5. භූමිජ සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයේ “භුමිජො” යනු ඒ තෙරුන්ගේ නාමයයි. මෙහි ද සෙසු විස්තර මුල් සූත්‍රයේ පැවසූ පරිදි දත යුතුයි. මේ සූත්‍රයේ ඇති විශේෂත්වය නම්; “යම්හෙයකින් මේ සැප-දුක් ආදී ධර්මයෝ හුදෙක් ස්පර්ශය (ගැටීම) හේතුවෙන් ම නූපදිති. කයින් ද කටයුතු කරයි වචනයෙන් හා මනසින් ද කටයුතු කරයි. තමා විසින් ද අනුන් විසින් ද කළයුතු කටයුතු කරයි. දැන දැනම කරයි. නොදැනද කරයි. එනිසා ස්පර්ශ ප්‍රත්‍යයෙන් වෙන් වූ දුකට හේතුවන හේතුප්‍රත්‍ය දැක්වීම පිණිස “කායෙ වාහානන්ද! සති” යනාදිය දේශනා කළහ. “කායසඤ්චෙතනා හෙතු” යන කාය ද්වාරයෙහි උපන් චේතනා හේතුවයි. වාග් ද්වාරයෙහි හා මනෝද්වාරයෙහි උපන් චේතනා හේතු වාග් සඤ්චෙතනා, මනො සඤ්චෙතනා නම් වේ. මෙහිද කායද්වාරයෙහි කාමාවචර කුසල හා අකුසල වශයෙන් චේතනා විස්සක් ලැබේ. වචී ද්වාරයෙහි ද එලෙසම වේ. මනෝද්වාරයේ රෑප-අරූප චේතනා නවයක් සමග චේතනා 29 කි. ද්වාරත්‍රයේ ම චේතනා සැට නවයකි. (69) ඊට හේතු වශයෙන් සුව-දුක් විපාකයෝ දක්වන ලදහ. “අවිජ්ජා පච්චයාච” මෙහි වනාහී චේතනාව අවිද්‍යා ප්‍රත්‍යයෙන් වේයැයි දැක්වීමට කියන ලදී. යම්සේ මෙලෙස දැක්වූ චේතනා භේද ඇති කාය සංස්කාරය ද වාග් සංස්කාරය ද මනෝ සංස්කාරය ද අන්‍යන්ගේ උත්සාහයක් නොමැතිව තමාම අසංඛාරික සිතින් කරයි. අන්යන් විසින් කරවනු ලබන්නේ සසංඛාරික සිතින් කරයි. “මෙනම් ක්‍රියා කරන්නහුට මෙබඳු විපාක වන්නේයැ”යි මෙසේ කර්මය ද විපාකය ද දැන දැන ද සිදුකරයි. මාපියවරු චෛත්‍ය වැඳීම් ආදිය කරන කල්හි ඒ අනුව වඳින්නා වූ දරුවන් මෙන් ක්‍රියාව දැන දැනම කළත් “මේ ක්රියාවේ විපාකය මෙය” යැයි විපාකය නොදැනත් ක්‍රියා කරයි. එනිසා එය දැක්වීමට “සාමං වා තං ආනන්ද! කාය සඛාරා අභිසංඛරොති” යනාදිය කියන ලදී.
“ඉමෙසු ආනන්ද! ධම්මෙසු” යනු ආනන්දය! යමෙක් මේ ධර්මයන්හි තමාම හෝ යනුයි. “කාය සංස්කාර” යනාදී සතර තැන්හි කියන ලද දෙසිය සැත්තෑසයක් (276) වූ චේතනා ධර්මයෝ. මේ ධර්මයන්හි අවිද්‍යාව මූලාධාර වූ කෙළවර ඇති - මත්තෙහි වැටුණු ඒ සියල්ල “අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති” යනාදී ලෙස මෙහි ම සංග්‍රහයට පැමිණෙති.
දැන් සසර පැවැත්ම දක්වන සේක් - “අවිජ්ජායත්වෙව” යනාදිය දෙසූහ. “සො කායො න හොති” යනු යම්බඳු කයක් ඇති කල්හි, කාය සංචේතනා ප්‍රත්‍යය වූ අධ්‍යාත්මික සුව-දුක් උපදියිද එබඳු කයක් නැත. වචනයෙහිත් මනසෙහිත් මෙසේමය. තවද “කායො” යනු කාය චේතනාවයි. “වාචා’’ යනු වාග් චේතනාවයි. “මනෝ” යනු මනෝ කර්මයයි. කායද්වාරය යනු කයයි. ශරීරයයි. වාග්-මනෝ ද්වාරයන්හිද මේ ක්‍රමය ම දතයුතුයි. රහතන් වහන්සේ චෛත්‍ය වන්දනා කරති. ධර්ම දේශනා කරති. කමටහන් මෙනෙහි කරති. නමුත් උන්වහන්සේගේ කය කෙතක් නොවනුයේ විපාකයක් නැති බැවිනි. රහතන් වහන්සේ විසින් කරන ලද ක්‍රියාවෝ (කර්ම) කුසල් හෝ අකුසල් නොවේ. විපාක නොමැතිව ම ක්‍රියා මාත්‍රය පමණක් සිටියි. මෙනිසා උන්වහන්සේගේ කය මෙහි “කාය” සංඛ්‍යාවෙහි ලා නොසැලකුනි.
“ඛෙත්තං තං න හොති” යනාදියේ වැඩීම් අර්ථයෙන් එය කෙතක් නොවේ. පිහිටීම් අර්ථයෙන් එය වස්තුවක් නොවේ. ප්රත්යාර්ථයෙන් එය ආයතනයක් නොවේ. හේතු අර්ථයෙන් එය අධිකරණයක් නොවේ.
සංචේතනා මූලික වූ අධ්‍යාත්මික සුව-දුක් උපදින්නේ නම් ඒ සංචේතනාව - මේ වැඩීම් ආදියේ අභාවයෙන් ද උන්වහන්සේට සුඛදුක්ඛයන්ගේ කෙතක් නොවේ. වස්තුවක් නොවේ. ආයතනයක් නොවේ. අධිකරණයක් නොවේ.
මෙම සූත්‍රයෙහි වේදනාදී සුව දුක්ම “ඒවායේ විපාකයැ”යි කියන ලදී.
පස්වන සූත්‍රයයි.
6. උපවාණ සූත්‍ර වර්ණනාව
සයවන උපවාණ සූත්‍රයේ අර්ථ ඉතා ප්රකටය. මෙහිදී සසර පැවතුම් දුකම පවසන ලදැයි දතයුතුයි.
සයවන සූත්‍රයයි.
7. පච්චය සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයේ - පිළිවෙලින් කියන ලද සූත්‍රයෙහි අවසාන පදය ගෙන “කතමඤ්ච භික්ඛවෙ! ජරාමරණං” ආදිය කියන ලදී. “එවං පච්චයං පජානාති” යනු මෙසේ දුක්ඛ සත්‍ය වශයෙන් දනියි. ප්‍රත්‍යයන්ගේ හටගැනීම් ආදියද සමුදය සත්‍ය වශයෙන් දතයුතුයි. “දිට්ඨි සම්පන්නො” යනු මාර්ග දෘෂ්ඨියෙන් යුක්ත වූ යනුයි. “දස්සන සම්පන්නො” යනු එයට ම තවත් සමාන වදනකි. “ආගතො ඉමං සද්ධම්මං” යනු මාර්ග සද්ධර්මයට පැමිණි යනුයි. “පස්සති” යනු මාර්ග සද්ධර්මයම බලයි. “සෙඛෙන ඤාණෙන” යනු මාර්ග ඤාණයෙන්ම යනුයි. “සෙඛාය විජ්ජාය” - මාර්ග විද්යාවෙන්ම යනුයි. “ධම්මසොතං සමාපන්නො” යනු මාර්ග සංඛ්‍යාත වූ ධර්ම ශ්‍රෝතයෙන් යුක්ත වූ යනුයි. “අරියො” යනු පුහුදුන් භූමිය ඉක්මවූ යනුයි. “නුබ්බෙධික පඤ්ඤො” යනු තියුනු අවබෝධ - ප්‍රඥාවෙන් යුක්ත වූ යනුයි. “අමතද්වාරං ආහච්ච තිට්ඨති” යන මෙහි “අමත” යනු නිවණයි. නිවණේ දොරටුව, ආර්ය මාර්ගය හැපී සිටියි යන අර්ථයි.