8. අග්ගික සූත්‍ර වර්ණනාව
අට වැන්නෙහි - අග්ගිකභාරද්වාජො මොහු ද භාරද්වාජ ම ය. ගිනි ඇසුරු කිරීම් වශයෙන් ඔහුට සංගීතිකාරක හිමිවරුන් විසින් මේ නම යොදන ලදි. සන්නිහිතො හොති පිළියෙල කරන ලද්දේ වේ. අට්ඨාසි කුමක් නිසා එහි සිටියේ ද? භාග්‍යවතුන් වහන්සේ අළුයම ලෝකය බලන සේක් මේ බමුණා දැක මෙසේ සිතූහ: මේ බ්‍රාහ්මණයා මෙබන්දෙකි. අග්‍රපායාසය ගෙන මහ බඹුන් වළඳවන්නෙමැයි ගින්නෙහි දවන්නේ නිශ්ඵල වූවක් කරයි. අපා මගට වැටෙයි. මේ ලබ්ධිය නො විසඳුනු ලබන්නේ අපා දෙසට ම යන්නේ වෙයි. යමි. ධර්ම දේශනාවෙන් ඔහුගේ මිථ්‍යාදෘෂ්ටිය බිඳ පැවිදි කරවා සතර මගත් සතර ඵලයත් දෙමි’ යි. එහෙයින් පෙරවරු කාලයෙහි රජගහ නුවරට පිවිස එහි වැඩ සිටි සේක.
තීහි විජ්ජාහි ත්‍රිවේදයෙන්; ජාතිමා පියාගේ පාර්ශ්වයෙන් සත් වන පරම්පරාව දක්වා පවිත්‍ර වූ ජාතියෙන් යුක්ත වූයේ, සුතවා බහු ‘බහු’ (බොහෝ) නානා ප්‍රකාර වූ ග්‍රන්ථ, ‘සුතවා’ ඇසුයේ. සො ඉමං භුඤ්ජෙය්‍ය ඒ ත්‍රිවේද දත් බ්‍රාහ්මණයා මේ පායාසය අනුභව කිරීමට සුදුසු ය. ඔබ වහන්සේට මේ පායාසය සුදුසු නො වේ යි කියයි.
වෙදි පුබ්බේනිවාස ඥානයෙන් ජාතිය අවබෝධ කළ සේක. සග්ගාපායං දිවැසින් ස්වර්ගයත් අපායත් දකියි. ජාතික්‍ඛයං අර්හත් බව අභිඤ්ඤා වොසිතො දැන නිමා කරන ලද අවසානය ඇත්තේ, බ්‍රාහ්මණො භවං අවීචියේ පටන් භවාග්‍රය දක්වා ඔබ වහන්සේ හා සමාන ජාතිසම්පන්න වූ ක්‍ෂීණාශ්‍රව වූ බ්‍රාහ්මණයෙකු නැත. ඔබ වහන්සේ ම බ්‍රාහ්මණයෙකි.
එසේ ද කියා ස්වර්ණ පාත්‍රය පුරවා බුදුන් වහන්සේට පායාසය පිරිනැමී ය. ශාස්තෲන් වහන්සේ ආරම්භය පෙන්වා දී භෝජනය ප්‍රතික්ෂේප කරමින් “ගාථාභිගීතං මෙ” ආදිය වදාළහ.
එහි ගාථාභිගීතං ගාථාවලින් ගයන ලද අභොජනෙය්‍යං නො වැළඳිය යුතු: කියන ලද්දේ මෙය යි: බ්‍රාහ්මණය, ඔබ මෙපමණ කලක් භික්ෂාචාර පිළිවෙතින් සිටි මට හැන්දක් පමණ වත් දීමට නො සමත් වූයෙහි. දැන් මා විසින් ඔබට පැදුරෙහි තල අතුරන්නකු විසින් මෙන් සියලු බුදු ගුණ ප්‍රකාශ කරන ලද්දේ ය. මෙසේ මේ භෝජනය ගායනා කරන්නකු විසින් ගායනා කොට ලද්දක් මෙන් වේ. එහෙයින් මේ ගාථාභිගීතං මෙ අභොජනෙය්‍යං සම්පස්සතං බ්‍රාහ්මණ නෙස ධම්මො බ්‍රාහ්මණය, අර්ථයත් ධර්මයත් මැනවින් දකින්නවුන් මේ ආකාරයේ භෝජනයක් විඳිය (වැළඳිය) යුතු ය යන මේ ධර්මතාව නැත. ගාථාභිගීතං පනුදන්ති බුද්ධා ගාථාවලින් ගායනා කොට ලද්දක් බුදුවරු බැහැර කරත් ම ය. ධම්මෙ සති බ්‍රාහ්මණ වුත්තිරෙසා බ්‍රාහ්මණය, (ආර්ය) ධර්මය ඇති කල්හි ධර්මය අපේක්ෂා කොට ධර්මයෙහි පිහිටා ජීවිත ගෙන යන්නවුන්ගේ මේ පැවැත්ම යි. මේ ආජීවය යි. මේ ආකාර දෙයක් (ගාථා කියා ලත් දෙයක්) බැහැර කොට ධර්මයෙන් ලද දේ ම වැළඳිය යුතු වන්නේ ය යි.
ඉක්බිති බ්‍රාහ්මණයා මෙසේ සිතී ය: “මම පෙර ශ්‍රමණ ගෞතමයන්ගේ ගුණ හෝ අගුණ නො දනිමි. දැන් උන්වහන්සේගේ ගුණ දැන මගේ ගෙහි අසූ කෙළක් පමණ ධනය ශාසනයෙහි වැය කිරීමට කැමති බවක් හට ගැනිණි. මෙය ද මා විසින් දෙන ලද ප්‍රත්‍ය ද අකැප යයි පවසන සේක. මම ශ්‍රමණ ගෞතමයන් විසින් නො පිළිගනු ලබන්නෙක්මි” යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සර්වඥතා ඥානය යොමු කොට ඔහුගේ චිත්තාචාරය (සිතුවිල්ල) විමසන සේක් මොහු තමා විසින් දෙන ලද සියලු ප්‍රත්‍ය අකැප ය යි සලකයි. යම් භෝජනයක් අරභයා කථාවක් ඇතිවිණි ද එය පමණක් නො වටී. සෙස්ස නිර්දෝෂ ය යි බ්‍රාහ්මණයාට සිවු පසයෙහි ඥාන දොරටු පෙන්වන සේක් “අඤ්ඤෙන වා” යනාදිය වදාළ සේක.
එහි කුක්කුච්චවූපසන්තං කුකුස් නොමැති වීම් ආදී වශයෙන් සමනය වූ කුකුස් ඇති, අන්නෙන පානෙන මෙය දේශනා මාත්‍රයකි. අර්ථය මෙය යි: පරිත්‍යාග කරන්නෙමි යි ඔබ විසින් සලකන ලද අන් සිවුරු ආදී ප්‍රත්‍යයෙන් උපස්ථාන කරහි. ඛෙත්තං හි තං පුඤ්ඤපෙක්‍ඛස්ස හොති මෙසේ තථාගතයන් වහන්සේගේ ශාසනය, ‘පුඤ්ඤපෙක්‍ඛස්ස’ පින් අපේක්‍ෂා කරන අයට ය. ඔබට පමණක් නො වේ. අල්ප වූ බීජ ඇති කල්හි බොහෝ ශස්‍යවල ඵල දෙන්නා වූ මහා කෙතක් මෙන් පිළියෙල කරන ලද්දේ වේ.
අට වැනි සූත්‍රය යි.
9. සුන්දරික සූත්‍ර වර්ණනාව
නව වැන්නේ - සුන්‍දරිකභාරද්වාජො සුන්දරිකා නදී තීරයෙහි ගිනි පූජා හේතුවෙන් මෙසේ ලබන ලද නම් ඇත්තේ: සුන්‍දරිකාය මේ නම් ඇති ගංගාවෙහි; අග්ගිං ජුහති යාග පූජාව දමමින් දල්වයි. අග්ගිහුත්තං පරිචරති ගිනි දෙවි පුද කරන දේවාලය ඇමදීම, ආලේප කිරීම, බලි කර්ම ආදියෙන් ඇසුරු කරයි. (ඒවාහි යෙදෙයි). කො නු ඛො ඉමං හව්‍යසෙසං භුඤ්ජෙය්‍ය ඒ බ්‍රාහ්මණ තෙම ගින්නෙහි හෙළන ලද පායාසය දැක මෙසේ සිතී ය. “ගින්නෙහි හෙලන ලද පායාසය මහා බ්‍රහ්මයා විසින් අනුභව කරන ලදි. මේ ඉතිරිය යි. ඉදින් බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන් බ්‍රාහ්මණයෙකුට දිය යුතු වූවක් තිබේ. මෙසේ මාගේ පියවරු හා පුතා ද සන්තර්පණයට පත් වූවෝ වන්නාහු ය. මෙය බ්‍රහ්මලෝකයට යන සුවිශෝධිත මාර්ගය යි.” හේ බ්‍රාහ්මණයකු දැකීම පිණිස අසුනින් නැගිට සිවු දෙක බැලී ය. “කවරෙක් නම් මේ පූජා ශේෂය වළඳන්නේ වේ ද?”
රුක්‍ඛමූලෙ ඒ වන ලැහැබේ විශාල රුක මුල, සසීසං පාරුතං නිසින්නං හිසත් සමග පෙරවන ලද සිරුර සහිත ව සිටින (හිස සිට පෙරවා ගත්), කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ එහි සිටි සේක් ද? භාග්‍යවතුන් වහන්සේ අළුයම ලොව බලන සේක් මේ බ්‍රාහ්මණයා දැක (මෙසේ) සිතූහ: “මේ බ්‍රාහ්මණයා මෙබඳු අග්‍ර පායාසය ගෙන මහා බ්‍රහ්මයා වළඳවන්නෙමි යි ගින්නෙහි දවන්නේ නිශ්ඵල දෙයක් කරයි. -පෙ- සතර මග ද සතර ඵලය ද දෙමි” යි එහෙයින් උදයෙන් ම නැගිට සිරුර පිරිසිදු කිරීම් කොට පාත්‍ර සිවුරු රැගෙන ගොස් කියන ලද පරිදි ඒ රුක්මුලෙහි වැඩ සිටි සේක. කුමක් නිසා හිස සිට පෙරවූ සේක් ද? හිමපාතයත් ශීත වාතයත් වළක්වනු පිණිස ය. එය ඉවසීමට තථාගතයන් වහන්සේ ශක්තිමත් ය. ඉදින් පෙරවා නො ගෙන වැඩ සිටි සේක් නම් බ්‍රාහ්මණයා දුර සිට ම දැන නවතිනු ඇත. එවන් විටක කථාවක් නො වන්නේ ය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ “බ්‍රාහ්මණයා පැමිණි විට හිස නිරාවරණය කරන්නෙමි, එවිට ඔහු මා දැක කථාවක් පවත්වන්නේ ය. ඔහුට මම කථානුසාරයෙන් දහම් දෙසන්නෙමි’ යි කථා පැවැත්වීම පිණිස මෙසේ කළ සේක.