2. දෙවැනි දසබල සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් තම අදහසක් වශයෙන් (අත්තජ්ඣාසය නික්ෂේප) දේශනා කරන ලදහ. එහි “දසබල සමන්නාගතො” යනු බල දහයකින් යුක්ත වූ යනුයි. මෙහි ප්‍රධාන වශයෙන් බල දෙකකි. කාය බලය හා ඤාණ බලය වශයෙනි. මේ බල අතුරින් තථාගතයන් වහන්සේ ගේ කාය බලය ඇත් කුලය ඇසුරින් දත යුතුයි. පැරැන්නෝ මෙසේ කීහ.
“කාළාවකඤ්ච ගන්ගෙයිය්‍යං පණ්ඩරං තම්බ පිංගලං
ගන්ධ මංගල හෙමඤ්ච උපොසථ ඡද්දන්ත මේ දසා”ති
“කළාවකයෝ ද ගංගය්‍යයෝ ද - පණ්ඩරයෝ තම්බ පිංගලයෝ ගන්ධ-මංගල-හේමයෝ-සථයෝ ඡදන්තයෝ යි ඇත්කුල දහයකි.”
මේ දස ඇත් කුලයන් ය. මෙහි “කාළාවක” යනු ස්වාභාවික ඇත් කුළයකියි දතයුතුයි. පුරුෂයෝ දසදෙනෙකුගේ කාය බලය එක් කාළාවක ඇතෙකුට ඇත. කාළාවක කුල ඇතුන් දස දෙනෙකුගේ කාය බලය එක් ගංගෙය්‍යයකුට ඇත. ගංගෙය්‍යයන් දසදෙනෙකුගේ කාය බලය එක් පණ්ඩර නම් ඇතෙකුට ඇත. පණ්ඩරයෝ දස දෙනෙකුගේ කාය බලය එක් තම්බ නම් ඇතෙකුට ඇත. තම්බයෝ දස දෙනෙකුගේ කාය බලය එක් පිංගල නම් ඇතෙකුට ඇත. පිංගලයෝ දස දෙනෙකුගේ කාය බලය එක් ගන්ධ හස්තියෙකුට ඇත. ගන්ධ හස්තීන් දස දෙනෙකුගේ කාය බලය එක් මංගල නම් ඇතෙකුට ඇත. මංගල ඇත්තු දස දෙනෙකුගේ කාය බලය හේම නම් එක් ඇතෙකුට ඇත. හේම ඇත්තු දසයකගේ කාය බලය එක් උපෝසථ ඇතෙකුට ඇත. උපෝසථ ඇත්තු දස දෙනෙකුගේ කාය බලය ඡද්දන්ත ඇතෙකුට ඇත. ඡද්දන්ත ඇත්තු දස දෙනෙකුගේ කාය බලය තථගතයන් වහන්සේට ඇත. “නාරායණ” නම් වූ බලය යැයි ද මෙයටම කියති. එය මේ ස්වභාවික ඇත් ගණයාගෙන් ඇතුන් කෙළදහස් ගණනකගේ ද පුරුෂයන් දසකෙළ දහසකගේ ද කාය ශක්තිය තථාගතයන්ට ඇති බැවින් - උන්වහන්සේ “දසබල සමන්නාගත” නම් වේ. මෙම සංග්‍රහ කිරීමට ඇතුන් හා මිනිසුන්ට පරිබාහිර වූ, ළාමක වූ සිංහාදී තිරිසන් ගනයෝ අයත් නොවෙති. මේ කායබලය නිසා දුක පිරිසිඳ දැනීම හෝ තණ්හාව දුරුකිරීම හෝ අර්හත් මාර්ගය වැඩීම හෝ ඵල ශාක්ෂාත් කිරීම හෝ කළ නොහැක. එනිසා ම බුදුරජාණන් වහන්සේට දස ස්ථායන්හි කම්පා නොවන, උපස්ථම්භනය වන දශවිධ ඥාන බලයක් ද ඇත. ඒ සඳහා “දසබල සමන්නාගත” යන්න යොදන ලදී.
එම දසය නම්; සුදුසු නුසුදුසු තැන් තත්වූ පරිද්දෙන් දන්නා බවයි. එනම්; සුදුසු තැන සුදුසු වශයෙනුත් නුසුදුසු තැන නුසුදුසු වශයෙනුත් දන්නා බව එක් ඥානයකි. අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්න කර්ම සමාදානයන්ගේ ස්ථාන වශයෙන් ද හේතු වශයෙන්ද තත්වූ පරිද්දෙන් විපාක දන්නා බව එක් ඥානයකි. සෑම තැනකටම යා හැකි ප්‍රතිපදාව-පිළිවෙල දන්නා බව එකකි. අනේකවිධ වූ නොයෙක් ලෝකධාතූන් පිළිබඳව දන්නා බව තවත් ඥානයකි. අන්‍ය සත්ත්වයන්ගේ නානාධිමුක්නිකතාව දන්නා බව තව ඥානයකි. ඔවුන් පිළිබඳව ම ඉන්ද්‍රිය පරෝපරියත්තිය දන්නා බව තවත් ඥානයකි. ධ්‍යාන-විමෝක්ෂ-සමාධි සමාපත්තීන්ගේ කිලිටිවීම්, පිරිසිදුවීම් හා කෙලෙස් වලින් නැගිටීම් ආදිය දන්නා බව තවත් ඥානයකි. සත්ත්වයන්ගේ චුති උප්පත්ති දන්නා බව තවත් ඥානයකි. ආශ්‍රවයන් ක්ෂය කිරීම දන්නා බව තව ඥානයකි. අභිධර්මයේ වනාහී මෙසේ පැවසේ. -
“මෙහි තථාගතයන් වහන්සේ සුදුසු තැන, සුදුසු වශයෙනුත්, නුසුදුසු තැන නුසුදුසු වශයෙනුත් තත්වූ පරිද්දෙන් දන්නා සේක. එසේ තත්වූ පරිදි සුදුසු-නුසුදුසු ස්ථාන දන්නා බවම තථාගතයන් වහන්සේගේ “තථාගත බලය” වේ. යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨතම ස්ථානය දැනගන්නා සේක් ද, පිරිස් මැද සීහනාද පවත්වන සේක් ද බ්‍රහ්මචක්‍රය පවත්වන සේක් ද ඒ තථාගත බලයෙන්ම වේ.”
මෙලෙස විස්තර වේ. මෙහි විස්තරාර්ථ වර්ණනාව විභංග අටුවාවේ ද පපංච සුදනී නම් මජ්ඣිමනිකාය අටුවාවේද සියලුම ආකාරයෙන් කියන ලදී. එම විස්තර එහි පැවසූ පරිදි දතයුතුය.
“චතුහි ච වෙසාරජ්ජෙහී” යනු මෙහි කාමයෙන් බැඳීමට විරුද්ධ වූ විශාරද බවයි. සතර ස්ථානයන්හි පවත්නා විශාරද බවයි. එය “සිහි කරන්නහුට උපදින සෝමනස්සමය වූ ඥානයට මේ තවත් සමාන වදනකි. කවර ස්ථාන සතරක ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේට “මේ ධර්මයෝ ඔබවහන්සේ අවබෝධ නොකළේයැ”යි චෝදනා කිරීමට නොහැකි වීමයි. ත්‍රිපිටක පාළියේ -
“මහණෙනි! මෙහි චතුර් වෛශාරද්‍ය ඥානයක් තථාගතයක් වහන්සේට ඇත. කවර සතරක් ද? මහණෙනි! මා හට “සම්මා සම්බුද්ධයැයි ප්‍රතිඥා දෙන නුඹවහන්සේ විසින් මේ ධර්මයෝ අවබෝධ නොකරන ලද සේකැ”යි පවසමින් කරුණු සහිතව චෝදනා කිරීමට සමත් පැවිද්දෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ මම නොමදකිමි. මහණෙනි! මම මෙබඳු පුද්ගලයෙක් නොදක්නේ නම් ක්ෂේමයට පැමිණියෙමි, අභයට පැමිණියෙමි, විශාරදත්වයට පැමිණියෙම් වාසය කරමි. මහණෙනි! මා හට “ක්ෂීණාශ්‍රව වූහයි ප්‍රතිඥා කරන නුඹවහන්සේ විසින් මේ මේ ආශ්‍රවයෝ ප්‍රහීණ නොකරන ලදහ”යි කී කරුණු සහිතව -පෙ- මහණෙනි! මාහට “නුඹවහන්සේ විසින් අන්තරායකර යැයි දෙසූ ධර්මයන් ඇසුරු කරන්නාට අන්තරායක් නොවේ” යැයි කරුණු සහිතව -පෙ- මහණෙනි! මාහට “නුඹවහන්සේ විසින් යම් අර්ථයක් සඳහා දහම් දෙසන ලද නම් ඒ ධර්මය සම්පූර්ණ කරන්නාගේ දුක් මැනවින් විනාශයට පත්නොවේ” යැයි පවසමින් කරුණු සහිතව -පෙ- මහණෙනි! මම මෙබඳු පුද්ගලයෙක් නොදක්නෙම් -පෙ- විශාරදත්වයට පැමිණියෙම් වාසය කරමි”
“ආසභණ්ඨානං” යනු ශ්‍රේෂ්ඨ ස්ථානයට, උත්තම ස්ථානයට යනුයි. ශ්‍රේෂ්ඨයෝ හෝ පූර්ව බුදුවරු පැමිණියා වූ ස්ථානයට යන අර්ථයි. තවද ගවයන් සීයකට ජ්‍යෙෂ්ඨයා ‘උසභ’ යායි. ගවයන් දහසකට ජ්‍යෙෂ්ඨයා ‘වසභ’ යායි. ගාල් සීයකට ජ්‍යෙෂ්ඨයා ‘උසභ’ යායි. ගාල් දහසකට ජ්‍යෙෂ්ඨයා ‘වසභ’ යායි. සියලු ගවයන්ට ශ්‍රේෂ්ඨ වූ සියලු හිරිහැර ඉවසන්නා වූ සුදු වූ ප්‍රසාදාවහ වූ මහබර උසුලන්නා වූ හෙණ සීයක ශබ්දයකින් පවා කම්පා නොවන්නා වූ අතිශ්‍රේෂ්ඨ ම ගවයා මෙහිදී ‘උසභ’ යන්නෙන් අදහස් කරන ලදී. මෙය ඒ ගවයාට යෙදෙන තවත් නාමයකි. ‘උසභස්ස ඉදං’ යන විග්‍රහයෙන් “ආසභං” පදය සිද්ධ වේ. සතර පයින් බිම තදින් මිරිකාගෙන සිටීමට සමත් වේ. වෘෂභ ශ්‍රේෂ්ඨයා මෙන් යැයි “ආසභං” වේ. යම්සේ අතිශ්‍රේෂ්ඨ ගවයා වූ උසභයා, සිය වෘෂභ බලයෙන් යුක්ත වූයේ සතර පයින් බිම දැඩිව මිරිකාගෙන නොසෙල්වී සිටී ද එලෙසින් ම තථාගතයන් වහන්සේ ද දසවිධ තථාගත බලයෙන් යුතුවූයේ සතර වෛශාරද්‍ය නම් වූ පාද සතරින් අට පිරිස නම් වූ භූමිය මිරිකාගෙන දෙවියන් සහිත ලෝකයේ කිසිම සතුරෙකු-පස මිතුරෙකු විසින් කම්පා කල නොහැකි වූ සේක් නොසෙල්වී සිටින සේක. මෙසේ සිටිනුයේ ම ඒ “ආසභණ්ඨානං පටිජානාති” යි ශ්‍රේෂ්ඨ ස්ථානයට පැමිණෙන සේක. ප්‍රතික්ෂේප නොකරයි. තමා කෙරෙහි දොස් ආදිය නොනගයි. එනිසා “ශ්‍රේෂ්ඨ ම ස්ථානයට පැමිණේ” යැයි කියන ලදී.