9. පඨම ආයු සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි - අප්පං වා භිය්යො බොහෝ කල් ජීවත් වන්නේ වසර සියයට වැඩියෙන් ජීවත් වීමට නො හැක්කේ වෙයි. වසර පනහක් හෝ හැටක් හෝ ජීවත් වෙයි. අජ්ඣභාසි ශ්‍රමණ ගෞතමයෝ මනුෂ්‍යයන් ගේ ආයුෂ අල්ප යයි කියති. දීර්ඝභාවය ඔහුට පවසන්නෙමැයි සතතයෙන් පැවති සතුරු බවින් මැඩුනේ (මෙසේ) පැවසී ය.
න නං හීළෙ ඒ ආයුෂ අල්පය යි හෙළා නො දක්නේ ය. බීරමත්තොව යම් සේ ළදරු කුමාරයෙක් (සිඟිත්තෙක්) උඩුකුරු ව නිදා සිටියේ කිරි බී දුහුල් පිළි කොට්ටයෙහි වැදහොත්තේ සිහිසුන් කෙනෙකු මෙන් නිදා ගනියි. කිසිවකුගේ ආයුෂ අල්ප ද දීර්ඝ දැයි නො සිතයි. එසේ සත් පුරුෂයා චරෙය්යාදිත්තසීසොව ආයුෂ සීමිත යයි දැන ගිනිගත් හිසක් ඇත්තෙකු මෙන් හැසිරෙන්නේ ය.
නව වැනි සූත්‍රය යි
10. දුතිය ආයු සූත්‍ර වර්ණනාව
දස වැන්නේ - නෙමීව රථකුබ්බරං යම් සේ දහවල්හි යන රථයේ නිම් වළල්ල කිඹුල් මුව (ඒරියා කඳ) අනුව යයි ද, හැර නො දමයි ද, එසේ ම ආයුෂ ද අනුව යයි.
දස වැනි සූත්‍රය යි.
ප්‍රථම වර්ගය යි.
2. රජ්ජ වර්ගය
1. පාසාණ සූත්‍ර වර්ණනාව
දෙවන වර්ගයේ පළමු වැන්නේ - නිසින්නො පෙර කී පරිදි ම දැහැන් ගනිමින් වැඩ සිටින්නාහු; මාරයා ද උන්වහන්සේ සැපසේ සිටින බව දැන ඔහු ගටන්නෙමි යි අසලට පැමිණියේ වෙයි. පදාළෙසි පර්වත මුදුනෙහි සිට (ගල්) විද්දේ ය. ගල් නිරතුරු ව එකිනෙක තළමින් වැටෙයි. කෙවලං සියලු සබ්බං ඊට ම සමාන වචනයකි.
පළමු සූත්‍රය යි.
2. සීහ සූත්‍ර වර්ණනාව
දෙවැන්නේ - විචක්ඛුකම්මාය පිරිසේ ප්‍රඥා චක්ෂුසය විනාශ කරනු කැමැත්තෙන්; බුදුවරුන්ගේ ප්‍රඥා චක්ෂුසය විනාශ කිරීමට නො හැක්කේ ය. පිරිසේ (චක්ෂුසය) පෘථග්ජනයන්ට බිය ජනක අරමුණු ඇස්සවීමෙන් හෝ දැක්වීමෙන් හෝ (විනාශ කිරීමට) හැකි වේ. විජිතාවී නු මඤ්ඤසි “මම විජය ලත් (ජය ලැබූ) අයෙක්මි” යි ඔබ සිතන්නෙහි ද? එසේ නො සිතව, ඔබට ජයක් නැත. පරිසාසු අට පිරිස අතර බලප්පත්තා දශබල බවට පත් වූ (බුදු වෙමි).
දෙවැනි සූත්‍රය යි.
3. සකලික සූත්‍ර වර්ණනාව
තුන්වැන්නේ - මන්දියා නු මන්දාතිමන්ද (බෙහෙවින් ම මඳ) බවින්, මුළා වූ බවනි; උදාහු කාවෙය්යමත්තො නැතහොත් යම් සේ කවියෙක් කාව්‍යයක් සිතන්නේ ඒ කාව්‍යකරණයෙන් මත් ව නිදයි ද, එසේ නිදන්නෙහි ද? සම්පචුරා බොහෝ, කිමිදං සොප්පසෙව කුමක් හෙයින් නිඳීමක් නිදන්නෙහි ද? අත්ථං සමෙච්ච පරමාර්ථයට මැනවින් පැමිණ, සම්ප්‍රාප්ත ව; මට අසංගහ (එක්රැස් නො කිරීම්) නම් වූ හෝ එක්රැස් කර විනාශ වූ හෝ අර්ථයක් නැත සල්ලං තියුණු ආයුධ උලක් (උල් ආයුධයක්) ජග්ගං න සඞ්කෙ යම් සේ සමහරු සිංහයන් යන පාර ආදියෙහි නිදිවරන්නෝ වුව ද සැක කරත් ද එසේ මම නිදිවරන්නේ වුව ද සැක නො කරමි. න පි භෙමි සොත්තුං යම් සේ සමහරු සිංහයන් යන පාරවල නිදා ගැනීමට බිය වෙත් ද, එසේ මම නිදා ගැනීමට ද බිය නො වෙමි. නානුතපන්ති මා මං ආචාර්යවරයාට හෝ අන්තේවාසිකයාට අපහසුතාවක් හටගත් විට උද්දේස කිරීමට විමසීමට සිටි බැවින් රාත්‍රි හෝ දිවා කාල හෝ ගෙවී යන්නේ අන්තේවාසිකයා තවයි (එහෙත්) එසේ මා නො තවයි. මා හට අවසන් නො කළ කිසියම් කාර්යයක් නැත. එහෙයින් ම කී ය: හානිං න පස්සාමි කුහිඤ්චි ලොකෙ (ලොවෙහි කිසි තැනක පිරිහීමක් නො දක්නෙමි) යි.
තෙවැනි සූත්‍රය යි.
4. පතිරූප සූත්‍ර වර්ණනාව
සිව් වැන්නේ - අනුරොධවිරොධෙසු රාග ද්වේෂයන්හි, මාසජ්ජිත්ථො තදාචරං මෙසේ ධර්මකථාහි හැසිරෙමින් නො ලගින්න, ධර්ම කථා පවත්වන්නහුට සමහරු සාධුකාර දෙත්. ඒ කෙරෙහි රාගය උපදී. සමහරු නො සකස් ව ඇහුම්කන් දෙති. ඒ කෙරෙහි ද්වේෂය උපදී. මෙසේ ධර්මකථිකයා රාග ද්වේෂවල යෙදේ නම් ඔබ එසේ නො යෙදෙන්න යි පවසයි. යදඤ්ඤමනුසාසති ‘යං අඤ්ඤං අනුසාසති’ (යම් වෙනත් කෙනෙකුට අනුශාසනා කරයි ද) ඔහුට සම්බුද්ධො හිතානුකම්පී යහපත පාමින් අනුකම්පා කරයි. යම් හෙයකින් හිතානුකම්පී වේ ද, එහෙයින් අනුරොධවිරොධෙහි විප්පමුත්තො තථාගතො (තථාගත තෙමේ රාග ප්‍රතිඝ දෙකින් විශේෂයෙන් මිදුනේ ම ය.)
සිවු වැනි සූත්‍රය යි.
5. මානස සූත්‍ර වර්ණනාව
පස් වැන්නේ - අහසෙහි සැරිසරන විට වුව ද බැඳෙතියි අන්තලික්ඛ චරො පාසො රාග බැම්ම (තොණ්ඩුව), මානසො මන සම්ප්‍රයුක්ත (සිත්හි හටගත්).
පස් වැනි සූත්‍රය යි.
6. පතති සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - පඤ්චන්නං උපාදානක්ඛන්ධානං උපාදාය පංච උපාදානස්කන්ධ ගෙන; ස්වභාව, සාමාන්‍ය ලක්ෂණ වශයෙන් නානා ප්‍රකාර ලෙස බෙදා දක්වන්නේ, සන්දස්සෙති ස්කන්ධයන්ගේ ස්වභාව ලක්ෂණ ආදිය දක්වයි. සමාදපෙති ග්‍රහණය කරවයි. සමුත්තෙජෙති සමාදානයෙහි (ගැනීමෙහි) උත්සාහය ඇති කරවයි. සම්පහංසෙති ප්‍රතිවේධ ගුණයෙන් පිරිසිදු කරවයි. බබළවයි. අට්ඨිකත්වා අර්ථවත් (වැඩ ඇත්තක්) කොට, මේ නම් පැමිණිය යුතු (ප්‍රතිවේධ කළ යුතු) අර්ථයකැයි මෙසේ සලකා ඒ දේශනාව ප්‍රයෝජනවත් යයි සිතා මනසිකත්වා සිතේ තබා සබ්බචෙතසො සමන්නාහරිත්වා ඒ සියලු ක්‍රියා කාරක සිතින් එකට ගෙන ඔහිතසොතා තැබූ (යොමු කළ) කන් ඇති ව (කන් යොමා); අජ්ඣොකාසෙ නික්ඛිත්තා වේලීම පිණිස තැබූ;
රූපං වෙදයිතං සඤ්ඤං රූප ආදි මේ ස්කන්ධ තුන; යඤ්ච සංඛතං මෙයින් සංස්කාර ස්කන්ධය ගන්නා ලදි. එවං තත්ථ විරජ්ජති මෙසේ ඔහු මම නො වෙමි; මෙය මගේ නො වේ යි දකිමින් මෙසේ ඒ ස්කන්ධ කෙරෙහි නො ඇළෙයි. ඛෙමත්තං ක්ෂේම බවට පත් වූ ආත්මභාවය, මෙයින් ඵල ලක්ෂණ දක්වයි. අන්වෙසං භව, යෝනි, ගති, ඨිති, සත්ත්වාස සංඛ්‍යාත සියලු ස්ථානවල සොයමින් නාජ්ඣගා නො දැක්කේ ය.
සය වැනි සූත්‍රය යි.
7. ආයතන සූත්‍ර වර්ණනාව
සත් වැන්නේ - ඵස්සායතනානිං සඤ්ජාති - සමෝසරණ අර්ථයෙන් ඡද්වාරික වූ (දොරටු සයකට අදාළ) ස්පර්ශයන්ගේ ආයතනවල (ආයතන හයේ) භයභෙරවසද්දං මේඝ ගර්ජනා - විදුලිය කෙටීම් ශබ්ද හා සමාන බිය ගෙන දෙන ශබ්ද, පඨවීමඤ්ඤෙ උද්රීයති මේ මහා පෘථිවිය පට පට ශබ්දය නගන්නාක් මෙන් විය. එත්ථ ලොකොධිමුච්ඡිතො මේ ආරම්මණ හයෙහි ලෝකය (මිනිස්සු) බෙහෙවින් මූර්ඡා වූයේ, මාරධෙය්යං මාරයා සිටින තැන, ත්‍රෛභූමක සංසාර පැවැත්ම.
සත් වැනි සූත්‍රය යි.