1. ආයු වර්ගය
1. තපොකම්ම සූත්‍ර වර්ණනාව
මාර සංයුත්තයෙහි පළමු වැන්නෙහි - උරුවෙලායං විහරති සර්වඥතා ඥානය ලැබුවාහු (බුදුහු) උරුවෙල් ගම ඇසුරු කොට වසන සේක. පඨමාභිසම්බුද්ධො සම්බුද්ධත්වයට පත් ව පළමු සත් සතිය තුළ දුක්කරකාරිකාය වසර හයක් කරන ලද දුෂ්කර ක්‍රියාවෙන්, මාරො පාපිමා තමාගේ බලය ඉක්මවීමට ඉදිරිපත් වන සත්ත්වයන් මරතියි = මාර; පාපයෙහි යොදවතියි හෝ තමා ම පවෙහි නියුක්ත වී ය යි = පාපිමා; ඔහුට කණ්හ (කෘෂ්ණ), අධිපති, වසවත්ති, අන්තක, නමුචි, පමත්ත බන්ධු ආදී වෙනත් බොහෝ නම් වේ. මෙහි නම් දෙකක් ම ගන්නා ලදි. උපසඞ්කමි “මේ ශ්‍රමණ ගෞතම තෙම මිදුනෙමි යි සිතයි, ඔහුට නො මිදුණු බව පවසන්නෙමැයි සිතා අසළට පැමිණියේ ය.
තපොකම්මා අපක්කම්ම තපස් කර්මයෙන් බැහැරට ගොස්, අපරද්ධො “ඔබ ශුද්ධ වූ මාර්ගයෙන් ඈත ය” යි කියයි. අමරං තපං අමරභාවය පිණිස කරන ලද රූක්ෂ තපස, අත්තකිලමථානුයෝගය, සබ්බානත්‍ථාවහං හොති සියලු තපස් මට අර්ථය ගෙන දෙන්නක් නො වේ යි දැන, පියාරිත්තං ච වම්මනි කැලයෙහි ගොඩබිම රිටි පලුපත් මෙන්; පවසන ලද්දේ මෙයයි: යම් සේ කැලයෙහි ගොඩබිම නැවක් තනා භාණ්ඩ පුරවා ගොඩවුණු මහජනයා රිටි පලුපත් ගෙන අදිත් ද, පහළට තල්ලු කරත් ද, එක අඟලක් දෙකක් පමණවත් නැවේ ගමන නො සලසමින් මහජනයාගේ එම උත්සාහය නිරර්ථක වූවක් වෙයි ද, ප්‍රතිඵල ගෙන දෙන්නක් නො වේ ද, එසේ ම මම සියලු ආකාර අමර තපස් අනර්ථ ගෙන දෙන්නක් වෙතියි දැන අත්හළෙමි.
දැන් ඒ අමර තපස හැර දමා යම් මගකින් බුදු වූයේ ද එය දක්වන සේක්, සීලං ආදිය වදාළහ. එහි සීල වචනයෙන් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ගන්නා ලදි. සමාධි වචනයෙන් සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි (ගන්නා ලදි) පඤ්ඤා වචනයෙන් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප (ගන්නා ලදි). මග්ගං බොධාය භාවයං මේ අෂ්ඨාංගික වූ ආර්ය මාර්ගය බුද්ධත්වය පිණිස භාවිත කරන්නේ, මෙහි ද ‘බෝධාය’ මාර්ග අර්ථය සඳහා, යම් සේ කැඳ පිණිස කැඳ ම උයන්නේ ද, කැවුම් පිණිස කැවුම් ම පිසන්නේ ද, වෙනත් කිසිවක් නො කරන්නේ ද, එසේ ම මාර්ග අර්ථය පිණිස මාර්ගය ම වඩන්නේ ය. එහෙයින් ‘මග්ගං බොධාය භාවයං’ (බුද්ධත්වය පිණිස මාර්ගය වඩන්නේ) යි කී සේක. පරමං සුද්ධිං අරහත් බව; නිහතො ඔබ මා විසින් ‘නිහතො’ පරාජය කරන ලදි.
පළමු වැනි සූත්‍රය යි.
2. නාග සූත්‍ර වර්ණනාව
දෙවැන්නේ - රත්තන්‍ධකාරතිමිසායං රාත්‍රියෙහි අඳ බව කරන මහා අඳුරෙහි, අංග සතරකින් යුතු අඳුරෙහි. අජ්ඣොකාසෙ නිසින්නො හොති ගඳ කිළියෙන් පිටත පැමිණ සක්මන කෙළවර ගල්තලාවෙහි මහ සිවුර හිසට තබා දැහැන වඩමින් වැඩ සිටින සේක.
තථාගතයන් වහන්සේට භාවිත නො කරන ලද මාර්ගයක් හෝ, ප්‍රහීණ නො වූ කෙළෙස් හෝ ප්‍රතිවේධ (අවබෝධ) නො කළ නො සෙල්වෙන (දෙයක්) හෝ සාක්ෂාත් නො කළ නිරෝධයක් නැහැ නො වේ ද? කුමක් නිසා මෙසේ කළ සේක් ද? අනාගත කුල පුත්‍රයන්ගේ හෙණ්ඩුව (හික්මීම) පිණිස ය. අනාගත කුල පුත්‍රයෝ මා ගිය මග ආවර්ජනය කොට එළිමහනේ විසීම කළ යුතු ය යි සිතමින් දැහැන් වැඩීම කරන්නෝ ය යි දකිමින් බුදුහු මෙසේ කළ සේක. මහා මහත් වූ අරිට්ඨකො කළුවන්, මණි පාෂාණයක් එවමස්ස සීසං හොති මෙයාකාර ඔහුගේ කාල වර්ණ වූ මහල් ගෙයක් ප්‍රමාණ වූ මහා පාෂාණයක් බඳු හිසක් වේ.