නාමරූප නිර්දේශයේ - නැමෙන ලක්ෂණය “නාමං” වේ. වෙනස්වන - විකෘති වන ලක්ෂණය “රූපං” වේ. බෙදා දැක්වීමේදී වනාහි “වේදනා” යනු වේදනා ස්කන්ධයයි. “සඤ්ඤා” යනු සංඥා ස්කන්ධයයි. “චෙතනා ඵස්සො මනසිකාරො” යනුවෙන් සංස්කාර ස්කන්ධය දතයුතුයි. කැමැත්ත ද අනිකුත් සංස්කාර ස්කන්ධයේ සංග්‍රහ කරන ලද ධර්ම ඇත්තේ ද මේ ත්‍රිවිධ ධර්මය, සියලු දුර්වල සිත්වල යෙදේ. එනිසා මේ ධර්මකරුණු දැක්වීම් වශයෙන් මෙහිදී සංස්කාර ස්කන්ධය දක්වන ලදී. “චත්තාරො ච මහාභූතා” යන මෙහි “චත්තාරො” යනු සංඛ්‍යාව දැක්වීමකි. “මහාභූත” යනු පඨවි, ආපෝ, තේජෝ, වායො යන මේ සතරට භාවිත නාමයකි. කවර කරුණකින් මේ සතරට “මහාභූත” යැයි කියනු ලැබේද? මේ ආදී මහාභූත පිළිබඳ සියලු විනිශ්චයන් විසුද්ධිමාර්ගයේ රූපස්කන්ධ නිර්දේශයේ දක්වන ලදී. “චතුන්නඤ්ච මහාභූතානං උපාදාය” වෙහි වනාහී “චතුන්නං” යනු දුතියා අර්ථයේ ඡට්ඨි විභක්ති වචනයකි. “සතර මහා භූතයන්” යැයි මෙහිදී අදහස් වේ. “උපාදාය” යනු දැඩිය අල්ලා ගනියි. දැඩිව ගෙන යන අර්ථයයි. ඇතැම්හු “ආශ්‍රයකර” යැයි කියති. මෙහි පැවතිය යුතුයැයි ගත් පාඨ ශේෂයකි. මේ සමූහාර්ථයේ ඡට්ඨි විභක්ති වචනයකි. “සිව්මහාභූත සමූහයම අල්ලාගෙන පවතින රූපය” යනුවෙන් මෙහිදී අර්ථ ගතයුතුයි. මෙසේ සියලු ආකාරයෙන් පඨවි ආදී යම් සතර මහාභූත කෙනෙක් වේද, ඒ සතරමහා භූතයන්ගේ අල්ලා ගැනීමෙන් පවතින, චක්ෂු ආයතනාදී භේදයෙන් අභිධර්ම පාළියෙහි ම කියන ලදී. ක්‍රමයෙන් ම විසිතුන් වැදෑරුම් රූපය ම “ඒ සියලු රූපය” යැයි දතයුතුයි.
විඤ්ඤාණ නිර්දේශයේ - “චක්ඛු විඤ්ඤාණං” යනු ඇසෙහි පවතින අරමුණ ගැන දැනගැනීමයි. ඇසෙන් හටගත් විඤ්ඤාණය චක්ෂු විඤ්ඤාණයයි. මෙලෙසින් ම සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ හා කාය විඤ්ඤාණ පිළිබඳව දතයුතුයි. අනික වනාහී මනසින්ම දැනගත්තේ “මනො විඤ්ඤාණං” මනො විඤ්ඤාණයයි. දෙපස් විඤ්ඤාණ වර්ජිත වූ ත්‍රෛභූමික විපාක චිත්තයට මේ තවත් වචනයකි.
සංස්කාර නිර්දේශයේ - ප්‍රතිසංස්කරණ ලක්ෂණය “සංඛාරො”නම් වේ. බෙදා දැක්වීමේදී වනාහි - “කායසංඛාරො” යනු කයෙහි පවතින සංස්කාරයයි. කායද්වාරයේ සෙළවීම් වශයෙන් පවතින කාමාවචර කුසල සිත්වලින් අටක් ද අකුසල සිත් දොළොස ද යන විස්සක් වූ කාය සංචේතනාවන්ට ම යෙදෙන තවත් නමකි. “වචී සංඛාරො” යනු වචනයේ පවතින සංස්කාරයයි. (රැස් කිරීමයි) වාග් ද්වාරයෙන් වචනභේද ලෙස පවතින විස්සක් වූ වාග් සංචේතනාවන්ට ම යෙදෙන තවත් නමකි. “චිත්ත සංඛාරො” යනු සිතෙහි පවතින සංස්කාරයයි. (රැස්කිරීමයි.) කාය - වාග් ද්වාර දෙකෙහි සෙළවීමක් නොකර, රහසිගතව හිඳ සිතන්නහුට, ලෞකික කුසලාකුසල වශයෙන් ඇතිවන විසිනවයක් වූ මනෝ සංචේතනාවන්ටම යෙදෙන තවත් නමකි.
අවිද්‍යා නිර්දේශයේ “දුක්ඛෙ අඤ්ඤාණං” යනු දුක්ඛ සත්‍ය පිළිබඳව නො දැනීමයි. “මෝහය” යනු මීට යෙදෙන තවත් නමකි. මේ ක්‍රමයම “දුක්ඛ සමුදයෙ අඤ්ඤාණං” යනාදියෙහි ද යෙදිය යුතුයි. මෙහි සතර කරුණකින් දුකෙහි නොදැනීම දතයුතුයි. අන්තර්ගත වශයෙන් (අන්තෝගධතෝ) වස්තු වශයෙන් (වත්ථුතො) අරමුණු වශයෙන් (ආරම්මණනෝ) සහ වැසීම්-සැඟවීම් (පටිච්ඡාදනතො) වශයෙනි. එසේම ඒ දුක්ඛ සත්‍යයෙහි ඇතුලත් වූ බැවින් දුකෙහි අන්තර්ගත වේ. දුක්ඛ සත්‍යයේ ආශ්‍රය ප්‍රත්‍යභාවයෙන් “වත්ථු” නම් වේ. අරමුණු ප්‍රත්‍ය වශයෙන් “ආරම්මණ” නම් වේ. දුක්ඛ සත්‍යය මෙයින් වසයි. - සඟවයි යන අරුතින් “පටිච්ඡාදන” නම් වේ. එහි සත්‍යය වූ ලක්ෂණ, ප්‍රතිවේධ, නිවාරණයෙන් ඤාණය පැවතීම පිණිස ඉඩනොදීමෙන්
“දුක්ඛ සමුදයෙහි නොදැනීම” තුන් කරුණකින් දතයුතුය. වස්තු වශයෙන්, ආරම්මණ වශයෙන් හා පටිච්ඡාදන වශයෙනි. නිරෝධ ප්‍රතිපදාවෙහි නොදැනීම එක් කරුණකින් ම දතයුතුයි. එනම් පරිච්ඡාදන (සැඟවීම්) වශයෙනි. නිරෝධ ප්‍රතිපදාව ද පටිච්ඡාදකයක්මය. නොදැනීමත් ඒ සත්‍ය වූ ලක්ෂණ ප්‍රතිවේධ නිවාරණයෙන්ද එහි ඤාණය පැවතීමට ඉඩ නොදීමෙන් නොදැනීම වේ. එහි සත්‍යද්වයෙහි ඇතුලත් නොවූ බැවින්, එහි එම ඥානය අන්තර්ගත නොවේ. ඒ සත්‍ය දෙක සහජාත නොවූ බැවින් වස්තු නාමය නොයෙදේ. එය අරබයා නොපැවතීම් වශයෙන් අරමුණු නොවේ. පසුව දැක්වූ සත්‍ය දෙක අතිශය ගැඹුරු බැවින් දැකීම අපහසුය. එහි අන්ධභූත වූ නොදැනීම නොපවතියි. මුලින් දැක්වූ සත්‍ය දෙක කිවයුතු බැවින් හා ස්වභාව ලක්ෂණයන්ගේ අවබෝධය අපහසු බැවින් ගැඹුරුය. එහි වෙනස්වීම්-විපර්‍යාසයන් ගැනීම් වශයෙන් පවතියි.