3. පටිපදා සූත්ර වර්ණනාව
තෙවැනි සූත්රයේ “මිච්ඡා පටිපදං” යනු මේ සසරින් මිදීම ගෙන දෙන ප්රතිපදාවක් නොවේ. නිර්වාණ ප්රතිපදාවක් නොවේ. අවිද්යා ප්රත්යයයෙහි පින් රැස්කිරීමක් ද (පුඤ්ඤාභි සංඛාරයක්ද) ආනෙඤ්ජාභි සංකාරයක් ද ඇත්තේ ය. එය කෙසේ නම් මිත්යා ප්රතිපදාවක් වේ ද? සසර පැවැත්මට ශීර්ෂයක් බැවිනි. යම්කිසිවක් භවත්රය සංඛ්යාත වූ සසර පැවැත්මට පැමිණ පවතිනුයේ, යටත් පිරිසෙයින් පඤ්චාභිඤ්ඤා සහ අෂ්ට සමාපත්තීහුද යන මේ සියල්ල සසර පැවැත්මට පක්ෂවේ. සසර පැවැත්මට ශීර්ෂයක් වේ. එනිසා ම මිත්යා පිළිවෙතක් ද වේ. යම් කිසිවෙක් සසර පැවැත්මට විරුද්ධ වූ නිවණ ප්රාර්ථනා කරගෙන, කැඳහැන්දක් පමණ හෝ කොළමිටක් පමණ හෝ දීම යන මේ සියල්ල සසර පැවැත්මට විරුද්ධ වූ බැවින් සම්යක් ප්රතිපදාවක් වේ. රහත්බවට නොපැමිණ එම කාර්යය කෙළවර නොවේ. මෙසේ අනුලෝම වශයෙන් මිත්යා පිළිවෙතත් ප්රතිලෝම වශයෙන් සම්යයක් ප්රතිපදාවත් දේශනා කරන ලදැයි දත යුතුයි. මේ ප්රතිපදාව විමසා නිවණට යොමු වූවහුට එය පවරා දීමෙන් ම ප්රතිපදාව ද පවරාදෙන ලද්දේ නොවේද? මෙයට ‘නිවන් ප්රතිපදාව’ යන නම පමණක් නොව ‘විදසුන් සහිත සතර මාර්ගයන්ට ම’ මේ නම යෙදේ. එනිසා ප්රශ්නයෙන් පැවරූ පද භාජනය නොගැලපේ. නොගැලපෙන්නේද නොවේ. කුමක් නිසාද? ඵලයෙන් ප්රතිපදාව දක්වන ලද බැවිනි. මෙහි ඵලයෙන් ම ප්රතිපදාව දක්වන ලදී. “අවිජ්ජායත්වෙව අසෙස විරාගනිරොධා සංඛාර නිරොධො” යනු මෙසේ නිරෝධ සංඛ්යාත වූ නිවණ, යම් ප්රතිපදාවක ඵලය වී ද, “අයං වුච්චති භික්ඛවෙ! සම්මා පටිපදා” යනු මෙහි මේ අර්ථයයි. මේ අර්ථයෙහි “අසෙසවිරාග නිරොධා” යන මෙහි “විරාගය” යනු නිරෝධයට ම සමාන වදනකි. “ඉතිරි නොවූ විරාගය”, “ඉතිරි නොවූ නිරෝධය” යනු මෙහි ඇති අදහසයි. යම් ඒ, විරාග සංඛ්යාත වූ මාර්ගයකින් අශේෂ වූ නිරෝධය වේ නම් එය දැක්වීමට මේ පද බෙදීම පවසන ලදී. මෙසේ ඇති කල්හි ආනුභාව සහිත ප්රතිපදාව බෙදා දැක්වූයේ වේ. මෙසේ මෙම සූත්රයෙහිද සසර පැවැත්මම කියන ලදී.
තෙවැනි සූත්රයයි.
4. විපස්සී සූත්ර වර්ණනාව
සිවුවැනි සූත්රයෙහි “විපස්සිස්ස” යනු ඒ බෝධිසත්වයන්ගේ නේත්රයෝ, යම්සේ කිසියම් දෙයක් බලන ලෞකික මිනිසුන්ගේ අල්ප කර්මයකින් හටගත් ඇස්වල කර්මජ ප්රසාදයේ දුර්වල බැවින් අධිකව සැලෙත්ද එලෙසින් නොසැලෙති. ප්රබල කර්මයකින් හටගත් කර්මජ ප්රසාදයේ බලවත්කම නිසා තාවතිංස දෙවියන්ගේ මෙන් නොසැලෙන, ඇසිපිය හෙළීම් ඇති ඇස් ඇතිවිය. එනිසා කියන ලදී. “මහණෙනි! ඇසිපිය හෙලීම් නැතුව කුමරු බලා සිටී යි කියා විපස්සි මේ එහි අදහසයි. - ඇසිපිය හෙළීමක් අතර දී ඇතිවන අඳුරුවීමක් පවා නොමැතිව “ඉතා පිරිසිදුව දකියි”, “විවෘත වූ ඇස්වලින් බලයි” යන අර්ථයෙන් විපස්සී නම් වේ. ඒ කෙසේ වෙතත් ප්රබල කර්මයකින් උපන්, කර්මජ ප්රසාදයේ බලවත්කමින් පශ්චිම භවික වූ සියලු බෝධිසත්ත්වයන්ගේ ඇස් නොසැලේ. එනිසා ඒ බෝසත් හු “විපස්සී” නාමය ලැබූහ.
තවද “විමසුම් සහගතව බලයි” යන අර්ථයෙන් විපස්සී නම් වේ. “විමසා බලයි” යන අර්ථයයි. එක් දිනක් විනිශ්චාසනයේ හිඳ නඩු විසඳන රජුගේ ඇකයේ අලංකාරව සැරසූ බෝධිසත්වයෝ වඩාගෙනවුත් තබන ලදී. රජු බෝසත් කුමරු ඇකයේ තබාගෙන නලවමින් සිටියදී ම ඇමතියෝ වස්තු හිමියාට වස්තු අහිමි කළහ. බෝසත් ළදරුවා කෙළවරක් නොමැතිව ශබ්ද නිකුත් කිරීම ඇරඹුවේය රජු “මේ කිමෙක්ද? සොයා බලවු” යි කීවේය. සොයා බලනුයේ ඊට හේතු කිසිවක් නොදැක, රිදීමක් ඇති වූ හෙයින් මෙසේ හඬන ලදැයි සිතා, වස්තු හිමියාට ම වස්තුව හිමිකර දෙන ලදී. “මේ කුමරු දැන දැන ම මෙසේ ශබ්ද පිට කරත් ද?” යි විමසනු පිණිස නැවතත් වස්තු හිමියාට වස්තු අහිමි කළහ. එවිට බෝසත් කුමරු පෙර සේම ශබ්ද නිකුත් කිරීමට පටන් ගත්තේය. ඉක්බිති රජතුමා “මේ මහා පුරුෂයෙකි” යි දැන එතැන් පටන් අප්රමාදී වූයේය. එනිසා කියන ලදී. “මහණෙනි! විමසමින් - පිරික්සමින් කුමරු නිවැරදි දේ දැනගනියි යන අරුතින් පමණට වැඩියෙන් එසේ කිරීම නිසා “විපස්සී”, “විපස්සී” යන නම ඇතිවිය.
“භගවතෝ” යනු භාග්ය සම්පන්න පුද්ගලයාට යනුයි. “අරහතො” යනු රාගාදී සතුරන් නැසූ බැවින් සංසාරය නම් චක්රයේ අරසිඳලූ බැවින්, සිව්පසය ලැබීමට සුදුසු වූ හෙයින් “අරහ” නම් ගුණයෙන් යුක්ත වූ බැවින්, හටගත් නම් ඇත්තහුට යනුයි “සම්මා සම්බුද්ධස්ස” යනු යහපත් නය හේතුවෙන්. තමන් වහන්සේ විසින්ම වෙන්වෙන්ව සිදුකළ පුරුෂ කාර්ය වශයෙන් සිව් සත්යය අවබෝධ කළ පුද්ගලයාට යනුයි “පුබ්බේව සම්බොධා” යන්නෙහි සම්බෝධ යනු සතර මාර්ගයේ පවතින ඥානයයි. ඒ “ඤාණය ලැබීමට පෙර” යන අර්ථයයි. “බෝධිසත්තස්සෙව සතො” යන මෙහි බෝධි යනු ඤාණයයි. ඒ බෝධියේ ඇලුණු පුද්ගලයා බෝධිසත්ත නම් වේ. නැණවතා, ප්රඥාවන්තයා, පණ්ඩිතයා, යන අර්ථ එහි ඇත. මුල්ම බුදුවරුගේ පාදමූලයේදී නියත විවරණ ලැබූ තැන් පටන්, ඒ මහා සත්ත්වයා පණ්ඩිතයෙක් වේ. අඳබාලයෙක් නොවේ. යම්සේ ජලයෙන් නැගී අවුත් දියමත සිටි මෝරාගිය පියුමක්, හිරු රැස් ගැටීමෙන් ඒකාන්තයෙන් “මැනවින් ප්රබෝධමත් වන්නේයැ” යි, ප්රබෝධමත් වූ පියුමකැ” යි කියනු ලැබේද; එලෙසින්ම බුදුවරුන්ගේ සමීපයේ දී විවරණ ලද බැවින් ඒකාන්තයෙන් නිරතුරුව පාරමී පුරා “අවබෝධ කරගන්නේයැ” යි, “අවබෝධ කරගත් සත්ත්වයෙකැයි” යන අරුතින් බෝධිසත්ත්ව නම් වේ. යම් ඒ සතර මාර්ග සංඛ්යාත වූ ‘බෝධිය’ ප්රාර්ථනා කරමින් පවතිනුයේ ද බෝධියෙහි ඇලුණු - එල්බුණු අරුතින්ද බෝධිසත්ත්ව නම් වේ. මෙසේ ගුණයන්ගෙන් උපන් - හටගත් නාමයක් වන බෝධිසත්ත්ව වූම. “කිච්ඡං” යනු දුකයි. “ආපන්නො” යනු පැමිණියේ ය යනුයි. මෙය කියන ලදී. “යම් හෙයකින් මේ සත්ව ලෝකයා දුකට පැමිණියේය” යනුවෙනි. “චවති ච උප්පජ්ජති ච” යන මෙය භවයෙන් භවයට නොසිඳී යන චුති-ප්රතිසන්ධි වශයෙන් කියන ලදී. “නිස්සරණං” යනු නිවණයි. නිවීමයි. එහි වනාහි ජරාමරණ දුකින් නික්මුණු බැවින් ඊට නිස්සරණ යැයි කියනු ලැබේ. “කුදාස්සු නාමා” යනු කවර නම් කාලයක යන අරුත් දේ.