9. සුන්දරික සූත්‍ර වර්ණනාව
නව වැන්නේ - සුන්‍දරිකභාරද්වාජො සුන්දරිකා නදී තීරයෙහි ගිනි පූජා හේතුවෙන් මෙසේ ලබන ලද නම් ඇත්තේ: සුන්‍දරිකාය මේ නම් ඇති ගංගාවෙහි; අග්ගිං ජුහති යාග පූජාව දමමින් දල්වයි. අග්ගිහුත්තං පරිචරති ගිනි දෙවි පුද කරන දේවාලය ඇමදීම, ආලේප කිරීම, බලි කර්ම ආදියෙන් ඇසුරු කරයි. (ඒවාහි යෙදෙයි). කො නු ඛො ඉමං හව්‍යසෙසං භුඤ්ජෙය්‍ය ඒ බ්‍රාහ්මණ තෙම ගින්නෙහි හෙළන ලද පායාසය දැක මෙසේ සිතී ය. “ගින්නෙහි හෙලන ලද පායාසය මහා බ්‍රහ්මයා විසින් අනුභව කරන ලදි. මේ ඉතිරිය යි. ඉදින් බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන් බ්‍රාහ්මණයෙකුට දිය යුතු වූවක් තිබේ. මෙසේ මාගේ පියවරු හා පුතා ද සන්තර්පණයට පත් වූවෝ වන්නාහු ය. මෙය බ්‍රහ්මලෝකයට යන සුවිශෝධිත මාර්ගය යි.” හේ බ්‍රාහ්මණයකු දැකීම පිණිස අසුනින් නැගිට සිවු දෙක බැලී ය. “කවරෙක් නම් මේ පූජා ශේෂය වළඳන්නේ වේ ද?”
රුක්‍ඛමූලෙ ඒ වන ලැහැබේ විශාල රුක මුල, සසීසං පාරුතං නිසින්නං හිසත් සමග පෙරවන ලද සිරුර සහිත ව සිටින (හිස සිට පෙරවා ගත්), කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ එහි සිටි සේක් ද? භාග්‍යවතුන් වහන්සේ අළුයම ලොව බලන සේක් මේ බ්‍රාහ්මණයා දැක (මෙසේ) සිතූහ: “මේ බ්‍රාහ්මණයා මෙබඳු අග්‍ර පායාසය ගෙන මහා බ්‍රහ්මයා වළඳවන්නෙමි යි ගින්නෙහි දවන්නේ නිශ්ඵල දෙයක් කරයි. -පෙ- සතර මග ද සතර ඵලය ද දෙමි” යි එහෙයින් උදයෙන් ම නැගිට සිරුර පිරිසිදු කිරීම් කොට පාත්‍ර සිවුරු රැගෙන ගොස් කියන ලද පරිදි ඒ රුක්මුලෙහි වැඩ සිටි සේක. කුමක් නිසා හිස සිට පෙරවූ සේක් ද? හිමපාතයත් ශීත වාතයත් වළක්වනු පිණිස ය. එය ඉවසීමට තථාගතයන් වහන්සේ ශක්තිමත් ය. ඉදින් පෙරවා නො ගෙන වැඩ සිටි සේක් නම් බ්‍රාහ්මණයා දුර සිට ම දැන නවතිනු ඇත. එවන් විටක කථාවක් නො වන්නේ ය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ “බ්‍රාහ්මණයා පැමිණි විට හිස නිරාවරණය කරන්නෙමි, එවිට ඔහු මා දැක කථාවක් පවත්වන්නේ ය. ඔහුට මම කථානුසාරයෙන් දහම් දෙසන්නෙමි’ යි කථා පැවැත්වීම පිණිස මෙසේ කළ සේක.
උපසංකමි බ්‍රාහ්මණයා සිරසේ සිට පෙරවා ගෙන මුළු රෑ දැහැන්හි යෙදුණු මෙතුමන්ට දක්ෂිණෝදකය දී මේ පූජා ශේෂය දෙන්නෙමි යි බ්‍රාහ්මණයෙකි යන හැඟීම ඇති ව සමීපයට ආවේ ය. මුණ්ඩො අයං භවං මුණ්ඩකො අයං භවං හිස විවෘත කළ පමණින් කෙටි හිස කෙස් ඇති උන්වහන්සේ දැක ‘මුණ්ඩො’ (මුඩු තැනැත්තා) යි කී ය. එයින් පසු වඩාත් හොඳින් බලමින් පැමිණි මාත්‍රයෙන් ම ශිඛාව (හිස) නො දැක නින්දා කරමින් ‘මුණ්ඩකො’ යි කී ය. තතොව යම් දෙසක සිට (බුදුන්) දුටුයේ ද එතැන ම සිට; මුණ්ඩාපි හි කිසියම් කරුණකින් මුඩු කරන ලද හිස ඇති අය ද සිටිති.
මා ජාතිං පුච්ඡි ඉදින් දානයෙහි මහත් ඵලය පතන්නෙහි නම් ජාතිය නො විමසන්න. දක්ෂිණාව ලැබීමට සුදුසු බවට ජාතිය හේතුවක් නො වේ. චරණඤ්ච පුච්ඡ එසේ වුව ද ශීලාදි ගුණාංග සහිත චරණය විමසව. එය ම දක්ෂිණාව ලැබීමට හේතුවකි. දැන් ඔහුට ඒ අදහස පැහැදිලි කරන සේක්, කට්ඨා භවෙ ජායති ජාතවෙදො යනාදිය කීහ.
එහි අභිප්‍රාය මෙය යි: වියළි දර කොටයෙන් ගිනි හට ගනී. ඒ ගින්න සල් ආදී දරවලින් හටගත්තේ ම අග්නිකාර්යය (දැවීම) නො කරයි. දරවලින් හටගත් (ගින්න) නො කරයි. තමාගේ දැල්ල ආදී ගුණ සම්පත්තියෙන් හටගත්තේ ම (ගින්නේ කාර්යය) කරයි. එසේ ම බ්‍රාහ්මණ කුල ආදියෙහි උපන්නේ ම (උපන් පමණින් ම) දක්ඛිණෙය්‍ය නො වේ. සැඩොල් කුල ආදියෙහි උපන්නේ (දක්ඛිණෙය්‍ය) නො වේ. එතෙකුදු වුවත් පහත් කුලයෙහි උපන්නේ හෝ උසස් කුලයෙහි උපන්නේ හෝ ක්‍ෂීණාශ්‍රව වූ වීර්යවත් වූ, ලජ්ජාවෙන් (පවෙන්) වැළකුණු තැනැත්තේ උත්තම වන්නේ ය. මේ ධෛර්ය ලජ්ජාව ප්‍රමුඛ වූ ගුණ සම්පතින් ජාතිම (උසස් උපතක් සහිත) වූයේ උත්තම දක්ෂිණෙය්‍ය වේ. හේ ධෛර්යයෙන් ගුණ දරයි. ලජ්ජාවෙන් දොස් වළකා ලයි. තව ද මෙහි මුනි මෞන ධර්මයෙන් සමන්විත වූයේ, ධිතිමා - වීර්යවන්ත වූ ආජානිය්‍යො කාරණ අකාරණ දැනගන්නා තැනැත්තේ හිරීනිසෙධො ලජ්ජාව නිසා පාපයන් වළක්වා සිටියේ;
සච්චෙන දන්තො පරමාර්ථ සත්‍යයෙන් දාන්ත වූ, දමසා උපෙතො ඉන්ද්‍රිය දමනයෙන් සමන්විත; වෙදන්තගු මාර්ග සතර නම් වූ වේදයෙහි කෙළවරට හෝ මාර්ග සතර නම් වූ වේදයෙන් කෙළෙස්වල කෙළවරට ගිය; වුසිතබ්‍රහ්මචරියො මාර්ග බ්‍රහ්මචර්ය වාසයෙන් වාසය කළ; යඤ්ඤූපනීතො පමුණුවන ලද පූජා ඇත්තේ, පිළියෙල කරන ලද පූජා ඇත්තේ, තමුපව්හයෙථ යමකු විසින් යාග පිළියෙල කරන ලද ද හේ ඒ පරමාර්ථ බ්‍රාහ්මණයා කැඳවන්නේ ය. ඉන්ද්‍රයා කැඳවමි. සෝම කැඳවමි. වරුණ කැඳවමි, ඊශාන කැඳවමි යන මේ කැඳවීම් නිරර්ථක ය. කාලෙන කැඳවමින් ද “ස්වාමීනි, දැන් වේලාවයි. බත නිමයි. “මද්දහන කාලය අතරතුර ම ඔහු කැඳවන්නේ ය. සො ජුහති දක්‍ඛිණෙය්‍යෙ යමෙක් මෙසේ සුදුසු කල්හි ක්‍ෂීණාශ්‍රවයන් කැඳවා සිවුපසයෙන් යුත් දක්ෂිණාව පිරිනමයි ද හේ දක්ෂිණෙය්‍යයන් (දීමට සුදුසු අය) පුදයි නමි. අචේතනික වූ ගින්නෙහි බහා ලමින් නො වේ.