4. විපස්සී සූත්ර වර්ණනාව
සිවුවැනි සූත්රයෙහි “විපස්සිස්ස” යනු ඒ බෝධිසත්වයන්ගේ නේත්රයෝ, යම්සේ කිසියම් දෙයක් බලන ලෞකික මිනිසුන්ගේ අල්ප කර්මයකින් හටගත් ඇස්වල කර්මජ ප්රසාදයේ දුර්වල බැවින් අධිකව සැලෙත්ද එලෙසින් නොසැලෙති. ප්රබල කර්මයකින් හටගත් කර්මජ ප්රසාදයේ බලවත්කම නිසා තාවතිංස දෙවියන්ගේ මෙන් නොසැලෙන, ඇසිපිය හෙළීම් ඇති ඇස් ඇතිවිය. එනිසා කියන ලදී. “මහණෙනි! ඇසිපිය හෙලීම් නැතුව කුමරු බලා සිටී යි කියා විපස්සි මේ එහි අදහසයි. - ඇසිපිය හෙළීමක් අතර දී ඇතිවන අඳුරුවීමක් පවා නොමැතිව “ඉතා පිරිසිදුව දකියි”, “විවෘත වූ ඇස්වලින් බලයි” යන අර්ථයෙන් විපස්සී නම් වේ. ඒ කෙසේ වෙතත් ප්රබල කර්මයකින් උපන්, කර්මජ ප්රසාදයේ බලවත්කමින් පශ්චිම භවික වූ සියලු බෝධිසත්ත්වයන්ගේ ඇස් නොසැලේ. එනිසා ඒ බෝසත් හු “විපස්සී” නාමය ලැබූහ.
තවද “විමසුම් සහගතව බලයි” යන අර්ථයෙන් විපස්සී නම් වේ. “විමසා බලයි” යන අර්ථයයි. එක් දිනක් විනිශ්චාසනයේ හිඳ නඩු විසඳන රජුගේ ඇකයේ අලංකාරව සැරසූ බෝධිසත්වයෝ වඩාගෙනවුත් තබන ලදී. රජු බෝසත් කුමරු ඇකයේ තබාගෙන නලවමින් සිටියදී ම ඇමතියෝ වස්තු හිමියාට වස්තු අහිමි කළහ. බෝසත් ළදරුවා කෙළවරක් නොමැතිව ශබ්ද නිකුත් කිරීම ඇරඹුවේය රජු “මේ කිමෙක්ද? සොයා බලවු” යි කීවේය. සොයා බලනුයේ ඊට හේතු කිසිවක් නොදැක, රිදීමක් ඇති වූ හෙයින් මෙසේ හඬන ලදැයි සිතා, වස්තු හිමියාට ම වස්තුව හිමිකර දෙන ලදී. “මේ කුමරු දැන දැන ම මෙසේ ශබ්ද පිට කරත් ද?” යි විමසනු පිණිස නැවතත් වස්තු හිමියාට වස්තු අහිමි කළහ. එවිට බෝසත් කුමරු පෙර සේම ශබ්ද නිකුත් කිරීමට පටන් ගත්තේය. ඉක්බිති රජතුමා “මේ මහා පුරුෂයෙකි” යි දැන එතැන් පටන් අප්රමාදී වූයේය. එනිසා කියන ලදී. “මහණෙනි! විමසමින් - පිරික්සමින් කුමරු නිවැරදි දේ දැනගනියි යන අරුතින් පමණට වැඩියෙන් එසේ කිරීම නිසා “විපස්සී”, “විපස්සී” යන නම ඇතිවිය.
“භගවතෝ” යනු භාග්ය සම්පන්න පුද්ගලයාට යනුයි. “අරහතො” යනු රාගාදී සතුරන් නැසූ බැවින් සංසාරය නම් චක්රයේ අරසිඳලූ බැවින්, සිව්පසය ලැබීමට සුදුසු වූ හෙයින් “අරහ” නම් ගුණයෙන් යුක්ත වූ බැවින්, හටගත් නම් ඇත්තහුට යනුයි “සම්මා සම්බුද්ධස්ස” යනු යහපත් නය හේතුවෙන්. තමන් වහන්සේ විසින්ම වෙන්වෙන්ව සිදුකළ පුරුෂ කාර්ය වශයෙන් සිව් සත්යය අවබෝධ කළ පුද්ගලයාට යනුයි “පුබ්බේව සම්බොධා” යන්නෙහි සම්බෝධ යනු සතර මාර්ගයේ පවතින ඥානයයි. ඒ “ඤාණය ලැබීමට පෙර” යන අර්ථයයි. “බෝධිසත්තස්සෙව සතො” යන මෙහි බෝධි යනු ඤාණයයි. ඒ බෝධියේ ඇලුණු පුද්ගලයා බෝධිසත්ත නම් වේ. නැණවතා, ප්රඥාවන්තයා, පණ්ඩිතයා, යන අර්ථ එහි ඇත. මුල්ම බුදුවරුගේ පාදමූලයේදී නියත විවරණ ලැබූ තැන් පටන්, ඒ මහා සත්ත්වයා පණ්ඩිතයෙක් වේ. අඳබාලයෙක් නොවේ. යම්සේ ජලයෙන් නැගී අවුත් දියමත සිටි මෝරාගිය පියුමක්, හිරු රැස් ගැටීමෙන් ඒකාන්තයෙන් “මැනවින් ප්රබෝධමත් වන්නේයැ” යි, ප්රබෝධමත් වූ පියුමකැ” යි කියනු ලැබේද; එලෙසින්ම බුදුවරුන්ගේ සමීපයේ දී විවරණ ලද බැවින් ඒකාන්තයෙන් නිරතුරුව පාරමී පුරා “අවබෝධ කරගන්නේයැ” යි, “අවබෝධ කරගත් සත්ත්වයෙකැයි” යන අරුතින් බෝධිසත්ත්ව නම් වේ. යම් ඒ සතර මාර්ග සංඛ්යාත වූ ‘බෝධිය’ ප්රාර්ථනා කරමින් පවතිනුයේ ද බෝධියෙහි ඇලුණු - එල්බුණු අරුතින්ද බෝධිසත්ත්ව නම් වේ. මෙසේ ගුණයන්ගෙන් උපන් - හටගත් නාමයක් වන බෝධිසත්ත්ව වූම. “කිච්ඡං” යනු දුකයි. “ආපන්නො” යනු පැමිණියේ ය යනුයි. මෙය කියන ලදී. “යම් හෙයකින් මේ සත්ව ලෝකයා දුකට පැමිණියේය” යනුවෙනි. “චවති ච උප්පජ්ජති ච” යන මෙය භවයෙන් භවයට නොසිඳී යන චුති-ප්රතිසන්ධි වශයෙන් කියන ලදී. “නිස්සරණං” යනු නිවණයි. නිවීමයි. එහි වනාහි ජරාමරණ දුකින් නික්මුණු බැවින් ඊට නිස්සරණ යැයි කියනු ලැබේ. “කුදාස්සු නාමා” යනු කවර නම් කාලයක යන අරුත් දේ.
“යොනිසොමනසිකාරා” යන උපාය සිහිකිරීමෙන්, මාර්ගය නුවණින් මෙනෙහි කිරීමෙන්. “අහු පඤ්ඤාය අභිසමයො” යනු ප්රඥාව ඇති කල්හි ජරාමරණ කාරණයන්ට හේතුවන කරුණුවල අවබෝධය, රැස්වීම හා එක්වීම වේ. “ජාති” ප්රත්ය හේතුවෙන් ජරාමරණ දෙක ඇතිවේය යන මෙය, මෙතැනදී දැනගන්නා ලදී යන අර්ථයයි. නැතිනම් “යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය” යන නුවණින් මෙනෙහි කිරීමෙන්ද ප්රඥාවෙන්ද අවබෝධය ඇතිවේ. ඉපදීම ඇතිකල්හි “ජරාමරණ දෙක” ඇතිවේ යැයි මෙසේ ජරාමරණ දෙක පිළිබඳ සත්යාවබෝධ වේ යන අර්ථයි. මේ ක්රමය අනික් සියලු තැන්හිද මෙපරිදිම වේ.
“ඉතිහිදං” යනු මේ අයුරින් යනුයි. “සමුදයො” යනු එකොළොස් තැනෙක්හි ආ සංස්කාරාදීන්ගේ ඇතිවීම-හටගැනීම සම්පිණ්ඩනය කර දැක්වීමයි. “පුබ්බෙ අනනුස්සුතෙසු” යනු අවිද්යා ප්රත්යයෙන් සංස්කාරාදියේ ඇතිවීම පිළිබඳව මීට පෙර නොඇසූ විරූ චතුරාර්ය සත්ය ධර්මයන් හිය. “චක්ඛුං” ආදිය ඤාණයට ම යෙදුණු සමාන වදන්ය. මෙහිදී ඤාණය දැක්වීම සඳහා ම “චක්ඛු” යන්න දක්වන ලදී. ඤාණය යන අර්ථයෙන් “ඤාණං” වේ. විශේෂ දැනීම අර්ථයෙන් “පඤ්ඤා” වේ. සත්යාවබෝධ කිරීම් අර්ථයෙන් “විජ්ජා” නම් වේ. ආලෝකය (ඤාණාලෝකය) යන අරුතින් “ආලොකො” යනුවෙන් කියන ලදී. මෙහිදී චතුරාර්ය සත්යයන්හි ලෞකික ලෝකෝත්තර මිශ්ර වූ ආකාරය විස්තර කරන ලදැයි දතයුතුය. නිරුද්ධ වන වාරයේ දී ද මෙලෙසින්ම අර්ථ දතයුතුය.
සිවුවන සූත්රයයි.
5-10. සිඛී ආදි සූත්ර වර්ණනා
පස්වන සූත්රාදියෙහි “සිඛිස්ස භික්ඛවෙ” යනාදී පදයෙන්ගේ “මහණෙනි! සිඛී බුදුරදුන් ද” යනුවෙන් යොදා අර්ථ නොගත යුතුයි. කුමක් නිසා ද? මේ සූත්ර සියල්ල එකම අසුනක හිඳ (එකම අවස්ථාවක) නොදෙසූ බැවිනි. නොයෙක් නොයෙක් තැන්වල හිඳ, බුදුපියාණන් වහන්සේ විසින් මේ සූත්ර දේශනා කළ සේක. නමුත් අර්ථය සෑම සූත්රයකම එක හා සමානය. බෝධිපල්ලංකයේ වැඩසිටියා වූ සියලුම බෝසත්වරුන්ට අන්ය වූ ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්රහ්මයෙක් හෝ “අතීතයේ වැඩසිටි බෝසත්වරු ප්රතීත්ය සමුප්පාදය විමසා බලා බුද්ධත්වයට පත්වූහ” යි නොපවසයි. යම්සේ ප්රථම කල්පික කාලයේ වැටුණු වැස්සේ දිය ගිය මාර්ගයෙන් ම, එම කල්පයේ ඊට පසුව වැටෙන වැසි දිය ද ගලායන්නාක් මෙන් ඒ ඒ පෙර බුදුවරු ගමන් කළ මාර්ගයේ ම පසුව පහළ වන බුදුවරු ගමන් කරති. “සියලු ම බෝසත්වරු ආනාපාන චතුර්ථ ධ්යානයෙන් නැගී සිට ප්රතීත්ය සමුත්පාදයෙහි ඤාණය පිහිටුවා, එය අනුලෝම-ප්රතිලෝම වශයෙන් විමසා බලා බුද්ධත්වයට පත්වෙති” යි යන පිළිවෙල මේ සූත්ර හතෙහිම “බුද්ධ විදර්ශනාව” නාමයෙන් දක්වන ලදී.