2. උපාසක වර්ගය
1. කසී සූත්‍ර වර්ණනාව
දෙවන වර්ගයේ පළමු වැන්නේ - මගධෙසු එනම් ජනපදයේ දක්‍ඛිණාගිරිස්මිං රජගහ පිරිවරා සිටි පර්වතයෙහි දකුණු පස ජනපදයක් ඇත, ඒ ජනපදයෙහි; එහි විහාරයට ඒ නාමය ම (වී) ය. එකනාළායං බ්‍රාහ්මණගාමෙ ඒකනාළා යනු ඒ ගමේ නම යි. බොහෝ බ්‍රාහ්මණයෝ වාසය කරත්. එය බ්‍රාහ්මණභෝග ම හෝ (වේ). එබැවින් බ්‍රාහ්මණගාමෝ යි කියනු ලැබේ.
තෙන ඛො පන සමයෙන යම් කාලයක භාග්‍යවතුන් වහන්සේ මගධ රට ඒකනාළ බමුණු ගම ඇසුරු කර ගෙන දක්ෂිණ ගිරි මහාවිහාරයෙහි බ්‍රාහ්මණයාගේ ඉන්ද්‍රිය පරිපාකය (මේරීම) අපේක්ෂා කරමින් වසන සේක් ද එ සමයෙහි; කසීභාරද්වාජස්ස ඒ බ්‍රාහ්මණයා ගොවිතැන් පදනම් කොට ගෙන ජීවත් වෙයි. භාරද්වාජ යනු ඔහුගේ ගෝත්‍රය යි. පඤ්චමත්තානි පහක් වූ; නො අඩු නො වැඩි නඟුල් පන්සියයකියි කියන ලද්දේ වෙයි. පයුත්තානි යොදන ලද, විය ගස ගොනුන්ගේ කඳෙහි තබා යොතින් බඳින ලද්දේ යන අර්ථය යි.
වප්පකාලෙ වපුරන කාලයෙහි, බීජ ඉසින කාලයෙහි, එහි වපුරන කාල දෙකකි. ‘මඩ වැපිරීම’ හා ‘බිම් වැපිරීම’ යනුයි. මෙහි බිම් වැපිරීම අදහස් කරන ලදි. එහි ද පළමු දිනයේ මංගල වප් මඟුල යි.
එහි අවශ්‍ය සම්පත් මෙසේ ය: ගොන්නු තුන් දහසක් සාත්තු කරනු ලැබෙති. සියල්ලන්ගේ ම අං රන් පැහැයෙන් වෙළන ලදි. රිදී මුවා කුර සියල්ල සුදු මාලාවලින් මෙන් ම සුවඳ පසැඟිලිවලින් අලංකාර කරන ලදි. පිරිපුන් අඟ පසඟ සහිත වූ සියලු ලක්ෂණවලින් යුත් සමහරු කළු ය. සමහරු අඳුන්වන් ය. සමහරු සුදු ය. සුදු කොක් පැහැය ය. සමහරු රතු ය. පබළු වන් ය. සමහරු ලප ඇත්තෝ ය. කබරමිණි වන් ය. එසේ ම පන්සියයක් සී සානා මිනිස්සු සියලු ම දෙනා අලුත් සුදු වතින් යුක්ත ව, සුවඳ මල්වලින් අලංකාර වූවාහු, දකුණු දසරුවෙහි රඳවා ගත් මල් දරණු ඇත්තාහු, හිරිහල් ලාංඡනවලින් උජ්ජවලිත ශරීර ඇත්තාහු, නගුල් දහය දහය (වන සේ) කාණ්ඩ ගැසී යති. නගුල්වල හිස ද, විය ගස් ද, කෙවිටි ද රන් කවන ලද්දේ ය. පළමු නගුලේ ගොනුන් අට දෙනෙක් බඳනා ලදහ. ඉතිරි ඒවාහි සතර බැගිනි. සෙස්සෝ ක්ලාන්ත වූවන් වෙනුවෙන් යොදා ගැනීමට ගෙනෙන ලදහ. එක් එක් කාණ්ඩයක එක් එක් බීජ වී කරත්තයකි. එක එකක් සායි, එක එකක් වපුරයි.
බ්‍රාහ්මණයා උදෑසනින් ම රැවුල කැපීම කරවා ගෙන ස්නානය කොට සුවඳ ගල්වා පන් සියයක් වටිනා වස්ත්‍රයක් හැඳ දහසක් වටිනා (වස්ත්‍රයක්) ඒකාංශ කොට එක් එක් ඇඟිල්ලට දෙක දෙක බැගින් ඇඟිලි මුදු විස්සක් ද, කන්වල සිංහ කුණ්ඩල ද, හිසෙහි බ්‍රහ්මවේඨනය (ජටාව) බැඳ රන්මාලා ගෙලෙහි පළඳා බ්‍රාහ්මණ සමූහයා විසින් පිරිවරන ලද්දේ (වප් මගුල්) කටයුතු විධාන කරයි.
ඉක්බිති ඔහුගේ බැමිණිය නොයෙක් සිය ගණන් භාජනවල කිරිබත් පිසවා ගෙන විශාල ගැල්වල පටවා ගෙන සුවඳ පැනින් නා සියලු අලංකාරයෙන් විභූෂිත ව බැමිණි සමූහයා විසින් පිරිවරන ලදුව (වප් මගුල්) කටයුතුවල පැමිණියා ය. ඔහුගේ නිවස ද පළාවන් පැහැයෙන් ආලේප කරන ලද අතර විළඳ විසුරුවන ලදි. පුන් කලස්, කෙසෙල්, කොඩි, පතාක ආදියෙන් අලංකෘත ව හා සුවඳ මල් ආදියෙන් මැනවින් කරන ලද බලි කර්ම (පූජා) සහිත ව ද, කෙත ද ඒ ඒ තැන්වල ඔසවන ලද ධජ පතාක සහිත ව ද වී ය. සේවක කම්කරු ජනයා සමග ඉදිරිපත් වූ පිරිස දෙදහස් පන්සියයක් වූහ. සියලු දෙනා අළුත් වස්ත්‍ර සහිත වූහ. සියලු දෙනාට කිරිබත් ආහාරය ම පිළියෙල කරන ලදි.
ඉක්බිති බ්‍රාහ්මණයා රන් පාත්‍රයක් සෝදවා ගෙන කිරිබතින් පුරවා ගිතෙල් මී පැණිවලින් සකස් කොට නඟුල් බලි පූජාව කරවී ය. බැමිණිය පන්සියයක් හාන්නන් හට රන් රිදී, ලෝකඩ, තඹ ලෝහමය භාජන බෙදා දී රන් හැන්දක් ගෙන කිරිබත් පිළිගන්වමින් යන්නී ය. බ්‍රාහ්මණයා බලි පූජාව කරවා රතු පාවහනට නැගී (පාවහන් පැළඳ) දිළිසෙන රන් සැරයටියක් ගෙන මෙහි කිරිබත් දෙව, මෙහි ගිතෙල් දෙව, මෙහි සකුරු දෙව යි විධාන කරමින් සැරිසරයි. මේ වප් මගුල් කටයුතු පිළිබඳ ප්‍රවෘත්තිය යි.
විහාරයෙහි නොහොත් ඉරියව් පැවැත්වීමෙහි වනාහි යම් තැනක බුදුන් වහන්සේලා වැඩ සිටිත් ද එතැන දිනපතා කාර්යයෝ පහක් වෙති; කෙසේ ද? පෙරබත් කිස, පසු බත් කිස, පෙරයම කාර්ය, මැදියම කාර්ය, පසුයම කාර්ය යනුවෙනි.
එහි පෙරබත් කිස මෙය යි. භාග්‍යවතුන් වහන්සේ උදෑසන ම නැගිට උපස්ථායක අනුග්‍රහ පිණිස ද ශරීරයේ සුව පහසුව පිණිස ද මුඛධොවනය කිරීම ආදී පිරිසිදු කිරීම් කටයුතු කොට පිඬු පිණිස යන වේලාව යම් තාක් ද ඒ තාක් හුදෙකලා අසුනෙහි කල් ගත කොට, භික්ෂාචාර වේලාවෙහි හැඳ බඳ පටිය බැඳ සිවුර පෙරවා පාත්‍රය රැගෙන විටෙක තනි ව ද විටෙක භික්‍ෂු සංඝයා විසින් පිරිවරන ලදුව ද ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස ප්‍රවේශ වන සේක. විටක ප්‍රකෘති (සාමාන්‍ය) ස්වරූපයෙන් ද විටෙක අනේක ප්‍රාතිහාර්ය පැවැත්වීමෙන් ද (වේ). කෙසේ ද යත්? පිඬු පිණිස පිවිසි ලෝකනාථයන්ගේ ඉදිරියෙන් ගොස් මුදු ගමන් ඇති වාතය පොළව පිරිසිදු කරයි, වලාහකයෝ දිය බිඳු වගුරුවමින් මග දූවිලි සමනය කොට ඉහළ වියනක් වී සිටිත්. වෙනත් වායූහු පුෂ්පයන් ගෙනැවිත් මග විසුරුවති. උස්බිම් පහත් වෙයි. පහත් බිම් උස් වෙයි. පා තබන වේලේ භූමිය සම ව ම පවතී. සුඛ ස්පර්ශ වූ නෙළුම් මල් හෝ පා පිළිගනී. දකුණු පය ඉන්ද්‍රඛීලය ඇතුළත තැබූ මොහොතෙහි ෂඩ්වර්ණ රශ්මි පිටව, ප්‍රාසාද කූටාගාර රන් රස හිරියල් මෙන් ද සිතුවම් පටයකින් වට කළාක් මෙන් ද කරමින් තැන් තැන්වල ආවරණය කරයි. ඇත්, අස්, විහඟ ආදීහු තම තමන් සිටින තැන්වල සිටිමින් ම මිහිරි අයුරින් හඬ නගති. එසේ ම බෙර වීණා ආදි තූර්ය මිනිසුන්ගේ සිරුරට ආ ආභරණ වේ. ඒ නිමිතිවලින් මිනිස්සු අද භාග්‍යවතුන් වහන්සේ මෙහි පිඬු පිණිස පිවිසියහ යි දනිති. ඔවුහු මැනවින් හැඳ මැනවින් පෙරවා සුවඳ මල් ආදිය ගෙන ගෙයින් නික්ම වීදි මැදට පැමිණ සුවඳ මල් ආදියෙන් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, ස්වාමීනි, අපට භික්ෂූන් දහ නමක්, අපට විසි නමක්, අපට භික්‍ෂූන් සිය නමක් දෙනු මැනවි යි ඉල්ලා භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ද ගෙන අසුන් පනවා සකසා පිණ්ඩපාතයෙන් පූජා කරති.