4. අඤ්ඤතිත්ථිය සූත්ර වර්ණනාව
සිවුවන සූත්රයේ “පාවිසි” යනු පිවිසීමයි. උන්වහන්සේ තවම නොපිවිසි සේක. “පිවිසෙන්නෙමි”යි නික්මුණු බැවින් මෙසේ කියන ලදී. යම්සේ “ගමට යන්නෙමි”යි නික්මුණු මිනිසෙක් ඒ ගමට තවම නොපැමිණියත්; මෙනම් තැනැත්තා කොහිද?”යි කෙනෙකු ඔහු පිළිබඳව විමසූ විට “ඔහු ගමට ගියේය” යනුවෙන් පවසන්නාක් මෙනි. “අතිප්පගො” යනු එදින තෙරුන්වහන්සේ ඉතා උදෑසනින් නික්මුණු දවසක් විය. ඉතා උදෑසන නික්මුණු භික්ෂූහු බෝධි අංගණය, සිවුරු හඳින-පොරවන තැන යනාදී ස්ථානයක හිඳ, පිඬු පිණිස හැසිරෙන වේලාව එන තෙක් කල් ගෙවති. තෙරුන් වහන්සේ වනාහී “පිඬු පිණිස හැසිරෙන වේලාව එන තෙක් පිරිවැජියන් සමඟ සාකච්ඡා එකක් හෝ දෙකක් කරන්නෙමි”යි සිතමින්. “යන්නූනාහං” යනුවෙන් කල්පනා කළ සේක. “පරිබ්බාජිකානං ආරාමො” යනු ඒ ආරාමය වනාහී රජගහනුවර දකුණු වාසල් දොර හා වේළුවනය අතර පිහිටියේය.
“ඉධ” යනු මේ සතර වාදයන්හි. “කිංවාදී කිමක්ඛායී” යනු කුමක් කියයිද? කුමක් දේශනා කරයිද? යනුයි. මේ පිළිබඳව ශ්රමණ භවත් ගෞතමයන්ගේ දර්ශනය කුමක්ද? යනුවෙන් විචාරති. “ධම්මස්සානුධම්මං බ්යාකරෙය්යාම” යනු භාග්යවත් ගෞතමයන් වහන්සේ විසින් දෙසන ලද යම් කරුණක් වේද එයට ගැලපෙන තව කරුණක් කියනෙමු නම් මැනවි. “සහධම්මිකො වාදානුපාතො” යනු අන්යයන් විසින් කියන ලද කරුණකින්, කරුණු සහිතව ශ්රමණ භවත් ගෞතමයන් වාදයෙහි පවතින වාග් ප්රහාරයක් පිළිබඳව, අල්ප මාත්ර වශයෙන්වත් නුවණැත්තන් විසින් ගැරහිය යුතු කාරණයක් නොවන්නේ කෙසේද? මෙය කියන ලදේ “සියලුම ආකාරයෙන් භවත් ගෞතමයන්ගේ ඉගැන්වීමෙහි ගැරහිය යුතු කරුණක් කෙසේ නොවන්ද?” යන අදහසිනි.
“ඉතිවදං” යනු “ස්පර්ශය නිසා දුක ඇතිවේ” යනාදී ලෙස දේශනා කරමින් යන අර්ථයි. “තත්ර” යනු ඒ සිවුවාදයන්හිය. “තෙ වත අඤ්ඤත්ර ඵස්සා” මේ වාදයෙහි ස්පර්ශ ප්රත්යයෙන් යනු ප්රතිඥාව දක්වන වචනයකි. අනිවාර්ය වූ අවධාරණ වදනකි. යම්හෙයකින්ද ස්පර්ශයෙන් තොරව දුක් අනුභව කිරීමක් නොමැති හෙයිනි. මෙලෙසින්ම මෙකරුණ දතයුතුයි. දුක ඇතිවනුයේ ස්පර්ශ ප්රත්යයෙනි.
“සාධු සාධු ආනන්ද” යනු මේ සාධුකාරය සැරියුත් තෙරුන්ට දෙන ලද්දකි. භාග්යවතුන් වහන්සේ මෙතැනදී ආනන්ද හිමියන් සමග කථා කරති.
“එකමිදාහං” යන මෙහි “ඉධ” යනු නිපාතයකි. “එක් සමයක” යන අර්ථයයි. මේ ප්රකාශය “සැරියුත් හිමියන්ම පමණක් නොව මමත් රජගහ නුවරට පිවිසියෙමි. හුදෙක් උන්වහන්සේට පමණක් නොව මටද මේ විතර්කය ඇතිවිය. මෙම අන්ය තීර්ථකයන් සමඟ වූ සාකච්ඡාව උන්වහන්සේට මෙන්ම මටද පෙර එසේම විය” යන්න දැක්වීමට වදාළ සේක.
“අච්ඡරියං අබ්භූතං” යන මේ වචන දෙකම විශ්මය දක්වන වදන්මය. මෙහි වචනාර්ථය වනාහී අසුරක් ගැසීමට සුදුසු වූයේ ආශ්චර්යයකි. (අච්ඡරිය) පෙර නොවූ විරූවක් වීම අත්භූතය. (අබ්භූත) “එකෙන පදෙන” යනු “ස්පර්ශය ප්රත්යයෙන් දුක ඇතිවේ” යන මේ එක පදයෙන් ය. මෙහිදී සියලු වාදයන් හි ප්රතික්ෂේප කිරීම හඟවන ලදී. “එසෙවත්ථො” යනු “ඒ මේ ස්පර්ශ ප්රත්යයෙන් ම දුක ඇතිවේ” යන ප්රතීත්ය සමුප්පාද ධර්මයේ එන අදහසයි. “තඤ්ඤෙවෙත්ථ පටිභාතු” යනු එයම මෙහිදී වැටහේවා යනුයි.
දැන් තෙරුන්වහන්සේ ජරාමරණාදිය ප්රමුඛ වූ ප්රතීත්ය සමුත්පාද කථාවෙන් එහි අර්ථ ගම්භීරභාවයත්, ගම්භීරප්රභාවයත් දක්වමින් “සචෙ මං භන්තෙ” ආදී වශයෙන් යම් මූලික වූ කථාවක් උපන්නාහු ද ඒ කාරණයම ගෙන සසර නැවැත්ම දක්වනුයේ “ඡන්නංත්වෙ” යනාදිය දෙසූහ. සෙසු පදයන්ගේ අර්ථ ඉහත පැවසූ පරිදි දත යුතුයි.
සිවුවන සූත්රයයි.
5. භූමිජ සූත්ර වර්ණනාව
පස්වන සූත්රයේ “භුමිජො” යනු ඒ තෙරුන්ගේ නාමයයි. මෙහි ද සෙසු විස්තර මුල් සූත්රයේ පැවසූ පරිදි දත යුතුයි. මේ සූත්රයේ ඇති විශේෂත්වය නම්; “යම්හෙයකින් මේ සැප-දුක් ආදී ධර්මයෝ හුදෙක් ස්පර්ශය (ගැටීම) හේතුවෙන් ම නූපදිති. කයින් ද කටයුතු කරයි වචනයෙන් හා මනසින් ද කටයුතු කරයි. තමා විසින් ද අනුන් විසින් ද කළයුතු කටයුතු කරයි. දැන දැනම කරයි. නොදැනද කරයි. එනිසා ස්පර්ශ ප්රත්යයෙන් වෙන් වූ දුකට හේතුවන හේතුප්රත්ය දැක්වීම පිණිස “කායෙ වාහානන්ද! සති” යනාදිය දේශනා කළහ. “කායසඤ්චෙතනා හෙතු” යන කාය ද්වාරයෙහි උපන් චේතනා හේතුවයි. වාග් ද්වාරයෙහි හා මනෝද්වාරයෙහි උපන් චේතනා හේතු වාග් සඤ්චෙතනා, මනො සඤ්චෙතනා නම් වේ. මෙහිද කායද්වාරයෙහි කාමාවචර කුසල හා අකුසල වශයෙන් චේතනා විස්සක් ලැබේ. වචී ද්වාරයෙහි ද එලෙසම වේ. මනෝද්වාරයේ රෑප-අරූප චේතනා නවයක් සමග චේතනා 29 කි. ද්වාරත්රයේ ම චේතනා සැට නවයකි. (69) ඊට හේතු වශයෙන් සුව-දුක් විපාකයෝ දක්වන ලදහ. “අවිජ්ජා පච්චයාච” මෙහි වනාහී චේතනාව අවිද්යා ප්රත්යයෙන් වේයැයි දැක්වීමට කියන ලදී. යම්සේ මෙලෙස දැක්වූ චේතනා භේද ඇති කාය සංස්කාරය ද වාග් සංස්කාරය ද මනෝ සංස්කාරය ද අන්යන්ගේ උත්සාහයක් නොමැතිව තමාම අසංඛාරික සිතින් කරයි. අන්යන් විසින් කරවනු ලබන්නේ සසංඛාරික සිතින් කරයි. “මෙනම් ක්රියා කරන්නහුට මෙබඳු විපාක වන්නේයැ”යි මෙසේ කර්මය ද විපාකය ද දැන දැන ද සිදුකරයි. මාපියවරු චෛත්ය වැඳීම් ආදිය කරන කල්හි ඒ අනුව වඳින්නා වූ දරුවන් මෙන් ක්රියාව දැන දැනම කළත් “මේ ක්රියාවේ විපාකය මෙය” යැයි විපාකය නොදැනත් ක්රියා කරයි. එනිසා එය දැක්වීමට “සාමං වා තං ආනන්ද! කාය සඛාරා අභිසංඛරොති” යනාදිය කියන ලදී.