යය.“යදනිච්චං තං දුක්ඛං” යන මෙහි “කෙසේ වුවත් සැප වේදනාව පැවතීම් වශයෙන් සැපයකි. වෙනස්වීම් වශයෙන් දුකකි. දුක් වේදනාව පැවතීම් වශයෙන් දුකකි. වෙනස්වීම් වශයෙන් සැපයකි. අදුක්ඛමසුඛ වේදනාව දැනීම සුවයකි. නොදැනීම දුකකි.” යනාදී ලෙස වෙනස්වීම කෙළවර කරගත් සියල්ල “දුක්ඛ” නම් වේ. “විදිතං” යනු මේ වේදනාත්‍රයම “දුක” යැයි දන්නේ ද එහෙයින් මාහට ඒ තණ්හාව නැතැ”යි දක්වයි.
“සාධු සාධූ” යන තෙරුන්ගේ වේදනාව බෙදා දැක්වීමෙහි, එම ඥානයෙහි සතුටුවීමයි. තෙරුන්වහන්සේ වේදනා එකකි හෝ දෙකකි, තුනකි, සතරකි ආදී වශයෙන් නොපවසා කියන ලද ක්‍රමයෙන් වේදනා තුනකැයි බෙදා දැක්වීම දැනගත් සේක. එනිසා උන්වහන්සේට, භාග්‍යවතුන් වහන්සේ සිය සතුට ප්‍රකාශකරන සේක් මෙසේ වදාළහ. “දුක්ඛස්මිං” මෙහි භාග්‍යවතුන් වහන්සේ මෙම අදහසින් මෙසේ වදාළහ. “සාරිපුත්‍රය! යම්හෙයකින් නුඹ විසින් මේ කාරණයෙන් වේදනා කෙරෙහි තණ්හාව නොවැටහේ යැයි පිළිතුරු දෙන ලද්දේ, ත්‍රිවිධ වේදනාව යැයි බෙදා දක්වන තැනැත්තා විසින් එය අධික ප්‍රමාණයෙන් කරන ලදී. “එය දුක” යැයි විස්තර කරන්නා විසින් එය මැනවින් විස්තර කරන ලද්දේ වේ. යම්කිසි විඳීමක් වේ නම් එය දුකකැයි දැනගත් පමණින් ම වේදනා කෙරෙහි තණ්හාව නොපිහිටයි.
“කථං විමොක්ඛා” යනු “කවර විමෝක්‍ෂයක්ද?” “කවර විමෝක්‍ෂයකින් නුඹ විසින් රහත්බව ප්‍රකාශ කරන ලදද?. යන අර්ථයි. “අජ්ඣත්ත විමොක්ඛා” යනු “ආධ්‍යාත්මික විමෝක්‍ෂයෙන්” - “ආධ්‍යාත්මික සංස්කාරයන් පරිග්‍රහණය කරගෙන පැමිණි රහත්බව ඇති” යන අර්ථයි.
එහි අධ්‍යාත්මික සුවය සතර වැදෑරුම්ව දතයුතුයි. අධ්‍යාත්මික ධර්මයන්හි අභිනිවේෂණයෙන් අධ්‍යාත්මික ධර්ම නැගී සිටීම, අධ්‍යාත්මික ධර්මයන්හි අභිනිවේෂණයෙන් බාහිර ධර්ම නැගීසිටීම, බාහිර ධර්මයන්හි අභිනිවේෂණයෙන් බාහිර ධර්ම නැගීසිටීම සහ බාහිර ධර්මයන්හි අභිනිවේෂණයෙන් අධ්‍යාත්මික ධර්ම නැගී සිටීම යනුවෙනි. ආධ්‍යාත්මික ධර්ම අභිනිවේෂණය කර බාහිර ධර්මයෝත් බාහිර ධර්ම අභිනිවේෂණය කර අධ්‍යාත්මික ධර්මයෝත් දැකිය යුතුයි. එනිසා ඇතැම් භික්ෂුවක් අධ්‍යාත්මික සංස්කාරයන්හි ප්‍රඥාව බස්වා ඒවා වෙන් වෙන් වශයෙන් දක්වා, බැහැරට බස්වයි. බාහිර වූ ධර්ම මැනවින් පරිග්‍රහණය කර නැවත අධ්‍යාත්මයෙහි බස්වයි. ඔහුට අධ්‍යාත්මික සංස්කාරයන් විමසා බලන කල්හි අර්හත් මාර්ගය නැගී සිටීම වේ. මෙසේ අධ්‍යාත්මික ධර්මයන්හි අභිනිවේෂණයෙන් අධ්‍යාත්මික ධර්ම නැගීසිටීම වේ. කිසිවෙක් අධ්‍යාත්මික සංස්කාරයන්හි ප්‍රඥාව බස්වා, ඒවා වෙන් වෙන් වශයෙන් දක්වා බැහැරට බස්වයි. ඔහුට බාහිර සංස්කාරයන් විමසා බලනවිට අර්හත් මාර්ගය නැගීසිටීම වේ. මෙසේ අධ්‍යාත්මික ධර්මයන්හි අභිනිවේෂණයෙන් බාහිර ධර්මයන්ගේ නැගීසිටීම නම් වේ. ඇතැමෙක් බාහිර සංස්කාර ධර්මයන්හි ප්‍රඥාව බස්වා ඒවා වෙන් වෙන් වශයෙන් දක්වා අධ්‍යාත්මික ධර්මයන්හි බස්වයි. අධ්‍යාත්මික ධර්මයන්ද පරිග්‍රහණය කර, නැවත බාහිර ධර්මයන්හි බස්වයි. ඔහුට බාහිර සංස්කාර ධර්මයන් විමසා බලනවිට අරහත් මාර්ගය නැගීසිටීම වේ. මෙසේ බාහිර ධර්මයන්හි අභිනිවේෂණයෙන් බාහිර ධර්මයන්ගේ නැගීසිටීම වේ. ඇතැමෙක් බාහිර සංස්කාර ධර්මයන්හි ප්‍රඥාව බස්වා ඒවා වෙන් වෙන් වශයෙන් දක්වා අධ්‍යාත්මයෙහි බස්වයි. ඔහුට අධ්‍යාත්මික සංස්කාර ධර්මයන් විමසන කල්හි අරහත් මාර්ගය නැගීසිටීම වේ. මෙසේ බාහිර ධර්මයන්හි අභිනිවේෂණයෙන් අධ්‍යාත්මික ධර්මයගේ නැගීසිටීම වේ. එහි තෙරුන්වහන්සේ අධ්‍යාත්මික සංස්කාරයන් පරිග්‍රහණය කර, ඒවා වෙන් වෙන් වශයෙන් දක්වන කල්හි, “අර්හත් මාර්ගය නැගිට සිටීමෙන් රහත් බවට පත්වූයෙමි”යි දක්වන සේක්, “අජ්ඣත්ත විමොක්ඛාක්වාහං ආවුසො” යනාදිය දෙසූහ.
“සබ්බූපාදානක්ඛයාති” යනු සියලු සිවුවැදෑරුම් වූ උපාදානයන්ගේ ක්ෂයවීමෙන් ය. “තථා සතො විහරාමි” යනු ඊට අනුගත වූ සිහියකින් යුක්තව වාසය කරමි යනුයි. “යථා සතං විහරන්තං” යනු යම් ආකාර වූ සිහියකින් වෙසෙන මාහටයි. “ආසවා නානුස්සවන්ති” යනු ඇසින් රූපයෝ ගලාබසිති. වැගිරෙති. ගලායති. පවතිති. මෙසේ සදොරෙහිම ෂඩ් ආරම්මණයන්හි ගලන ස්වභාව ඇති කාමාශ්‍රවාදී ආශ්‍රවයෝ ගලා නොබසිති. නොවැගිරෙති. නොවැඩෙති. යම් සේ මට ආශ්‍රවයෝ නූපදින්නාක් මෙන් යන අර්ථයයි. “අත්තානඤ්ච නාවජානාමි” යනු තමාට ද අවමන් නොකරමි. මෙයින් අවසාන ප්‍රහාණය කියන ලදී. මෙසේ ඇති කල්හි විශේෂ දැනීම පැහැදුනේ වේ.