6. උපවාණ සූත්ර වර්ණනාව
සයවන උපවාණ සූත්රයේ අර්ථ ඉතා ප්රකටය. මෙහිදී සසර පැවතුම් දුකම පවසන ලදැයි දතයුතුයි.
සයවන සූත්රයයි.
7. පච්චය සූත්ර වර්ණනාව
සත්වන සූත්රයේ - පිළිවෙලින් කියන ලද සූත්රයෙහි අවසාන පදය ගෙන “කතමඤ්ච භික්ඛවෙ! ජරාමරණං” ආදිය කියන ලදී. “එවං පච්චයං පජානාති” යනු මෙසේ දුක්ඛ සත්ය වශයෙන් දනියි. ප්රත්යයන්ගේ හටගැනීම් ආදියද සමුදය සත්ය වශයෙන් දතයුතුයි. “දිට්ඨි සම්පන්නො” යනු මාර්ග දෘෂ්ඨියෙන් යුක්ත වූ යනුයි. “දස්සන සම්පන්නො” යනු එයට ම තවත් සමාන වදනකි. “ආගතො ඉමං සද්ධම්මං” යනු මාර්ග සද්ධර්මයට පැමිණි යනුයි. “පස්සති” යනු මාර්ග සද්ධර්මයම බලයි. “සෙඛෙන ඤාණෙන” යනු මාර්ග ඤාණයෙන්ම යනුයි. “සෙඛාය විජ්ජාය” - මාර්ග විද්යාවෙන්ම යනුයි. “ධම්මසොතං සමාපන්නො” යනු මාර්ග සංඛ්යාත වූ ධර්ම ශ්රෝතයෙන් යුක්ත වූ යනුයි. “අරියො” යනු පුහුදුන් භූමිය ඉක්මවූ යනුයි. “නුබ්බෙධික පඤ්ඤො” යනු තියුනු අවබෝධ - ප්රඥාවෙන් යුක්ත වූ යනුයි. “අමතද්වාරං ආහච්ච තිට්ඨති” යන මෙහි “අමත” යනු නිවණයි. නිවණේ දොරටුව, ආර්ය මාර්ගය හැපී සිටියි යන අර්ථයි.
සත්වන සූත්රයයි.
8. භික්ඛු සූත්ර වර්ණනාව
අටවන සූත්රයේ අර්ථ ඉතා ප්රකටය.
අටවන සූත්රයයි.
9. සමණබ්රාහ්මණ සූත්ර වර්ණනාව
නවවන සූත්රයේ - අක්ෂර භාණක භික්ෂූන්ගේ අදහස් වශයෙන් කියන ලදී. එහි “පරි” යන උපසර්ගය අත්හැර පවසන විට සම්පූර්ණයෙන්ම අර්ථ දැනගැනීමට හැකිවේ.
නවවන සූත්රයයි.
10. දුතිය සමණබ්රාහ්මණ සූත්ර වර්ණනාව
දසවන සූත්රයේ අර්ථ විස්තර සියල්ල ද ඉහත කී පරිදි දතයුතුය. මේ සූත්ර දෙකෙහිදී චතුරාර්ය සත්යාවබෝධයට ම දේශනා කරන ලදී.
දසවන සූත්රයයි.
තෙවැනි දසබල වර්ගය නිමියේය.
4. කළාරඛත්තිය වර්ගය
1. භූත සූත්ර වර්ණනාව
කළාරඛත්තිය වර්ගයේ පළමු සූත්රයෙහි “අජිත පඤ්හෙ” යනු අජිත මානවකයා විසින් ඇසූ ප්රශ්නයෙහිය.
“සංඛාත ධම්මාසෙ” යනුවෙන් සංඛත ධර්ම ලෙස දැනගත් ධර්මය, සමාන කළ ධර්මය, තීරණය කළ ධර්මය අදහස් කරන ලදී. “සෙඛ” යනු සේඛ පුදගලයෝ සත් දෙනයි. “පුථූ” යනු එම සත්දෙනා සඳහාම “පුථූ” යැයිද කියන ලදී. “ඉධ” යනු මේ බුද්ධශාසනයෙහිය. “නිපකො” යනු නුවණැති බවයි. ඒ ප්රඥාවෙන් යුක්ත වූ බැවින් “නිපක” නම් වේ. නුවණැති වූ පණ්ඩිත වූ නුඹවහන්සේ මෙය දේශනා කරන සේක්වා!” යි ඉල්ලයි. “ඉරියං” යනු දිවිපැවැත්මයි. පිළිපැදීමයි. හැසිරීමයි. වාසය කිරීමයි. ප්රතිපත්තියයි. “මාරිස” යනුවෙන් භාග්යවතුන් වහන්සේට කථාකරයි. සේඛයන්ගේ ද සංඛත ධර්මයන්ගේද රහතන් වහන්සේලාගේ ද ක්රියාපිළිවෙල මවිසින් විචාරන ලදී. පණ්ඩිතයාණෙනි! නිදුකාණෙනි! එය මාහට වදාළ මැනවි මේ මෙහි සංක්ෂිප්ත අර්ථයයි.
“තුණ්හී අහොසි” යනු කුමක් නිසා තෙවැනිවර දක්වාත් ප්රශ්න කරන ලදුව නිශ්ශබ්දව සිටිසේක් ද? ප්රශ්නයෙහි ද නැතිනම් අදහසෙහි සැකකිරීමෙන්ද? අදහස පිළිබඳ සැක කිරීමෙනි. ප්රශ්නයේ සැකයක් නොවේ. මෙලෙස උන්වහන්සේට සිතුනි. “ශාස්තෲන් වහන්සේ මාහට සේඛ-අසේඛයන්ගේ පැමිණීම් ප්රතිපදාව දේශනා කරනු කැමතිවන සේක. එය ස්කන්ධ, ධාතු, ආයතන, ප්රත්යාකාර ආදී වශයෙන් බොහෝ කරුණුවලින් පැවසීමට පුළුවන. “ශාස්තෲන් වහන්සේගේ අදහස ගෙන පිළිතුරු දීමට කෙසේනම් හැකිවන්නෙම් ද? යනුවෙනි. ඉක්බිති ශාස්තෲන් වහන්සේ මෙසේ සිතූ සේක. “මා හැර පාත්රයක ගෙන, හැසිරෙන අන්ය ශ්රාවකයන් අතරින් ප්රඥාවෙන් සැරියුත් තෙරුන්ට සමවන්නෙක් නැත. මම මොහුගෙන් ප්රශ්නයක් විමසන ලදුයෙම්, ඔහු තෙවැනිවර දක්වා ප්රශ්නයෙහි හා අදහසෙහි දැයි සිතමින් නිෂ්ශබ්දව ම සිටින්නේය.” ඉක්බිති අදහසෙහි යැයි දැන ප්රශ්නයට පිළිතුරු දෙන න්යාය දක්වන සේක් “භූත මිදන්ති සාරිපුත්ත! පස්සසි” යනුවෙන් දේශනා කළ සේක.
එහි “භූතං” යනු උපන්, පහළ වූ ස්කන්ධ ස්කන්ධ පංචකයට යෙදෙන තවත් නාමයකි. මෙසේ ශාස්තෲන් වහන්සේ “සාරිපුත්රය! මේ ප්රශ්නය පංචස්කන්ධ වශයෙන් විසඳිය යුතුයැ”යි තෙරුන්ට න්යාය දැක්වූ සේක. න්යාය දැක්වීමත් සමගම තෙරුන් වහන්සේට “වෙරළේ සිටි පුරුෂයාට විවෘත්තව එකම අංගණයක් ලෙස මහ මුහුද පෙනෙන්නාක් මෙන්” න්යාය සිය දහස් ගණනින් ප්රශ්නෝත්තර දෙක මැනවින් අවබෝධවිය. ඉක්බිති එය පැහැදිලි කරමින් “භූතමිදං භන්තෙ” යනාදිය දෙසූහ. එහි “භූතමිදං” යනු මෙහි උපන් ස්කන්ධ පඤ්චකයයි. “සම්මප්පඤ්ඤාය පස්සතො” යනු විදර්ශනා සහිත මාර්ග ප්රඥාවෙන් මැනවින් බලන තැනැත්තාට “පටිපන්නො හොති” යනු සීලයේ පටන් අර්හත් මාර්ගය දක්වා කළකිරීම් ආදියේ අර්ථය පිණිස පිළිපන්නේ වේ. “තදාහාරසම්භවං” යන මෙය කුමක් හෙයින් අරඹන ලද්දේ ද? මේ ස්කන්ධ පංචකය ආහාරය නිසා සිටියේය. එනිසා එය “ආහාර සම්භව” යැයි දැක්වීමට මෙය ඇරඹූ සේක. මෙසේ මේ අයුරින් සේඛ ප්රතිපදාව දේශනා කරන ලදී. “තදාහාර නිරොධා” යනු ඒ ආහාරයන්ගේ නැතිවී යාමෙන්. මෙය කුමක් නිසා ඇරඹූ සේක් ද? ඒ පංච ස්කන්ධය, ආහාරය නොමැති වීමෙන් නිරුද්ධ වේ. එනිසා ඒ “ආහාර නිරොධ සම්භව” යන නම තබා දැක්වීමට මෙය ඇරඹූ සේක. මෙසේ මෙම සූත්රයේ දී ද සේඛයාගේ ප්රතිපදාවම කියන ලදී. “නිබ්බිදා” ආදී සියලු වචන තතියා විභක්ති වචනයැයි දතයුතුයි. “අනුපාදා විමුත්තො” යනු සිවු උපාදානයන්ගෙන් කිසිදු ධර්මයක් නොගෙන මිදීමයි. “සාධු සාධු” යනු මේ තෙරුන් වහන්සේගේ පිළිතුරු දීම නිසා තමන් වහන්සේගේ සතුට ප්රකාශ කිරීමයි. තමන්වහන්සේ ද එළෙසින් ම පිළිතුරු දෙන සේක් නැවත “භූතමිදං” යනාදිය දෙසූහ.