3. දේවහිත සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි - වාතෙහි උදර වාතයෙන්; වසර සයක් දුෂ්කර ක්‍රියා කරන, මුං යුෂ පතක් ආදී ආහාර ගන්නා භාග්‍යවතුන් වහන්සේගේ උදර වාතය, දුෂ්කර අහර ගැනීමෙනුත් දුක් සහිත නිදා ගැනීමෙනුත් කිපිණි. පසු කලෙක සම්බෝධියට පැමිණ ප්‍රණීත භෝජන අනුභව කරන්නේ වුව ද අතරින් පතර ඒ ආබාධය තමනට දක්වන්නේ මය. ඒ අරභයා මෙය පවසන ලදි. උපට්ඨාකො හොති ප්‍රථම බෝධියෙහි (බුදු වූ අලුත) නිබඳ බුදු උපස්ථායකයකු නො සිටි කල්හි උපස්ථායකයා වේ. ඒ සමයෙහි බුදුන් වහන්සේට අසූ මහා තෙරුන් අතර උපස්ථායකයෙකු නො වූ විරූයේ නො වේ. නාගසමාල, උපවාණ, සුනක්‍ඛත්ත, චුන්ද සාමණේර, සාගත, බෝධි, මෙඝිය (යන අය සිටියහ). මේ පාළියෙහි එන උපස්ථායකයෝ ය. මේ කාලයෙහි උපවාණ තෙරුන් වහන්සේ උදයෙන් ම නැගිට ඇුතුළු කුටි ඇමදීම, දත් කූරු තැබීම, නෑමට ජලය සැපයීම, පා සිවුරු ගෙන පසුපස යාම ආදී භාග්‍යවතුන් වහන්සේගේ සියලු උපස්ථාන කටයුතු කළහ.
උපසඞ්කමි ප්‍රථම බෝධියෙහි වසර විස්සක් නිබඳ ව ආරණ්‍යය ම වේ. භික්‍ෂුසංඝයාට උණු දියෙන් (ගත) උණුසුම් කිරීම පවා භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත නො කරන ලදි. ඒ බ්‍රාහ්මණයා ද උදුන් බඳවා මහ හැළි උදුනට නංවා (උදුනෙහි තබා) උණු දිය සකසා නාන සුණු වර්ග සමග එය විකුණමින් ජීවිකාව කර ගෙන යයි. ස්නානය කැමැත්තෝ එහි ගොස් මුදල් දී ස්නානය කොට සුවඳ වර්ග ආලේපනය කර මල් මාලා පැළඳ යත්. එහෙයින් තෙරුන් වහන්සේ එතැනට පැමිණියහ.
කිං පත්‍ථයානො කුමක් කැමැත්තේ, කිං එසං කුමක් සොයමින්, පූජිතො පූජනෙය්‍යානං මෙයින් තෙරුන් වහන්සේ බුදු රජුන්ගේ ගුණ වර්ණනා කිරීම ආරම්භ කළ සේක. ගිලනුන් හට බෙහෙත් ගැනීම බලාපොරොත්තුවෙන් ගිය අයකු විසින් ගිලනුන්ගේ ගුණ වර්ණනා කළ යුත්තේ ය යන මෙය සිරිතකි. වර්ණනාව අසා මිනිස්සු සකසා බෙහෙත් දිය යුතු යයි සිතති. සුව එළවන බෙහෙත් ලබා ගිලනා වහා ම නැගිට සිටියි. කථා කරන්නකු විසින් ද ධ්‍යාන, විමෝක්ෂ, සමාපත්ති, මාර්ග ඵල (යනාදියෙන්) පටන් ගෙන කථා කිරීම නො වටී. සිල්වතෙකි, ලජ්ජා ශීලියෙකි. කුකුස් ඇත්තෙකි, බහුශ්‍රැත ය. ආගම අදහන්නෙකි, වංශය රකින්නෙකි යි මෙසේ පැවතිය යුතු ප්‍රතිපදාව ම පවසනු වටී. පූජනෙය්‍යානං අසූ මහා තෙරුන් වහන්සේලා දෙවියන් සහිත ලෝකයා විසින් පිදිය යුත්තෝ යි; පූජනෙය්‍යා ඔවුහු ම සත්කාර කළ යුත්තෝ යි සක්කරෙය්‍යා; ඔවුනට ම බහුමාන කළ යුත්තෝ යි අපචනෙය්‍යා. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් විසින් පූජිතයහ. සත්කාර කරන ලදහ. බහුමාන කරන ලදහ. මෙසේ උන් වහන්සේගේ ඒ ගුණය ප්‍රකාශ කරමින් තෙරුන් වහන්සේ මෙසේ කීහ. හාතචෙ ගෙන යන්නට.
ඵාණිතස්ස ච පුටං මහත් අළු දැලි නැති හකුරු පිඬක්. හේ ශ්‍රමණ ගෞතමයන්ගේ අපහසුව කුමක්දැයි විමසා උදර වාතයෙකැයි අසා, එසේ නම් අපි බෙහෙත් දනිමු; මෙයින් වතුර ටිකකින් මේ පැණිය කළතා නෑම අවසානයෙහි පානයට දෙනු මැනවි. මෙසේ උණු දියෙන් බාහිර දහඩිය පිටවන්නේ ය. මෙයින් ඇතුළත (දහඩිය පිටවන්නේ ය) මෙසේ ශ්‍රමණ ගෞතමයනට පහසුවක් වන්නේ යයි කියා තෙරුන්ගේ පාත්‍රයෙහි හලා දුන්නේ ය.
උපසංකමි ඒ ආබාධය සංසිඳුණු කල්හි “දේවහිත විසින් තථාගතයනට බෙහෙත් දෙන ලදි; එයින් ම රෝගය සුව වූයේ ය; අහා! බ්‍රාහ්මණයාගේ දානය පරම දානය” යි යන කථාව පැතිර ගියේ ය. එය අසා කීර්තිය කැමති බ්‍රාහ්මණයා මෙපමණකින් ම මගේ මේ කීර්ති ඝෝෂාව පැන නැගිණි යි සොම්නස හට ගත්තේ (එය) තමා විසින් කරන ලද බැව් දන්වනු කැමැත්තේ එපමණකින් ම බුදුන් කෙරෙහි විශ්වාසය උපදවා අසල ට පැමිණියේ ය.
දජ්ජා දෙන්නේ ය. කථං හි යජමානස්ස කුමන ආකාරයකින් පුදන්නෙකුට; ඉජ්ඣති සමෘද්ධ වෙයි ද? මහත් ඵල වේ ද? යො වෙදී ‘යො’ (යමෙක්) ‘අවෙදී’ දැන ගත්තේ ය. දන්නා ලද්ද ප්‍රකට කළේ ය. ‘යො වෙති’ යනු ද පාඨයකි. ‘යො’ (යමෙක්) ‘අවෙති’ දනී යන අර්ථ යි. පස්සති දිවැසින් දකියි. ජාතික්‍ඛයං අර්හත් බව අභිඤ්ඤාවොසිතො දැන සම්පූර්ණ කළ, අවසානය (කතකිච්ච) කළ යුතු දේ කර ඇති බවට පත් වූයේ; එවං හි යජමානස්ස ක්ෂීණාශ්‍රවයන් හට මේ යජනාකාරයෙන් (පූජා ස්වරූපයෙන්) දෙන්නහුගේ.
තුන් වැනි සූත්‍රය යි.