3. උපනිස සූත්ර වර්ණනාව
තෙවැනි සූත්රයේ “ජානතො අහං” යනාදියෙහි “ජානතො” යනු දන්නා හටය. “පස්සතො” යනු දකින්නා හට ය. මේ දෙපදයෙහිම එකම අර්ථය වේ. බ්යඤ්ජන වශයෙන් නා නා විධ වේ. මෙසේ ඇතිකල්හි “ජානතො” යනුවෙන් ඥාන ලක්ෂණය දැඩිසේ ගත් පුද්ගලයා දක්වයි. දැනගැනීමේ ලක්ෂණය වනාහී ඥානයමයි. “පස්සතො” යනු ඥාන ප්රභාවය දැඩිසේ ගත් දැක්ම - ප්රභාව වූ ඥානයයි. ඥානයෙන් යුක්ත වූ පුද්ගලයා ඇස් ඇති අයෙකු ඇසින් රූප දකින්නාක් මෙන් ඥානයෙන් විවෘත්ත වූ ධර්මකරුණු දකියි. බලයි. “ආසවානං ඛයං” මෙහි ආශ්රවයන්ගේ ක්ෂය කිරීමයි. නූපදීමයි. ක්ෂය වීමයි. නැතිබවයි. මෙයම ආශ්රවයන් ක්ෂය කිරීම යැයි කියයි. එමෙන්ම භංග, මාර්ගඵල, නිවන යන නම්ද මේ සදහාම යෙදේ. “ආශ්රවයන්ගේ ක්ෂය වීමෙන්, ආශ්රව වූ චේතෝ විමුක්තිය” යන තැන්හි “ක්ෂීණාකාර ආශ්රවක්ෂය” කියැවේ. “යමෙක් ආශ්රවයන්ගේ ක්ෂය කිරීමෙන්, ව්යය කිරීමෙන්, බිඳීයාමෙන් හාත්පසින් බිඳීයෑමෙන්, අනිත්යතාවට-අතුරුදහන් වීමට පැමිණීම” යනාදියේදී ආශ්රවයන්ගේ භංග වීම අදහස් කෙරේ.
සෙඛස්ස සික්ඛමානස්ස උජුමග්ගානුසාරිනො
ඛයස්මිං පඨමං ඤාණං තතො අඤ්ඤා අනන්තරා
ඛයස්මිං පඨමං ඤාණං තතො අඤ්ඤා අනන්තරා
“ආර්ය මාර්ගය පිළිපදින්නා වූ හික්මෙන සේඛ පුද්ගලයාට පළමුව කෙලෙස් ක්ෂය කරන බැවින් ක්ෂය නම් වූ මාර්ග ඤාණය උපදී. ඒ චුතුර්ත්ථ මාර්ග ඤාණයෙන් අනතුරුව අර්හත්ඵලය උපදින්නේය.”
මෙහි මාර්ග ආශ්රවක්ෂය දක්වන ලදී. එය ආශ්රව ක්ෂයවීමෙන්, සංසිදීමෙන් උපදියි. එනිසා ආශ්රවයන්ගේ ක්ෂයවීමයැයි කියන ලදී. “ආශ්රවයන්ගේ ක්ෂයවීමෙන් ශ්රමණයෙක් වේ” යනුවෙන් මෙහි ‘ඵල ආසවක්ඛය’ කියන ලදී. එහි වනාහී “ආශ්රවයන්ගේ ක්ෂීණවීමෙන් උපදියි” යන අර්ථයෙන් “ආශ්රවයන්ගේ ක්ෂයවීම”යැයි කියන ලදී.
“ඔහුගේ ආශ්රව වැඩෙයි. ඔහු ආශ්රවක්ෂයෙන් දුරුවෙයි” යන තැන්හි “නිවන” ආසවක්ඛය යන වදනින් අදහස් විය. නිවණ පැමිණීමෙන් ආශ්රවයන් ක්ෂය කරන බැවින් එම නාමය යෙදේ. මෙම සූත්රයේ දී මාර්ග ඵලයන් අදහස් කරන ලදී. “නො අජානතො නො අපස්සතො” යනු යමෙක් වනාහී නොදනියි. නොදකියි. ඔහුට නොපවසමි යන අර්ථයි. මෙයින් යමෙක් නොදැන-නොදැක සංසාරාදියේ ශුද්ධිය පවසත්ද ඔවුහු ප්රතික්ෂේප කරන ලදහ. මුල්පද දෙකින් දේශනාවේ යොමුවීම හෙවත් අදාළවන්නෝ අදහස් වෙති. මේ පද දෙකින් දේශනාවේ යොමුනොවීම හෙවත් දෙසුම අදාළ නොවන්නේ අදහස් කෙරෙති.
දැන් යමකින් දැන දැනම ආශ්රවයන් ක්ෂය කරයි ද එය දක්වනු කැමතිව “කිඤ්ච භික්ඛවෙ! ජානතො” යනුවෙන් ප්රශ්න විචාරීම ඇරඹූ සේක. එහි “දැනගැනීම” බහුවිධය. පණ්ඩිත ස්වභාව ඇති යම්කිසි භික්ෂුවක් කුඩයක් සෑදීමට දනියි. තවත් භික්ෂුවක් සිවුරු ආදී වෙනත් මෙබඳු නිෂ්පාදන කිරීමට, සමත් වෙයි. මේ භික්ෂූන්ට වත්පිළිවෙත් හිසින් ගෙන සිදුකරනුයේ දැන දැනම මාර්ග ඵලාවබෝධය නොවේයැයි නොකිව යුතුයි. යමෙක් වනාහී සසුනේ පැවිදි වී වෙදකම් ආදිය කිරීමට දනියි ද ඔහුට එම ක්රියාව නිසා දැන දැනම ආශ්රව වැඩෙන්නේය. එනිසා යම් ක්රියාවක් දන්නේ - දකින්නේ එය ආශ්රවයන් ක්ෂය කරයිද එයම දක්වමින් “ඉති රූපං” යනාදිය දෙසූහ. “එවං ඛො භික්ඛවෙ! ජානතො” යනු මේ පංචස්කන්ධයේ ඇතිවීම හා නැතිවීම මැනවින් දන්නා පුද්ගලයාටය. “ආසවානං ඛයො හොති” ආශ්රව නැති කරමින්ම උපන් බැවින් “ආසවක්ඛය” නම් වූ රහත්බව වේ.
මෙලෙස රහත්බවට මූලික අභිමතාර්ථය වූ මෙම සූත්ර දේශනාව නිමවා, දැන් රහතන් වහන්සේගේ පැමිණීම් ඇති පූර්වභාව ප්රතිපදාව දැක්වීමට “යම්පිස්ස තං භික්ඛවෙ!” යනාදිය දෙසූහ.
එහි “ඛයස්මිං ඛයෙ ඤාණං” යනු ආශ්රවක්ෂය නම් වූ රහත්ඵලය ලැබූ කල්හි පවතින ප්රත්යවේක්ෂණ ඤාණයයි. එය වනාහී “රහත්ඵලය” නම් වූ ආශ්රවයන් ක්ෂයවීමේදී, එය කෙලෙස් ක්ෂයවීමන් පසුව උපදින බැවින් මෙය “ඛය ඤාණ” නම යෙදේ. “සඋපනිසං” යනු කරුණු-හේතු සහිතව. ප්රත්යසහිතවයි. “විමුත්ති” යනු අර්හත් ඵල විමුක්තියයි. එය උපනිශ්රය ප්රත්යයෙන් ප්රත්ය වේ. මෙසේ මීට වෙනස් වූ ප්රත්ය කෙරෙහිත් ලැබීම් වශයෙන් ප්රත්ය වන බව දතයුතුය.
“විරාගො” යනු ආර්ය මාර්ගයයි. එය කෙලෙස් හි නො ඇලීමෙන්, ගතකිරීමෙන් උපන් බැවින් “විරාගො” යනු ආර්ය මාර්ගයයි. එය කෙලෙස් හි නො ඇලීමෙන්, ගතකිරීමෙන් උපන් බැවින් ‘විරාග’ යැයි කියයි. “නිබ්බිදා” යනු සංවේගය පිළිබඳ ඥානයයි. මෙයින් බලවත් විදර්ශනාව දක්වයි. බලවත් විදර්ශනාව යනු භයතුපට්ඨාන ඥානය, ආදීනවානුපස්සනා ඥානය, මුඤ්චිතුකාමපතා ඥානය හා සංඛාරුපෙක්ඛාය ඥානය යන සතර ඥානයන්ට දෙදුණු තවත් වදනකි. “යථාභූත ඤාණ දස්සනං” යනු යථාස්වභාවය දැනගැනීම නම් වූ දර්ශනයයි. මෙම වදනින් මෘදුවූ විදර්ශනාව දක්වන ලදී. මෘදුවූ විදර්ශනාව, බලවත් විදර්ශනාවට ප්රත්ය වේ. මෘදු වූ විදර්ශනාව යනු සංස්කාර, පරිච්ඡේදඤාණය, කංඛා විතරණ ඤාණය, සම්මසන ඤාණය හා මග්ගාමග්ග ඤාණය යන ඤාණ සතරට යෙදෙන තවත් නාමයකි. “සමාධි” යනු අත්තිවාරම වූ ධ්යාන සමාධියයි. එය මෘදු වූ විදර්ශනාවට ප්රත්ය වේ. “සුඛං” යනු ධ්යානයේ පූර්වභාග සුවයයි. එය අත්තිවාරම වූ ධ්යානයට ප්රත්ය වේ. “පස්සද්ධි” යනු මෙහිදී සිදුවන දැවිල්ල හා විඩාවේ සංසිදීමයි. එය ධ්යානයාගේ පූර්වභාග වූ සැපයට ප්රත්ය වේ. “පීති” යනු බලවත් ප්රීතියයි. එය දැවීම්-විඩාව සංසිඳවීමට හේතු වේ. “පාමුජ්ජං” යනු දුර්වල (දුබල) ප්රීතියයි. එය බලවත් ප්රීතියට ප්රත්ය වේ. “සද්ධා” යනු භවයෙන් භවයට උපදින ශ්රද්ධාවයි. එය දුර්වල ප්රීතියට ප්රත්ය වේ. “දුක්ඛං” යනු සසර පැවැත්මට හේතුවන දුකයි. එය භවයෙන් භවයට උපදින ශ්රද්ධාවට ප්රත්ය වේ. “ජාති” යනු වෙනස්වීම් සහිත ස්කන්ධයන්ගේ පහළවීමයි. එය වනාහී සසර පැවැත්මට හේතුවන දුකට ප්රත්ය වේ. “භවො” යනු කර්ම භවයයි. එය වනාහී වෙනස්වීම් සහිත ස්කන්ධයන්ගේ ඉපදීමට ප්රත්ය වේ. මේ ක්රමයෙන් සෙසු පදයන්ගේ අර්ථ ද දත යුතුයි.