2. නාග සූත්‍ර වර්ණනාව
දෙවැන්නේ - රත්තන්ධකාරතිමිසායං රාත්‍රියෙහි අඳ බව කරන මහා අඳුරෙහි, අංග සතරකින් යුතු අඳුරෙහි. අජ්ඣොකාසෙ නිසින්නො හොති ගඳ කිළියෙන් පිටත පැමිණ සක්මන කෙළවර ගල්තලාවෙහි මහ සිවුර හිසට තබා දැහැන වඩමින් වැඩ සිටින සේක.
තථාගතයන් වහන්සේට භාවිත නො කරන ලද මාර්ගයක් හෝ, ප්‍රහීණ නො වූ කෙළෙස් හෝ ප්‍රතිවේධ (අවබෝධ) නො කළ නො සෙල්වෙන (දෙයක්) හෝ සාක්ෂාත් නො කළ නිරෝධයක් නැහැ නො වේ ද? කුමක් නිසා මෙසේ කළ සේක් ද? අනාගත කුල පුත්‍රයන්ගේ හෙණ්ඩුව (හික්මීම) පිණිස ය. අනාගත කුල පුත්‍රයෝ මා ගිය මග ආවර්ජනය කොට එළිමහනේ විසීම කළ යුතු ය යි සිතමින් දැහැන් වැඩීම කරන්නෝ ය යි දකිමින් බුදුහු මෙසේ කළ සේක. මහා මහත් වූ අරිට්ඨකො කළුවන්, මණි පාෂාණයක් එවමස්ස සීසං හොති මෙයාකාර ඔහුගේ කාල වර්ණ වූ මහල් ගෙයක් ප්‍රමාණ වූ මහා පාෂාණයක් බඳු හිසක් වේ.
සුභාසුභං දීර්ඝ කාලයක් සසර සැරිසරමින් සුන්දර අසුන්දර රූප සටහන් (වේශ) මවා පැමිණියේ වේ යයි කියයි. නැතහොත් සංසරං සැරිසරමින්, පැමිණෙමින් දීඝමද්ධානං වසවර්ති සිටි ස්ථානයේ සිට උරුවේලාව දක්වා වූ දිගු මාවත, බුදු වීමට පෙර සය වසරක් දුෂ්කර ක්‍රියා කළ කාලය නම් වූ දීර්ඝ කාලය හෝ වණ්ණං කත්වා සුභාසුභං සුන්දර අසුන්දර නානාප්රකාට රූප සටහන් (වේශ) මවා මා සමීපයට පැමිණියේ වෙහි යන අර්ථ වේ. මාරයා (භාග්‍යවතුන් වහන්සේ) නසනු පිණිස උන් වහන්සේ සමීපයට මෙයට පෙර නො පැමිණි යම් වේශයක් වේද, එවන් වේශයක් නම් නොමැත. එබැවින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. අලං තෙන ඔබගේ මේ මාර විහිංසාකාර දර්ශන ක්‍රියාවලියෙන් වැඩක් නැත.
දෙ වැනි සූත්‍රය යි.
3. සුභ සූත්‍ර වර්ණනාව
තෙවැන්නේ - සුසංවුතා මැනවින් වැසූ; න තෙ මාර වසානුගා මාරය. තෙ - තුය්හං ඔබගේ වසඟයට යන්නාහු නො වෙත්, න තෙ මාරස්ස බද්ධගු ඔවුහු ඔබගේ - මාරයාගේ - එකට හැසිරෙන ශිෂ්‍යයෝ හෝ අන්තේවාසිකයෝ නො වෙති.
තුන් වැනි සූත්‍රය යි.
4. පඨමපාස සූත්‍ර වර්ණනාව
සිවු වැන්නේ - යොනිසො මනසිකාරා උපාය මනසිකාරයෙන්, යොනිසො සම්මප්පධානා උපාය වීර්යයෙන්, කාරණ වීර්යයෙන්, විමුත්ති අරහත් ඵල විමුක්තිය. අජ්ඣභාසි මේ තෙමේ තමන් විසින් ම වීර්ය කොට අරහත් භාවයට පත් වුව ද සෑහීමකට පත් නො වේ. දැන් අන්‍යයන්ට ද ‘පැමිණෙවු’ යයි උත්සාහ කරවයි. ඔහු වළක්වන්නෙමි යි සිතා පැවසී ය.
මාරපාසෙන කෙළෙස් රැහැණින්; යෙ දිබ්බා යෙ ච මානුසා දිව්‍යමය කාමගුණ සංඛ්‍යාත වූ හා මානුෂ කාමගුණ සංඛ්‍යාත වූ යම් මාර බන්ධන කෙනෙක් වෙත් ද, ඒ සියල්ලෙන් තොප බඳනා ලද්දෙහි ය. මාරබන්ධන බද්ධොසි මාර බන්ධනයෙන් බැඳුනේ, මාර බන්ධනයෙහි බැඳුනේ හෝ, න මෙ සමණ මොක්ඛසි ශ්‍රමණය, ඔබ මාගේ ආධිපත්‍යයෙන් නො මිදෙන්නෙහි ය.
සිවු වැනි සූත්‍රය යි.
5. දුතියපාස සූත්‍ර වර්ණනාව
පස් වැන්නෙහි - මුත්තොහං ‘මුත්තො අහං’ (මම මිදුනෙමි). මුලින් එන සූත්‍රය වස් විසීම අතරතුර දේශනා කරන ලදි. මෙය පවාරණය කොට වස් විසීම අවසන් කර ඇති කල්හි (කරන ලදි); චාරිකං පිළිවෙලින් ගමනින් කරන චාරිකාව ය. දිවා කාලයේ වැඩි ම වුණොත් යොදුනක් යන්නාහු චාරිකාවේ යෙදෙව් යි කියයි. මා එකෙන ද්වෙ එක් මඟකින් දෙදෙනෙක් නො වේ. එසේ ගිය කල්හි එක් අයකු දහම් දෙසන කල්හි අනිත් තැනැත්තා නිහඬ ව සිටිය යුතු වේ. එහෙයින් මෙසේ වදාළ සේක.
ආදිකල්යාණං මුල දී ම කල්‍යාණ, සුන්දර, භද්‍ර වූ එසේ මධ්‍යම, අවසාන කොටස්වල දී (ද); ආදි මධ්‍යම පරියොසාන නම් වූ මෙය ශාසනය හා දේශනය වශයෙන් දෙයාකාර ය. එහි ශාසනයේ සීලය ආදි ය, සමථ විපස්සනා මාර්ගය මධ්‍ය ය. ඵල නිර්වාණය පරියෝසානය (කෙළවර) ය. සීල සමාධි විපස්සනා හෝ ආදි ය, මාර්ගය මධ්‍ය ය. ඵල හා නිර්වාණය පරියෝසානය ය. දේශනාවෙහි පාද සතරක් ඇති ගාථාවේ මුල් ම පාදය මුල ය. දෙවන තුන් වන (පාද) මැද ය. සිවු වැන්න අග ය. පාද පහක් හෝ හයක් ඇති ගාථාවක පළමු පාදය ‘ආදි’ ය, අවසන් පාදය ‘පරියෝසාන’ ය, ඉතිරිය ‘මධ්‍ය’ ය. ඒකානුසන්ධික සූත්‍රයක නිදානය ආදි ය. ‘ඉදමවොච’ ආදිය ‘පරියෝසාන’ ය, ඉතිරි කොටස ‘මධ්‍ය’ ය. ඒකානුසන්ධික නො වූ (සූත්‍රයක) ය, නිදානය ‘ආදි’ ය, ඉදමවොච ආදිය ‘පරියෝසානය’ ය.