5-10. සිඛී ආදි සූත්‍ර වර්ණනා
පස්වන සූත්‍රාදියෙහි “සිඛිස්ස භික්ඛවෙ” යනාදී පදයෙන්ගේ “මහණෙනි! සිඛී බුදුරදුන් ද” යනුවෙන් යොදා අර්ථ නොගත යුතුයි. කුමක් නිසා ද? මේ සූත්‍ර සියල්ල එකම අසුනක හිඳ (එකම අවස්ථාවක) නොදෙසූ බැවිනි. නොයෙක් නොයෙක් තැන්වල හිඳ, බුදුපියාණන් වහන්සේ විසින් මේ සූත්‍ර දේශනා කළ සේක. නමුත් අර්ථය සෑම සූත්‍රයකම එක හා සමානය. බෝධිපල්ලංකයේ වැඩසිටියා වූ සියලුම බෝසත්වරුන්ට අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ “අතීතයේ වැඩසිටි බෝසත්වරු ප්‍රතීත්‍ය සමුප්පාදය විමසා බලා බුද්ධත්වයට පත්වූහ” යි නොපවසයි. යම්සේ ප්‍රථම කල්පික කාලයේ වැටුණු වැස්සේ දිය ගිය මාර්ගයෙන් ම, එම කල්පයේ ඊට පසුව වැටෙන වැසි දිය ද ගලායන්නාක් මෙන් ඒ ඒ පෙර බුදුවරු ගමන් කළ මාර්ගයේ ම පසුව පහළ වන බුදුවරු ගමන් කරති. “සියලු ම බෝසත්වරු ආනාපාන චතුර්ථ ධ්‍යානයෙන් නැගී සිට ප්‍රතීත්‍ය සමුත්පාදයෙහි ඤාණය පිහිටුවා, එය අනුලෝම-ප්‍රතිලෝම වශයෙන් විමසා බලා බුද්ධත්වයට පත්වෙති” යි යන පිළිවෙල මේ සූත්‍ර හතෙහිම “බුද්ධ විදර්ශනාව” නාමයෙන් දක්වන ලදී.
පළමු බුද්ධ වර්ගයයි.
2. අහාර වර්ගය
1. ආහාර සූත්‍ර වර්ණනාව
ආහාර වර්ගයේ පළමු සූත්‍රයේ “ආහාරා” යනු ප්‍රත්‍යයයි. හේතුප්‍රත්‍යයෙන් තමඵලය ගෙනයන්නේ යන අරුතින් (ආහාරන්තීති) “ආහාරා” නම් වේ. “භූතානං වා සත්තානං” යනාදියෙහි “භූතා” යනු උපන්නා වූ, ඉපදුනා වූ යන අර්ථයයි. “සම්භවෙසිනො” යනු යමෙක් උපතක්, ජාතියක්, ඉපදීමක් සොයත් ද ගවේෂණය කරත් ද ඔවුහුය. එහි සතර යෝනිවල අණ්ඩජ හා ජලාබුජ සත්ත්වයෝ යම්තාක් කල් බිත්තර කටුව හෝ ගර්භාෂය නොබිඳිත්ද ඒ තාක් ‘සම්භවේසී’ නම් වෙති. බිත්තරයත් ගර්භාෂයත් බිඳ පිටත නික්මෙත් ද එවිට ඔවුහු “භූත” නම් වේ. සංසේදජයෝ ද ඕපපාතිකයෝ ද පළමු චිත්තක්ෂණයෙහි “සම්භවේසී” නම් වෙති. දෙවන චිත්තක්ෂණයේ සිට ඔවුහු ද භූත නම් වෙති. යම් ඉරියව්වකින් පහල වී, එම ඉරියව්ව වෙනස් නොකරන තාක් කල් ඔවුහු සම්භවේසී නම් වෙති. ඉරියවු වෙනස් කළ පසුව ‘භූත’ නම් වෙති. නැතිනම් භූත යනු උපන්-හටගත් සත්ත්වයෝය. එබඳු භූත වූ සත්ත්වයෙක් නැවත නූපදින සංඛ්‍යාවට පැමිණියේ එනම් ක්ෂීණාස්‍රවයන් වහන්සේලාට භාවිත මේ තවත් නමකි. නැවත උපතක් සොයන්නෝ සම්භවේසී නම් වෙති. ප්‍රහීණ නොකල භව සංයෝජන ඇති බැවින් අනාගතයෙහි ද උපතක් සොයන - සේචයන්ට හා පුහුදුන් පුද්ගලයන්ට භාවිත වේ තවත් නාමයකි. මෙසේ සියලුම ආකාරයෙන් මේ පද දෙකින් සෑම සත්ත්වයෙක්ම අදහස් කරනු ලැබේ. (හාත්පසින් ගනු ලැබේ.) “වා” ශබ්දය මෙහිදී සම්පිණ්ඩනය කිරීම් අර්ථයෙන් යෙදී ඇත. එනිසා භූතයෝ ද සම්භවේසියෝ ද යනුවෙන් මෙහි අර්ථ දතයුතුයි.
“ඨිතියා” යනු සසර සිටි බවයි. “අනුග්ගහායා” - ‘අනුග්‍රහ කිරීම පිණිස’ යනුයි. මේ වචන භේදයක්මය. පද දෙකෙහිම අර්ථය එක සමානය. නැතහොත් “ඨිතියා” යනු ඒ ඒ සත්ත්වයන් තුළ උපන් ධර්මයන්ගේ අනුප්‍රබන්ධ වශයෙන් නොසිඳී පැවැත්වීම පිණිස යනුයි. “අනුග්ගහායා” යනු “නූපන් ධර්මයන්ගේ ඉපදීම පිණිස උපකාර කිරීමයි.” මේ දෙපදයේදී භූතයන්ගේ පැවැත්ම මෙන්ම අනුග්‍රහ පිණිස ද සම්භවේසීන්ගේ පැවැත්ම මෙන් ම අනුග්‍රහ පිණිසද යනුවෙන් උභය අර්ථ දතයුතුය.
“කබළිංකාරො ආහාරො” පිඬුකර ගිලදැමිය යුතු ආහාරය. බත්, පිට්ටු ආදී ආහාර ද්‍රව්‍යයන්ගේ ඕජාවට භාවිත මේ තවත් වදනකි. “ඕළාරිකො වා සුඛුමො වා” ආහාර ද්‍රව්‍යයන්ගේ දැඩි වූ බැවින් ඕළාරික වූ, සියුම් වූ, සූක්ෂම රූප ඇතුලත් බැවින් කබලිංකාර ආහාරය සූක්ෂම වේ. එයද ඒ වස්තූන්ගේ ඕළාරික බව හා සූක්ෂම බව උපමාකොට හෝ සමානකොට දතයුතුය.