4. මහාසාළ සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි - ලූඛො ලූඛපාපුරණො ජරාවට (මහලු බවට) පත් වූ, දිරා ගිය වස්ත්‍ර ඇති; උපසංකමි කුමක් නිසා අසළට පැමිණියේ ද? ඔහුගේ නිවසේ අට ලක්ෂයක් ධනය තිබිණි. හේ පුතුන් සිවු දෙනාට ආවාහ කොට ලක්ෂ හතරක් දුන්නේ ය. ඉක්බිති ඔහුගේ බැමිණියා කාල ක්‍රියා කළ පසු පුත්‍රයෝ (මෙසේ) සාකච්ඡා කළහ. ඉදින් අනෙක් බැමිණියක ගෙන එන්නේ නම් ඇගේ කුස තුළ (දරුවකු) ඉපදීම් වශයෙන් පවුල කැඩී යයි. අපි ඔහුට (පියාට) සළකමු ද? ඔවුන් සතර දෙන ම ප්‍රණීත වූ ආහාර ඇඳුම් පැළඳුම් ආදියෙන් උපස්ථාන කරන්නාහු අත් පා සම්බාහන ආදිය කරමින් සලකා එක් දිනක් දහවල නිදා සිට නැගිට සිටියහුගේ අත් පා මිරිකමින්, තනි ව ගෙහි වාසය කිරීමේ විපාක කියා අපි මේ සැටියෙන් දිවි ඇති තෙක් උවටැන් කරන්නෙමු ඉතිරි ධනයත් අපට දෙනු මැනවි යි ඉල්ලා සිටියහ. බ්‍රාහ්මණයා යළිත් එක් එක් අයෙකුට ලක්ෂය ලක්ෂය දී තමාට අඳින පෙරවන (වස්ත්‍ර) පමණක් ඉතිරි කර සියලු උපභෝග පරිභෝග වස්තු සතර කොටසක් කර පවරා දුන්නේ ය. වැඩිමහල් පුත්‍රයා ඔහුට කිහිප දිනක් උපස්ථාන කළේ ය.
ඉක්බිති එක් දිනක් ස්නානය කොට පැමිණෙන ඔහුට දොරටුවෙහි සිට ලේලිය මෙසේ පැවසුවා ය.: කිම? ඔබ විසින් වැඩිමහල් පුතාට සියයක් හෝ දහසක් හෝ වැඩියෙන් දී තිබේ ද? සියල්ලන්ට ම ලක්ෂ දෙක දෙක දුන්නා නො වේද? ඇයි අනිත් පුතාලාගේ ගෙවල්වලට යන්න පාර දුන්නේ නැද්ද? “හේ” “වසලී, නැසෙව” යි කිපී වෙනත් (පුතෙකුගේ) නිවසට ගියේ ය. ඉන් දින කීපයකට පසු ව මේ උපක්‍රමයෙන් ම ඒ නිවසිනුත් එළවා දමන ලද්දේ ය. මෙසේ එක ගෙදරකට ද ඇතුළු වීමක් නො ලබන්නේ සුදුමැලි ගත සහිත ව පැවිදි බව ලබා භික්‍ෂාව පිණිස හැසිරෙමින් කාලය ඇවෑමෙන් ජරාජීර්ණ වූයේ දුර්භෝජන (දුකසේ කෑම්බීම් ලබාගැනීම) දුක්ඛ සෙය්‍යා (දුක්ගැහැට ලැබෙන නිදා ගැනීම) මගින් මළානික වූ සිරුර ඇත්තේ ආහාර පිණිස සැරිසරන්නේ ඇවිත් පිළෙහි හිඳගන්නේ නින්දට වැටී නැගිට සිටිමින් තමන් දෙස බලා පුතුන්ගේ පිහිටක් නො දකිමින් මෙසේ සිතී ය. ගෞතම ශ්‍රමණයන් වහන්සේ රැවීමක් නැති පැහැදිලි මහණක් ඇති (සරල ව කථා කරන), පහසුවෙන් කථා කළ හැකි, පිළිසඳරෙහි දක්ෂ කෙනෙකු වන සේක, ගෞතම ශ්‍රමණයන් වහන්සේ වෙත පැමිණ පිළිසඳරක් ලැබීමට හැකි වන්නේ යයි ඇඳුම් පෙරවීම් පසක තබා භික්ෂා භාජනය (පමණක්) ගෙන බුදුන් වහන්සේ යම් තැනක ද එතැනට පැමිණියේ ය.
දාරෙහි සම්පුච්ඡ ඝරා නික්‍ඛමෙන්ති මා සතු සියල්ල ගෙන මගේ නිර්ධන භාවය දැන තමන්ගේ බිරියන් සමග කුමන්ත්‍රණය කොට මා ගෙදරින් එළවා ගනිති.
නන්දිස්සං සන්තෝෂයට පත් වූයේ සතුටු වූයේ ප්‍රමුදිත වූයේ විය. භවමිච්ඡිසං වෘද්ධියක් (දියුණුවක්) පැතී ය. සාව වාරෙන්ති සූකරං යම් සේ සුනඛයෝ රංචු රංචු වී බුරමින් ඌරන් වළක්වත් ද, යළි යළිත් මහ හඬක් නගත් ද, එසේ දරුවන් සමග මට බොහෝ දේ කියා මා හඬද්දී ම එළවා දැමූහ යනු අර්ථය යි.
අසන්තා අසත් පුරුෂ වූ; ජම්මා ළාමක වූ භාසරෙ පවසත් පුත්තරූපෙන පුත්‍ර වේශයෙන්, වයො ගතං ‘වයො’ වයස් තුන (අවධි තුන) ‘ගතං’ ගිය, ඉක්ම වූ, පශ්චිම වයසේ සිටින මා, පජහන්ති අත් හැර දමති.
නිබ්හොගො (ප්‍රයෝජනයක් නැති) අත්හැර දමන ලද ඛාදනා අපනීයති අශ්වයා යම් තාක් තරුණ ජවසම්පන්න වේ ද එතෙක් එහුට නානා රස වූ අහර දෙත්; දිරා ගිය, පාවිච්චියට නුසුදුසු වූ අශ්වයා ඉන් පසු බැහැර කරත්, අවසන් වයසේ දී ඒ පැවැත්ම නො ලබයි. එළදෙනුන් සමග කැලයෙහි වියළි තණ කමින් සැරිසරයි. ඒ අශ්වයා යම් සේ ද එසේ මහලු කාලයේ දී පැහැර ගත් ධනය හේතුවෙන් මා වැන්නෙකු ද ප්‍රයෝජනයට නුසුදුසු වේ. බාලකානං පිතා ථෙරො පරාගාරෙසු භික්‍ඛති. (බාලයන්ගේ පියා වූ මහල්ලා අන් ගෙවල සිඟයි)
යඤ්චෙ නිපාතයකි. කියන ලද්දේ මෙය යි: යම් කෙනෙක් මගේ පුත්තු වෙත් ද, අනස්සවා අකීකරු වූවෝ, යටහත් ගති පැවතුම් නො මැති වූවෝ, ඔවුන්ට වඩා දණ්ඩොව කිර සෙය්‍යො (දණ්ඩොව=සැරයටිය) (සෙය්‍යො-) වඩා සුන්දර ය. දැන් එහි ශ්‍රේෂ්ඨ භාවය දැක්වීම පිණිස වණ්ඩම්පි ගොනං ආදිය කියන ලදි.
පුරෙ හොති පෙරටුවෙහි සිටී, එය පෙරටු කොට යාම පහසුවට හේතු වේ යන අරුත යි. ගාධමෙධති ජලයට බැස යන කල්හි ගැඹුරු දියෙහි පිහිටක් ලබයි.
පරියාපුණිත්‍වා ඉගෙන, වාචෝද්ගත (කට පාඩම්) කොට, සන්නිසිනේනෙසු ඒ ආකාරයේ බ්‍රාහ්මණයන්ගේ රැස්වීම් දිනයේ පුතුන් සියලු අලංකාරයෙන් සැරසී ඒ සභාවට ඇතුළු වී බ්‍රාහ්මණයන් මැද මහාර්ඝ වූ අසුන්වල වාඩි වී සිටියදී, අභාසි මේ මට සුදුසු කාලය යි, සබා මැද පිවිස අත උස්සා “භවත්නි, මම ඔබලාට ගාථා කීමට කැමැත්තෙමි. කියන කල්හි අසනු මැනවි” යි කියා “බ්‍රාහ්මණය, කියනු අසමු” යි පවසන ලද්දේ සිට ගෙන ම කී ය. එ සමයෙහි, යමෙක් මවුපියන් සන්තක දේ කමින් මවුපියන් පෝෂණය නො කරත් නම් ඔහු මරා දැමිය යුත්තේ යයි මිනිසුන්ගේ සිරිතක් වේ. එහෙයින් ඒ බ්‍රාහ්මණ පුත්‍රයෝ පිය පා මුල වැඳ වැටී “පියාණනි, අපට ජීවිතය දෙනු මැනවි” යි ඉල්ලා සිටියහ. ඔහු පිය හදවතේ දරුවනට (ඇති) මුදු බව නිසා ‘පින්වත්නි, මගේ දරුවන් නො නසවු. (ඔවුහු) මා පෝෂණය කරන්නාහු ය’ යි කී ය.
ඉක්බිති මිනිස්සු ඔහුගේ පුතුනට (මෙසේ) කීහ: භවත්නි, ඉදින් අද පටන් පියාට හොඳින් නො සලන්නහු නම් ඔබලා ඝාතනය කරන්නෙමු’ යි. බිය පත් වූ ඔවුහු (පියා) නිවසට ගෙන ගොස් සැළකූහ. එය දැක්වීම පිණිස අථ ඛො තං බ්‍රාහ්මණමහාසාලං ආදිය කියන ලදි.
එහි නෙත්‍වා පීඨයෙහි - ආසනයෙහි - හිඳුවා තමන් ම උසුළා ගෙන ගියහ. නහාපෙත්‍වා ශරීරයේ තෙල් ගල්වා සුවඳ කුඩුවලින් ඇඟ උලා නෑවූහ. බ්‍රාහ්මණියන් ද කැඳවා අද පටන් අපගේ පියාට මැනවින් සලකන්න. ඉදින් ප්‍රමාදයන් (අඩුවක්) දක්වන්නහු නම් ඔබලා ගෙයින් ඇද දමන්නෙමු යි කියා ප්‍රණීත භෝජන කැවූහ.