1. අරහන්ත වර්ගය
1. ධනඤ්ජානී සූත්‍ර වර්ණනාව
බ්‍රාහ්මණ සංයුත්තයේ පළමු වැන්නේ ධානඤ්ජානි ‘ධානඤ්ජ’ යනු ගෝත්‍රය යි. එය උත්කෘෂ්ඨ (ශ්‍රේෂ්ඨ) ගෝත්‍රයකි. අන් බමුණෝ බ්‍රහ්මයාගේ මුවෙන් උපන්නාහු වෙත්. ධානඤ්ජානි ගෝත්‍රිකයෝ (බ්‍රහ්මයාගේ) හිස බිඳ නික්මුණාහ යනු ඔවුන්ගේ ඇදහිල්ල යි. උදානං උදානෙසි කුමක් නිසා උදන් ඇනී ද? ඒ බ්‍රාහ්මණයා මිථ්‍යාදෘෂ්ටිකයෙකි; බුද්ධ ධම්ම සංඝ යි කී කල කන් වසා ගනී, තද කිහිරි කණු සම ය. බ්‍රාහ්මණිය සෝවාන් වූ ආර්ය ශ්‍රාවිකාවක් වූවා ය. බ්‍රාහ්මණ තෙම දන් දෙන්නේ පන්සියයක් බමුණන්ට දිය අඩු (වියළි) කිරිබත් දෙයි. බ්‍රාහ්මණිය බුද්ධ ප්‍රමුඛ සංඝයාට නානා රස භෝජන (දෙන්නී) ය. බ්‍රාහ්මණයාගේ දාන දිනයෙහි බ්‍රාහ්මණිය ඔහුට යටත් ව සිටිනා නිසා හා ප්‍රහීණ වූ මසුරු බව නිසා ද සියතින් ම පිළිගන්වන්නී ය. බැමිණියගේ දාන දිනයෙහි බමුණා උදයෙන් ම නිවසින් පිටත් ව ගොස් පැන යයි. ඉක්බිති දවසක් බ්‍රාහ්මණයා බැමිණිය සමග සාකච්ඡා කොට පන්සියය්ක බමුණනට ආරාධනය කොට බැමිණියට (මෙසේ) කී ය: “භවතියනි, හෙට අපගේ නිවසේ පන්සියයක් බ්‍රාහ්මණයෝ වළඳන්නාහ” “බමුණානනි, මා විසින් කුමක් කටයුතු ද?” ඔබ විසින් කළ යුතු අන් කිසිවක් නැත. සියලු දාන පිසීම් පිළිගැන්වීම් කටයුතු කිරීම අන් අය කරන්නෝ ය. ඔබ හිට ගෙන හෝ ඉඳ ගෙන හෝ කිඹුහුන් හැර හෝ කාරා හෝ ‘නමෝ බුද්ධස්ස’ යි ඒ මුඬු මහණාට යම් නමස්කාරයක් කරන්නෙහි නම් එය හෙට දවසට පමණක් නො කරන්න. එය අසා බ්‍රාහ්මණයෝ අසතුටු වෙත්. බ්‍රාහ්මණයන් හා මා නො බිඳුවන්න” යි. “ඔබ බ්‍රාහ්මණයන් සමග හෝ බිඳෙන්න (තරහ කර ගන්න), දෙවියන් සමග හෝ (බිඳෙන්න). මම බුදුන් වහන්සේ සිහි කොට නමස්කාර නො කර සිටීමට නො සමත් වෙමි.” “භවතිය, පවුලට අයත් ගමේ ගම් දොර පවා වසා දමන්නට උත්සාහ කරති: තී බ්‍රාහ්මණයන් අනුභව කරන වේලාවට පමණක් වත් දෑඟිල්ලේන වැසිය හැකි කට වහ ගන්නට නො සමත් වන්නෙහි ය.” හේ මෙසේ යළි යළිත් කියද්දීත් (ඈ) වැළැක්වීමට නො හැකි වන්නේ හිස ඉද්දර තිබූ වකුටු කඩුව (පිහිය) අතට ගෙන, “භවතිය, ඉදින් හෙට බමුණන් වැඩ සිටිනා විට ඒ මුඬු මහණාට නමස්කාර කරයි නම් තී මේ කඩුවෙන් දෙපතුල සිට හිස මුදුන දක්වා උණ දල්ලක් මෙන් කොටා ගොඩ ගසන්නෙමි”යි මේ ගාථා ද පැවසී ය.
ඉමිනා මණ්ඩලග්ගෙන පාදතො යාව මත්‍ථකා
කළීරමිව ඡෙජ්ජාමි යදි මෙ ඉච්ඡං න කාහසි
සචෙ බුද්ධොති භණසි සචෙ ධම්මොති භාසසි
සචෙ සංඝොති කිත්තෙසි ජීවන්ති මෙ නිවෙසනෙ”
(ඉදින් මගේ ගෙහි ජීවත්වෙමින් ‘බුද්ධ’ යයි කියහි ද, ‘ධම්ම’ යි පවසහි ද, ‘සංඝ’ යි වර්ණනා කරහි ද, මාගේ කැමැත්ත නො කරන්නෙහි නම් මේ කඩුවෙන් පා සිට හිස දක්වා උණ දල්ලක් මෙන් කපා දමමි.)
ආර්යශ්‍රාවිකාව මහ පොළව මෙන් කම්පා නො වන්නී, සිනේරු (මහාමේරු) පර්වතය මෙන් නො පෙරළන සුලු වූවා ඔහුට මෙසේ කීවා ය:
සචෙ මෙ අඞ්ගමඞ්ගානි කාමං ඡෙජ්ජසි බ්‍රාහ්මණ
නෙවාහං විරමිස්සාමි බුද්ධසෙට්ඨස්ස සාසනා
නාහං ඔක්කාවරධරා සක්කා රොධයිතුං ජිනා
ධීතාහං බුද්ධසෙට්ඨස්ස ඡින්‍ද වා මං පචස්සු වා”
(බ්‍රාහ්මණය, ඉදින් කැමති සේ මගේ අඟපසඟ කපන්නෙහි ය. බුද්ධ ශ්‍රේෂ්ඨයන්ගේ උපදෙසින් මම නො නවතින්නෙමි. මම බුදුන්ගෙන් වැළැක්වීමට අසමත් වෙමි. මම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ දියණියක් වෙමි. කපනු මැනවි; නැතහොත් පිසිනු මැනවි.)
මෙසේ ධානඤ්ජානි ගර්ජනාව කරන්නී ගාථා පන්සියයක් පැවසුවා ය. බ්‍රාහ්මණයා බැමිණිය ස්පර්ශ කිරීමට හෝ පහර දීමට හෝ නො හැකි වන්නේ “භවතිය, යමක් ඔබට කැමති නම් එය කරනු මැනවි’ යි කියා කඩුව යහනට විසි කළේ ය. පසු දින නිවස පළාවන් පැහැයෙන් ආලේප කරවා විලඳ පුන් කලස් මල්මාලා සුවඳ ආදියෙන් ඒ ඒ තැන අලංකාර කරවා පන් සියයක් බමුණනට ගිතෙල් සකුරු මී පැණිවලින් යුතු වියළි කිරි බතක් පිළියෙල කරවා වේලාව දැන්වී ය.
බැමිණිය ද උදයෙන් ම සුවඳ ජලයෙන් තමා ස්නානය කොට සහසක් වටිනා අළුත් වස්ත්‍රයක් හැඳ පන් සියයක් වටිනා වස්ත්‍රයක් ඒකාංශ කොට සියලු අලංකාරයෙන් සැරසී රන් හැන්දක් ගෙන දන් ශාලාවේ බ්‍රාහ්මණයනට පිළිගන්වන්නී, ඔවුන් සමග එක පෙළට සිටින ඒ බ්‍රාහ්මණයාට බත් ගෙන යන්නී වැරදි ලෙස තබන ලද දැව භාණ්ඩයක පැකිලී ගැටීමෙන් වූ දුක් වේදනාවක් උපන්නේ ය. ඒ අවස්ථාවේ බුදුන් වහන්සේ සැමරුවා ය. සිහියෙන් යුක්ත වූ බැවින් පායාස පාත්‍රය අත නො හැර ම ක්‍ෂණික ව බැස බිම තබා පන් සියයක් බ්‍රාහ්මණයන් මැද හිසෙහි ඇඳිලි බැඳ වේළුවනය යම් තැනක ද ඒ දෙසට අඤ්ජලි ප්‍රණාමය කොට මේ උදානය පැවසුවා ය.
එම අවස්ථාවේ ඒ බ්‍රාහ්මණයන් අතර සමහරු අනුභව කොට අවසන් වූවෝ වෙත්, සමහරු බුදිමින් (සිටිති); සමහරු අත ඔබා ගත්තාහු පමණි; සමහරුන් ඉදිරිපිට භෝජනය තැබුවා පමණ ය. ඔවුහු ඒ ශබ්දය අසා ම මහාමේරු පර්වත මුගුරෙන් හිසට ගැසුවාක් මෙන් කන්වල උලකින් විදින ලද්දාක් මෙන් දුකක දොම්නසක් අත් විඳිමින් මේ අන්‍ය ලබ්ධිකයා විසින් අපි නිවසට ප්‍රවිෂ්ට කරවනු ලැබුවමෝ යි කිපී අතේ වූ පිඬ විසි කොට, මුවින් ගත් බත් පිඬ කෙළ ගසා (එළියට දමා) දුන්න දුටු කපුටන් මෙන් බ්‍රාහ්මණයාට ආක්‍රෝශ කරමින් ඒ මේ අත (සීසීකඩ ව) විසිර ගියහ. බ්‍රාහ්මණයා මෙසේ බිඳී යන බමුණන් දැක බැමිණිය දෙස හිස පටන් බලා, මේ බිය ම දකිමින් අපි ඊයේ පටන් භවතියට ආයාචනය කරලාත් නො ලද්දෙමු යි නානා ප්‍රකාර ලෙස බැමිණියට ආක්‍රෝශ කොට එවමෙවං පන ආදී වචන පැවසී ය.