2. උදය සූත්‍ර වර්ණනාව
දෙවැන්නේ - ඔදනෙන පූරෙසි තමාගේ අරමුණ සඳහා සම්පාදිත වූ සූපව්‍යංජන සහිත බතින් (පාත්‍රය) පුරවා දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ උදෑසන ලෝකය දෙස බලන්නේ ම ඒ බමුණා දැක පාන්දරින් ම සිරුර පිවිතුරු කිරීම කොට ගඳකිළියට පිවිස දොර වසා සිටින සේක්, ඔහු භෝජනය රැගෙන එනු දැක හුදෙකලා ව පාත්‍රය දසරුවෙහි එල්ලා ගඳකිළියෙන් නික්මී නගර දොරෙහි පාත්‍රය හැර තබා ඇතුළු නගරයට පිවිස පිළිාවෙලින් යන සේක්, බ්‍රාහ්මණයාගේ දොරටුවේ වැඩ සිටි සේක. බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ දැක තමා සෑදූ භෝජනය පිදුවේ ය. ඒ අරභයා මෙය කියන ලදි. දුතියම්පි දෙවන දවසේ දී ද, තතියම්පි තුන් වන දවසේ දී ද; ඒ තුන් දින ම නො කඩවා බ්‍රාහ්මණයාගේ ගෙදොරට යන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය නැගිට ගැනීමට අතර මග අන් කිසි සමතෙක් නම් නො වී ය. මහා ජනයා බලාගත් වන ම සිටියහ.
එතදවොච බ්‍රාහ්මණයා දවස් තුනක් ම පාත්‍රය පුරවා දෙන්නේ වුව ද ශ්‍රද්ධාවෙන් නො දුන්නේ ය. ගෙදොරට පැමිණ සිටි පැවිද්දාට භික්ෂා මාත්‍රයකුදු නො දී බුදිති යි අවලාද කීමේ බියෙන් දුන්නේ ය. දෙන්නේ වුව ද දෙදිනක් ද කිසිවක් නො කියා ම නැවතුනේ භාග්‍යවතුන් වහන්සේ ද කිසිවක් නො කියා ම පිටත්වූ සේක් තෙවන දිනයේ ඉවසා සිටීමට නො හැකි වූයේ මේ පකට්ඨකො ආදි වචන කී ය. භාග්‍යවතුන් වහන්සේ ද මේ වචන කියවා ගනු පිණිස ම තෙවැන්න (තෙවන වර) තෙක් පැමිණි සේක. එහි පකට්ඨකො රසෙහි ගිජු වූ.
පුනප්පුනඤ්චෙව වපන්ති බීජං බුදුන් වහන්සේ බ්‍රාහ්මණයාගේ වචන අසා, බ්‍රාහ්මණය, ඔබ තෙදිනක් තුළ පිණ්ඩපාතය දී පසු බැස්සෙහි ය. ලොව යළි යළිත් කළ යුතු සොළොස් දහමක් (වෙති) යි පවසා ඒ දහම් දැක්වීමට මේ දේශනාව ආරම්භ කළ සේක. එහි පුනප්පුනඤ්චෙව වපන්ති එක ම කෙතක වපුරන ලදි. මෙ පමණ ඇතැයි පසු බසින්නේ නැති ව අන් අන් ශස්යවාරවල (කන්නවල) ද වපුරත් ම ය. පුනප්පුනං වස්සති එක් දිනක් වැසි වැස නො නවතී. යළි යළි දිනවලත් යළි යළි අවුරුදුවලත් වසින්නේ ම ය. එසේ ම ජනපද සමෘද්ධිමත් වේ. මේ ආකාරයට සියලු තන්හි න්‍යාය දත යුත්තේ ය.
යාචනකා මේ පදයෙහි බුදුන් වහන්සේ දේශනා කුශලතාවෙන් තමන් වහන්සේ ද ඇතුළු කොට පෙන්වන සේක. ඛීරණිකා කිරි හේතුවෙන් ගවයන් දොවන්නෝ, ඔවුහු එක් වරක් පමණක් බුරුල නො අදිති. යළි යළිත් අදින්නාහු දෙනුන් දොවත් යනු අර්ථ යි. කිලමති ඵන්දති ච මේ සත්ත්වයා ඒ ඉරියව්වෙන් ක්ලාන්ත ද වෙයි. කම්පාද වෙයි. ගබ්භං බලු සිවල් ආදී තිරිසන් ගත සතුන්ගේ ද කුසට (ගැබට); සීවථිකං සොහොනට, මැරුණු මැරුණු සත්ත්වයා එහි යළි යළිත් ගෙන යත් යනු අර්ථය යි. මග්ගඤ්ච ලද්ධා අපුනබ්භවාය “අපුනබ්භවාය මග්ගො” යළිත් නො ඉපදීමේ මාර්ගය නම් නිර්වාණය යි. එය ලැබ යන අරුත යි.
එවං වුත්තෙ මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් වීථියේ සිට ම සොළොස් විධ වූ පුනප්පුනධම්ම (යළි යළිත් සිදුවන කරුණු) දෙසමින් පැවසූ කල්හි; එතදවොච දේශනාවසානයෙහි පැහැදීමට පත් වූයේ පුතුන් - බිරිය - මිතුරන් - නෑදෑ යන සමූහයා සමග භාග්‍යවතුන් වහන්සේගේ පාද වැඳ මේ අභික්කන්තං භො ආදි වචන පැවසී ය.
දෙවැනි සූත්‍රය යි.
3. දේවහිත සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි - වාතෙහි උදර වාතයෙන්; වසර සයක් දුෂ්කර ක්‍රියා කරන, මුං යුෂ පතක් ආදී ආහාර ගන්නා භාග්‍යවතුන් වහන්සේගේ උදර වාතය, දුෂ්කර අහර ගැනීමෙනුත් දුක් සහිත නිදා ගැනීමෙනුත් කිපිණි. පසු කලෙක සම්බෝධියට පැමිණ ප්‍රණීත භෝජන අනුභව කරන්නේ වුව ද අතරින් පතර ඒ ආබාධය තමනට දක්වන්නේ මය. ඒ අරභයා මෙය පවසන ලදි. උපට්ඨාකො හොති ප්‍රථම බෝධියෙහි (බුදු වූ අලුත) නිබඳ බුදු උපස්ථායකයකු නො සිටි කල්හි උපස්ථායකයා වේ. ඒ සමයෙහි බුදුන් වහන්සේට අසූ මහා තෙරුන් අතර උපස්ථායකයෙකු නො වූ විරූයේ නො වේ. නාගසමාල, උපවාණ, සුනක්ඛත්ත, චුන්ද සාමණේර, සාගත, බෝධි, මෙඝිය (යන අය සිටියහ). මේ පාළියෙහි එන උපස්ථායකයෝ ය. මේ කාලයෙහි උපවාණ තෙරුන් වහන්සේ උදයෙන් ම නැගිට ඇුතුළු කුටි ඇමදීම, දත් කූරු තැබීම, නෑමට ජලය සැපයීම, පා සිවුරු ගෙන පසුපස යාම ආදී භාග්‍යවතුන් වහන්සේගේ සියලු උපස්ථාන කටයුතු කළහ.
උපසඞ්කමි ප්‍රථම බෝධියෙහි වසර විස්සක් නිබඳ ව ආරණ්‍යය ම වේ. භික්ෂුසංඝයාට උණු දියෙන් (ගත) උණුසුම් කිරීම පවා භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත නො කරන ලදි. ඒ බ්‍රාහ්මණයා ද උදුන් බඳවා මහ හැළි උදුනට නංවා (උදුනෙහි තබා) උණු දිය සකසා නාන සුණු වර්ග සමග එය විකුණමින් ජීවිකාව කර ගෙන යයි. ස්නානය කැමැත්තෝ එහි ගොස් මුදල් දී ස්නානය කොට සුවඳ වර්ග ආලේපනය කර මල් මාලා පැළඳ යත්. එහෙයින් තෙරුන් වහන්සේ එතැනට පැමිණියහ.