2. විභඞ්ග සූත්ර වර්ණනාව
දෙවැනි සූත්රයෙහිද ඉහත කියන ලද පරිදි සූත්ර නික්ෂේපය දතයුතුය. මෙම සූත්රයේ ඇති විශේෂත්වය මෙයයි. - පළමු සූත්රය උග්ඝටිතඤ්ඤූ පුද්ගලයන්ගේ අදහස් වශයෙන් සංක්ෂිප්තව දක්වන ලදී. මෙම සූත්රය විපචිතඤ්ඤූ පුද්ගල අදහස් වශයෙන් සවිස්තරව දක්වන ලදී. මේ සූත්රයේ දී වනාහී වැල් රැගෙන යන පුද්ගලයින් සතර දෙනාගේ උපමාව කිව යුතුයි. එය විසුද්ධිමාර්ගයේ කියන ලද්දේම ය. යම්සේ වැල් රැගෙන යන පුරුෂයෙකු වැලේ අග දැක, ඒ අනුසාරයෙන් වැලේ මුල සොයා ගොස්, එය දැක මුලින් ම වැල සිඳගෙන කටයුත්තෙහි යොදන්නාක් මෙන් භාග්යවතුන් වහන්සේ ද විස්තරාත්මකව සූත්ර දේශනාව පවත්වන සේක්, ප්රතීත්ය සමුප්පාදයේ කෙළවර වූ ජරා-මරණ දෙකේ පටන් මුලින් ම ඇති අවිද්යාව දක්වා දේශනාව ගෙනහැර දක්වමින් නැවත සසර පැවැත්ම හා නැවැත්ම දැක්වීම් වශයෙන් දෙසුම පවත්වා නිමාකළ සේක.
එහි මේ ජරාමරණාදී විස්තර දේශනාවෙහි අර්ථ විනිශ්චයයි. පළමුකොට ජරාමරණ නිර්දේශයේ “යා තෙසං තෙසං” යන මෙය සංක්ෂිප්ත වශයෙන් නානාවිධ සත්වයන්ට සාධාරණ වූ නිර්දේශයෙකැයි දැනගත යුතුයි. “දේවදත්තගේ ජරාවට පත්වීම - සෝමදත්තගේ ජරාවට පත්වීම ආදී ලෙස මේ අයුරින් දවසක්ම කියූවත් සත්වයෝ සම්පූර්ණ වශයෙන් අදහස් නොවෙති. මෙම පද දෙකින් වනාහී කිසිම සත්වයෙක් අත් නොහරින ලදී. සෑම සත්වයෙක්ම අන්තර්ගත කරගන්නා ලදී. එනිසා - “මේ සංක්ෂිප්ත වශයෙන් නානාවිධ සත්වයන්ට සාධාරණ වූ නිර්දේශයකැ” යි කියන ලදී. “තම්හි තම්හි” යනු මේ ගතිජාති වශයෙන් නානාවිධ සත්ව සමූහයාට සාධාරණ වූ නිර්දේශයකි. “සත්ත නිකායෙ” යන පොදු සාධාරණ නිර්දේශයෙන් දක්වන ලද ස්වරූපය දැක්වීමකි. ජරාව-දිරායෑම ආදියෙහි “ජරා” යනු ස්වභාවය දැක්වීමකි. (ස්වභාව නිර්දේශයයි.) “ජීරණතා” යනු ආකාරය දැක්වීමකි. (ආකාරය නිර්දේශයයි.) “ඛණ්ඩිච්චං” යනාදියේ මුල් කාලත්රය ඉක්මවීමෙන් ඇතිවන කටයුතු දැක්වීමකි. (කිච්ච නිද්දෙසො) පසුව පැවසූ දෙක ස්වභාවයෙන් වන දැක්වීමකි. (ප්රකෘති නිර්දේශයකි.) මෙහි වනාහි “ජරා” යන මේ පදයෙන් ඔහුගේ මේ ස්වභාවයැ” යි දක්වන ලද බැවින් මේ එහි ස්වභාව නිර්දේශයයි. “ජීරණතා” යනු ඔහුගේ මේ ආකාරය” යැයි දක්වන ආකාර නිර්දේශයයි. “ඛණ්ඩිච්චං” යනු “මේ කාලයන්ගේ ඉක්මයෑමෙන් වන දත් නිය කැඩෙන-බිඳෙන බවට කටයුතු කිරීමයි. “පාලිච්චං” යනු මේ කේශලෝමාදියේ ඉදෙන බවයි. ඊට කටයුතු කරන බවයි. “වලිත්තචතා” යනු මේ මස් මැලවී සම රැලි වැටෙන බවට කටයුතු කිරීමයි.” ආදී වශයෙන් දක්වන ලද මේ ඛණ්ඩිච්චාදීය තුන්කල් ඉක්මයෑමෙන් ඇතිවන කෘත්ය නිර්දේශයයි. (කටයුතු දැක්වීමයි.) ඒවා අතුරින් මේ විකාරයන්ගේ දැක්වීම් වශයෙන් ප්රකට වූ - ප්රකට දිරා යෑම දක්වන ලදී. ජලයේ හෝ සුලඟේ හෝ ගින්නේ හෝ තණ-රුක් ආදියේ කැඩී-බිඳී යෑම හෝ දැවීම හෝ ගියමග ඉතා ප්රකටය. ඒ දිය ආදී ද්රව්යයන්හි වෙනස්වීම එම ද්රව්යයේ දක්නට නැත. මෙලෙසින්ම ජරාවට පත්වීමෙන්, දත් ආදියෙහි කැඩීම්-බිඳීම් ආදී වශයෙන් පැමිණි ආකාරය පියවි ඇසින් දැකිය හැකිය. ඉතා ප්රකටය. එනමුත් දිරායෑම කැඩී-බිඳීම් ආදියෙහි නැත්තේමය. ජරා ලක්ෂණය ඇසින් දැනගත නොහැක්කේමය.
“ආයුතො සංහාති ඉන්ද්රියානං පරිපාකො” යන මේ පදවලින් කාලතික්රමණය ම මැඩපැවැත්වීම පිණිස, ආයුෂ ගෙවී යාමෙන් චක්ෂු ආදී ඉන්ද්රියයන්හි මෝරායෑම හඳුන්වාදීම පිණිස ඒවායේ ස්වභාවය-ප්රකෘතිය දක්වන ලදී. එහෙයින් මේ අවසන් ප්රකෘති ස්වභාව දෙන දක්වන ලදැයි දත යුතුයි.
එහි යම්හෙයකින් ජරාවට පත්වූවහුගේ ආයුෂ පිරිහේද එහෙයින් “ජරාව ආයුෂ පැහැර ගනියි” යනුවෙන් ඵලුපචාර වශයෙන් කියන ලදී. යම් හෙයකින් තරුණ කාලයේ අතිප්රසන්න වූ සියුම් වූ තමාගේ අරමුණ සුවසේම ගැනීම සමත් වූ ඇස් ආදී ඉන්ද්රියන්, ජරාවට පත්වූවහුට, මුහුකුරා ගිය-කළඹන ලද-අප්රකට වූ-ඔළාරික වූ සිය අරමුණ ගැනීමට අසමත් වේ. එනිසා ඉන්ද්රියන්ගේ මුහුකුරා යෑම ඵලුපචාර වශයෙන් කියන ලදී.
මෙසේ විස්තර කරන ලද ඒ සියලුම ජරාවට පත්වීම් “ප්රකට ජරාව” හා “සැඟවුණු ජරාව” වශයෙන් දෙකොටසකි. දත් ආදියේ කැඩී-බිඳීයෑම, රූපධර්මයන්හි ඇති දිරායෑම ප්රකට ජරාව නම් වේ. අරූප ධර්මයන්හි දිරායෑම මගින් එබඳු වෙනස්වීමක් නොපෙන්වන බැවින් පටිච්ඡන්න ජරාව හෙවත් සැඟවුණු ජරාව නම් වේ. නැවත ද ජරාව “අවීචි ජරාව” හා “සවීචි ජරාව” වශයෙන් කොටස් දෙකකට බෙදේ. මැණික්, රන්, රිදී, පබළු, සඳ, හිරු ආදියේ මෙන් ද මන්දදසකයේ පසුවන සත්ත්වයන්ගේ මෙන් ද මල්, ගෙඩි, දලු ආදී අජීවී වස්තූන්ගේ මෙන් ද නිරන්තරයෙන් සිදුවන වර්ණ විශේෂාදීන්ගේ දිරායෑම - අසීරුවෙන් දතයුතු බැවින් “අවීචි ජරාව” නම් වේ. එහි “නිරන්තර දිරායෑම” යන අර්ථය ඇත. සෙසු ජීව-අජීව වස්තූන්ගේ ඉහත පැවසූ පරිදි නිරන්තරව වර්ණ විශේෂාදියේ වෙනස්වීම පහසුවෙන් දැනගත හැකි බැවින් - එම දිරායෑම “සවීචි ජරා” නම් වේ යැයි දතයුතුයි.
ඉන් අනතුරුව “තෙසං තෙසං” යනාදිය ද ඉහත කියන ලද පරිදිම දතයුතුය. චුති වචන තා ආදියෙහි වනාහී “චුති” යනු චුතිවීම් වශයෙන් කියයි. මෙය ඒකසන්ධයට, සතරස්කන්ධයට හා පංචස්කන්ධයට භාවිත සමාන වදනකි. “වචනතා” යනු භාව තද්ධිත වචනයකින් ස්වභාව-ලක්ෂණ දැක්වීමකි. “භෙදො” යනු චුතිවන ස්කන්ධයන්ගේ බිඳීම්-ඉපදීම් ප්රකටව දැක්වීමකි. “අන්තරධානං” යනු බිඳුණු කළයක් මෙන් බිඳීගිය චුති ස්කන්ධයන්ගේ යම්කිසි ක්රමයකින් සිටින බව දැක්වීමකි. “මච්චුමරණං” යනු මෘත්යු සංඛ්යාත වූ මරණයයි. එයින් සමුච්ඡේද මරණාදිය වළක්වයි. “කාල” යනු මාරයාට නමකි. කාලයාගේ ක්රියාව හෙවත් කාලයා විසින් කරනු ලබන ක්රියාව “කාලකිරියා” නම් වේ. මෙසේ මෙම වචනයෙන් ලෝක සම්මුතික වූ “මරණය” හඟවයි.