10. තෙවැනි චෙතනා සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ - “නති” යනු තණ්හාවයි. ඒ තණ්හාව වනාහී ප්‍රිය රූපාදියෙහි නැමෙන බැවින් ‘නති’ යැයි කියනු ලැබේ. “අගතිගති හොති” යනු පැමිණීමෙහි “ගමන” (ගති) වේ. කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් පැමිණි කල්හි, එළඹ සිටි කල්හි ප්‍රතිසන්ධි වශයෙන් විඥාණයට “යෑම” වේ. “චුතුපපාතො” යනු මෙසේ විඤ්ඤාණය ප්‍රතිසන්ධි විෂයට පැමිණි කල්හි, පැමිණි කල්හි “චුති” යන වචනය යෙදේ. එහි ඉපදීම් සංඛ්‍යාත වූ “උප්පාතො” (ඉපදීම) යන වචනය යෙදේ. ඒ දෙක එකතු වී මේ “චුතූපපාත” යන වචනය සැකසේ නම් වේ. මෙසේ මෙම සූත්‍රයෙහි තණ්හාවට ද (නතියා) අරමුණෙහි විඥානය පැවතීමට ද (අගතිගතියා) අතර එකම සන්ධියක් කියන ලදී.
දසවන සූත්‍රයයි.
සතරවන කළාරඛත්තිය වර්ගය නිමාවිය.
5. ගහපති වර්ගය
1. පඤ්චභයවෙර සූත්‍ර වර්ණනාව
ගහපති වර්ගයේ පළමු සූත්‍රයෙහි “යතො” යනු යම් කලෙකයි. “භයානි වෙරානි” යනු භය, වෛර, චේතනාදියයි. “සොතාපත්තියංගෙහි” යනු දෙවැදෑරුම් සෝවාන් අංගයන්ය. යමක් පූර්වභාග සෝවාන්ඵල ප්‍රතිලාභය පිණිස පවතියි. ඒවා සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම, ධර්මානුධර්ම ප්‍රතිපත්තියම”යැයි පැමිණියේය. ලබන ලද ගුණ ඇතිව සෝවාන් ඵලයට පැමිණ සිටියහුගේ යම් අංගයක් වේනම් එය ද ‘සෝතාපන්නයාගේ අංගය’ යැයි කියයි. බුදුරදුන් කෙරෙහි අචල ප්‍රසාදයක් ඇත්තවුන්ට මේ තවත් වචනයකි. මෙය මෙම සූත්‍රයේ දී අදහස් කරන ලදී. “අරියො” යනු දෝෂ නොමැති බවයි. දෝෂාරෝපණ නොමැති බවයි. “ඤායො” යනු හේතුවකින් හටගත් බව දැන යනුයි. ඨිති ඤාණය ද පටිච්ච සමුප්පාදය ද දැනගත් යනුයි. එහෙයින් කියන ලදී. “ඤායො” යනු පටිච්චසමුප්පාදයයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ද “ඤායො” යැයි කියයි. “පඤ්ඤාය” යනු භවයෙන් භවයට උපන් විදර්ශනා ප්‍රඥාවෙනි. “සුදිට්ඨො හොති” යන භවයෙන් භවයට ඉපිද දැකීම් වශයෙන් මැනවින් දක්නා ලදි යනුයි.
“ඛීණ නිරයො” යනු යනාදියෙහි මතු එහි නූපදින බැවින් “මගේ නිරය ක්ෂය විය” “ඒ මම ක්ෂීණ වූ නිරය ඇත්තෙක්මි.” යනුවෙන් දැනීමයි. මේ ක්‍රමය සෑමතැන ම දතයුතුයි. “සොතාපන්නො” යනු නිවණට යන මාර්ග ශ්‍රෝතසට (දියපහරට) පැමිණියේ යනුයි. “අවිනිපාත ධම්මො” යනු දුක් ඇති තැනට නොවැටෙන ස්වභාව ඇති. “නියතො” යනු පළමු මාර්ගය නම් වූ යහපත් නියමිත පිළිවෙලින් නියත වූ යනුයි. “සම්බෝධි පරායණො” යනු ‘මතු මාර්ගත්‍රය’ නමැති සම්බෝධියයි. “මට පරම වූ උතුම් මාර්ගය ඇත. ඒ මම උතුම් සම්බෝධිය පිහිටකොට ඇත්තෙම් වෙමි” ඒ සම්බෝධිය ඒකාන්තයෙන් විශිෂ්ටාවබෝධය ඇත්තකැයි යන අර්ථයි.
“පාණාතිපාත පච්චයා” යනු ප්‍රාණඝාතාදී කර්ම හේතුවෙනි. “භයං වෙරං” යනු අර්ථ වශයෙන් එකකි. මේ වෛරය දෙපරිද්දකින් වේ. බාහිර හා අධ්‍යාත්මික වශයෙනි. එක් අයෙකු විසින් තව කෙනෙකුගේ පියා මරණ ලදී. ඔහු මෙසේ සිතයි. “මොහු විසින් මගේ පියා මරණ ලදී. මම ද මොහුව මරනෙමි”යි තියුණු ආයුධයක් ගෙන හැසිරෙයි. ඔහුගේ අභ්‍යන්තරයේ උපන් මේ වෛර චේතනාව, “බාහිර වෛරය” නම් වේ. යමෙකු වනාහී වෙනත් අයෙකු පිළිබඳව “මොහු මා මැරීමට හැසිරේ. මමම පළමුව මොහුව මරමි”යි චේතනාවක් ඉපිද ක්‍රියා කරයි. මෙය ‘ආධ්‍යාත්මික වෛරය’ නම් වේ. මේ වෛර දෙකම මෙලොව දීම ඇතිවේ. යම් ඒ නිරයේ උපන් සත්ත්වයකු දැක “මොහුට ගසමි”යි දැල්වුණු ගිනි අඟුරක් ගත් නිරයපාලයාගේ සිතුවිල්ල “සම්රායික බාහිර වෛර නම් වේ. යම් ඒ නිරයේ උපන් සත්වයාට “මොහු නිර්දෝෂ වූ මාහට ගැසීමට පැමිණේ. මම මොහුට පළමුව පහරදෙමි”යි සිතීම “සම්පරායික අධ්‍යාත්මික වෛර” නම් වේ. මෙහිදී යම් බාහිර වෛරයක් විස්තර කරන ලද්දේද එය, අට්ඨකථාවෙහි (හෙළටුවායෙහි) පුද්ගල වෛරයකැයි කියන ලදී. “දුක්ඛ දොමනස්සං” යනු දුක්දොම්නස්‍ය. මේ දෙකම අර්ථ වශයෙන් සමාන ය. යම්සේ ඉහත පැවසුයේ ද ඒ අයුරින් ම මෙම සෙසු පදයහි අර්ථද ගත යුතුය. “මොහු විසින් මගේ බඩු පැහැරගන්නා ලදී.” “රහමෙරින් මත් වී මෙනම් දෙය කළේය.” ආදී වශයෙන් වෛරයේ උපත දතයුතුයි. “අවෙච්චප්සාදෙන” යනු නො නැසුණු, නො සෙල්වෙන ශ්‍රද්ධාවෙන්-ප්‍රසාදයෙන් යුක්ත වූ යැයි. “අරියකන්තෙහි” යනු ඒ පංචශීලයෙනි. ආර්යයන්ට කැමති වූ ප්‍රිය වූ ශීලයයි. අන්‍ය භවයකට ගිය ආර්‍යයෝ පවා මේ ශීලය අත් නොහරිති. එනිසා ‘ආර්යයන්ට ප්‍රිය වූ යනුවෙන් කියති. මෙහි එන සෙසු පදයන් පිළිබඳ යම් විස්තරාර්ථ දැනගනු කැමති නම්, ඒ සියල්ල විශුද්ධි මාර්ගයේ අනුස්සති නිර්දේශය බලා දතයුතුය.
පළමු සූත්‍රයයි.
2. දෙවැනි පඤ්චභයවෙර සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රයේ - පළමු සූත්‍රය මෙනි. මෙහි ඇති විශේෂත්වය නම්, මෙම සූත්‍රය භික්ෂූන් වහන්සේ අරමුණු කරගෙන දේශනා කිරීමයි. (පළමු සූත්‍රය අනේපිඬු සිටුහුට දේශිතය.)
දෙවන සූත්‍රයයි.
3. දුක්ඛ සූත්‍ර වර්ණනාව
තෙවන සූත්‍රයේ “දුක්ඛස්ස” යනු සසර පැවැතීම් දුකෙහිය. “සමුදයං” යනු ඛණික සමුදය හා ප්‍රත්‍ය සමුදය යන දෙවැදෑරුම් සමුදයන්ය. ප්‍රත්‍ය සමුදය දකින්නා වූ භික්ෂුව ඛණික සමුදය (ක්ෂණික හටගැනීම) දකියි. ඛණික සමුදය දකින භික්ෂුව ද ප්‍රත්‍ය සමුදය (ප්‍රත්‍ය හටගැනීම) දකියි. අස්තංගම හෙවත් නැතිවීම ද දෙකොටසකි. අත්‍යන්ත අස්තංගමය හා රෝධ අස්තංගමය යනුවෙනි. අත්‍යන්ත අස්තංගමය දකින්නා රෝධ අස්තංගමය දකියි. රෝධ අස්තංගමය දකිනා අත්‍යන්ත අස්තංගමය දකියි. “දෙසෙස්සාමි” යනු “මේ සසර පැවතුම් දුකෙහි ඇතිවීම-නැතිවීම-ඉපදීම යනාදී භේද දේශනා කරනෙමි. එය අසවු.” යන අර්ථයයි. “පටිච්ච” යනු නිශ්‍රය වශයෙන් මෙන්ම ආරම්මණ වශයෙන් ද හේතුවීමෙන් “තිණ්ණං සංගති ඵස්සො” යන තුනෙහි එකතුවීමෙන් ස්පර්ශය ඇතිවේ. “අයං දුක්ඛ සමුදයො” යනු මේ සසර පැවතීම් දුකේ ඉපදීමයි. “අත්ථංගමො” යනු නැතිවීමයි, බිඳීයෑමයි. මෙසේ සසර පැවතීම් දුක බිඳීගියේය. නැතිවිය. නැවත පිළිසිඳ ගැනීමක් නැත.